මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය අල්ලා ගන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වන්නේ නාවික හමුදාවේද සහාය ඇතිවය. ඒ ඉකුත් සතියේදීය. එම මෙහෙයුමෙන් අල්ලාගන්නා හෙරොයින් ප්‍රමාණය කිලෝ 430කි. අයිස් නමැති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 130කි. හෙරොයින් මෙන්ම අයිස් නමැති මත්ද්‍රව්‍ය මෙතරම් විශාල ප්‍රමාණයක් මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වාර්තා පිරික්සීමේදී පෙනී යන්නේ එක් තැනකින් අල්ලාගත් වැඩිම අයිස් ප්‍රමාණය කිලෝ 05 ඉක්මවා නැති බවය. ඒ අනුව මෙම අයිස් තොගය සුළු පටු නොවන බව පැහැදිලිය.
තතුදත් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව හෙරොයින්වලටත් වඩා භයානක මත්ද්‍රව්‍ය වන්නේ අයිස්ය. දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර් විසින් සිය යුද සෙබළුන්ට ලබාදුන් කෘත්‍රිම මත්ද්‍රව්‍යයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය හැඳින්විය හැකිය. මෙම මත්ද්‍රව්‍ය කෘත්‍රිමව රසායනාගාරවල නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් වන අතර හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ පොපි නමැති ශාකයේ මලිනි. එය සැලකෙන්නේ ස්වාභාවික මත්ද්‍රව්‍යයක් ලෙසිනි. අයිස් නමැති මත්ද්‍රව්‍යයට සාපේක්ෂකව සැලකීමේදී හෙරොයින් එතරම් භයානක මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන්නේ නැත. එහෙත් අයිස් මත්ද්‍රව්‍ය හඳුන්වන්නේ ලෝකයේ මේ වන විට ඇති භයානකම මත්ද්‍රව්‍යයක් ලෙසිනි. ගැටලුව එය නොව ලෝකයේ භයානක යැයි සැලකෙන මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ රටේ නිසි නීතියක් තවමත් ක්‍රියාත්මක නොවන බැවිනි. කෙළින්ම සඳහන් කළහොත් අයිස්වලට අපේ රටේ නීතියක් නැත. අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් ඇප ලැබෙන්නේ ඒ නිසාය. මේ වන විට තරුණ පරපුර වැඩි වශයෙන් බිලි ගන්නා මත්ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන ඇත්තේ අයිස්ය. අපේ රටේ පාසල් සිසුන්ද මේ වන විට අයිස් නමැති මත්ද්‍රව්‍යයට වැඩි වශයෙන් ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක්ද ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් විටෙන් විට කර ඇති සමීක්ෂණවලින් සහ විමර්ශනවලින් පෙනී ගොස් ඇති සත්‍යයකි. මෙම මත්ද්‍රව්‍ය දීර්ඝ කාලීනව භාවිත කිරීම තුළින් විරූපීවීම් පවා දකින්නට ලැබෙන බවත් සිරුර වැහිරී යන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විමර්ශන ඒජන්සි සඳහන් කරන කරුණකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව කරන ලද මෙහෙයුමකින් හෙරොයින් සමඟ අල්ලාගන්නේ ඒතරමට භයානක මත්ද්‍රව්‍යයකි. මෙම මත්ද්‍රව්‍ය බහුල වශයෙන් පසුගිය කාලයේ අපේ රටට ආවේ ඉන්දියාවෙනි. ඊට අමතරව මැලේසියාවෙන්ද පැමිණ ඇති බව තතුදත් තොරතුරු අනාවරණය කරති. අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සඳහන් කරන ආකාරයට අනුව සැර වැඩියෙන් ඇත්තේ මැලේසියාවෙන් එන අයිස්ය. ඉන්දියාවෙන් එන අයිස්වලට අයිස් භාවිතයට ඇබ්බැහි වූවන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැති තරම්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් මහ මුහුදෙන් අල්ලාගත් අයිස් කිලෝ 130 ඒ රටවල් දෙකින් එකකටවත් අයත් ඒවා නොවේ. හෙළිවී ඇති ආකාරයට අනුව එම අයිස් තොගය නිෂ්පාදනය කර ඇතැයි සැලකෙන්නේ පකිස්තානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රසායනාගාරයක් තුළදීය. හෙරොයින් තොගයේ නිෂ්පාදිත රට වන්නේ ඇෆ්ගනිස්ථානයයි. ලෝකයේ වැඩිම හෙරොයින් නිෂ්පාදනයක් සිදුවන්නේ ඇෆ්ගනිස්ථානයේය. ඇෆ්ගන් ජාවාරම්කරුවන්ගෙන් පකිස්තානු ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් මිලදී ගනිමින් ඒවා ගබඩාකරමින් ආසියාතික කලාපය තුළ වැඩි හරියක් බෙදා හරින්නේ මුහුදු මාර්ග ඔස්සේය. අපේ රට පත්ව ඇත්තේ එම මත්ද්‍රව්‍ය බෙදා හරින කේන්ද්‍රස්ථානය ලෙසිනි.
පකිස්තානුවන් මත්ද්‍රව්‍ය මුහුදු මාර්ග ඔස්සේ බෙදා හැරීමට යොදා ගන්නේ කුලියට ගන්නා ඉරාන් ධීවර නෞකාය. මත්ද්‍රව්‍ය කිලෝ සිය ගණනක් එම බෝට්ටුවලට පැටවෙන්නේ ඉරාන් සහ පකිස්තාන් සීමාව අතර ඇති මුහුදු කලාපයේ ධීවර වරායකදීය. ඇෆ්ගන් දේශසීමාවේ සිට පකිස්තාන් ජාවාරම්කරුවන් විසින් එම හෙරොයින් තොග ට්‍රක් රථවල පටවාගෙන රැගෙන එන්නේ සන්නද්ධ ආරක්ෂාවක් සහිතවය. ඒ ගෙන එන මත්ද්‍රව්‍ය තොග ඉරාන් ධීවර නෞකාවලට පටවාගෙන ප්‍රවාහනය කරන්නේ ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේය. වැඩි වශයෙන් එසේ මත්ද්‍රව්‍ය තොග එන්නේ අපේ රටටය. ඊට අමතරව මාලදිවයිනටද, සීසෙල්ස් දූපත් වලටද මත්ද්‍රව්‍ය විශාල වශයෙන් නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් රැගෙන එනු බවකි. වැඩි වශයෙන් අපේ රටට රැගෙන එන්නේ මෙරට සිට වෙනත් රටවලට මත්ද්‍රව්‍ය රැගෙනයෑම පහසුවන බැවිනි. දකුණු අප්‍රිකානු රටවල්වලටත් ඕස්ටේ්‍රලියාවටත් මත්ද්‍රව්‍ය බෙදා හරින්නේ අපේ රටේ ගබඩා කෙරෙන හෙරොයින්ය.
ඔත්තුව ආවේ පතිනායකට
මෙවර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් ඒකාබද්ධ වැටලීමකින් අල්ලාගත් හෙරොයින් කිලෝ 430ත් අයිස් කිලෝ 130ත් අල්ලා ගැනීමට හැකියාව ලැබෙන්නේ සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා යටතේ සේවයේ නිරතව සිටින පොලිස් පරීක්ෂකවරයකුට ලද ඔත්තුවකට අනුවය. එම ඔත්තුවෙන් කියැවෙන්නේ පාතාලයේ නමගිය කල්ලි නායකයෙක් වන බ්ලූමැන්ඩල් සංඛ නමැති අපරාධකරු විසින් පකිස්තානයේ සිට මෙරටට මත්කුඩු රැගෙන එන මාර්ගයක් ගැනය. ඒ මාර්ගය ගැන තොරතුරු ලැබීමට මඟ පෑදෙන්නේ ලලිත් පතිනායක මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු යටතේ තිබුණු දූෂණ මර්දන ඒකකය මගින් කළ විශේෂ වැටලීම් මාලාවකට කොටුවුණු සංඛගේ ගෝලයෙක් නිසාය. එම තොරතුර ලැබෙන්නේ ඉකුත් ජනවාරියේය. ඒ ගැන ලලිත් පතිනායක මහතා වහාම වැඩ බලන පොලිස්පතිවරයාව දැනුවත් කරන්නේ එම තොරතුරෙහි වැදගත්කම සලකාය. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඒ තොරතුර යොමු කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාටය.
බඩු එව්වේ බ්ලූමැන්ඩල් සංඛ
බ්ලූමැන්ඩල් සංඛ මේ වන විට සිටින්නේ ඩුබායිහිය. කොළඹ සිදුවුණු මිනිස් ඝාතන කිහිපයකටම අවශ්‍ය සැකකරුවෙක් වන බ්ලූමැන්ඩල් සංඛ රටින් පනින්නේ ඉකුත් වසරේ මුල් වකවානුවේදීය. බෝට්ටුවක නැඟී ඔහු යන්නේ ඉන්දියාවටය. මිනිස් ඝාතනවල ඔහු නිරතව සිටියේ ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට ඇවිත් යමිනි. වැඩි කාලයක් ඔහුට එසේ නිදහසේ අපරාධවල නිරතව සිටින්නට ඉඩක් නොලැබෙන්නේ තමිල්නාඩුවේදී එරට පොලිසියට ඉකුත් වසරේ පෙබරවාරියේදී කළ විශේෂ මෙහෙයුමකදී ඔහු කොටුවන බැවිනි. එරට පුරවැසියෙක් ලෙස ව්‍යාජ හැදුනුම්පතකින් පෙනී සිටි ඔහුව කොටුකරගත් පොලිසිය සති කිහිපයක්ම බන්ධනාගාරගත කර තිබිණි. ඇප මත නිදහස ලැබුණු ඔහු ඉකුත් වසරේ මැද භාගයේදී ඉන්දියාවේ සිට පැන ගන්නේ ඩුබායිවලටය. මහා පරිමාණයෙන් පකිස්තානයේ සිට මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ජාවාරමට ඔහු අත තබන්නේ එහිදීය.
ඇතුළෙ ඉන්න දෙමටගොඩ රුවන්ගේ බඩු වගයකුත් ඇවිත්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකගේ ගෝලයාට ලැබෙන්නේ එම මත්කුඩු ජාවාරම ගැන තොරතුරකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එම තොරතුර ගැන ජනවාරි මාසයේ සිට පස්සෙන් පැන්නුවේය. පකිස්තානයේ සිට සංඛට පමණක් නොව, බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ට අයත් මත්කුඩු තොගයක්ද එකම නෞකාවකින් මෙරටට එන බව හෙළිවන්නේ එවිටය. රුවන් යනු භාරත ලක්ෂමන් ඝාතනයට දුමින්ද සිල්වා සමඟ මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාලයේ ප්‍රබලයාගේ සහෝදරයාය. රුවන් බන්ධනාගාරයේ සිටින්නේ විශේෂ කාර්ය බළකාය විසින් කළ වැටලීමකදී ඔහුගේ නිවෙසින් හෙරොයින් සහ අයිස් නමැති මත්කුඩු තොගයක් සොයා ගැනීමකට අත්අඩංගුවට පත්වය. රුවන් මෙම ජාවාරමට සම්බන්ධවන්නේ බන්ධනාගාරයේ සිට ජංගම දුරකතනයක් නිදහසේ භාවිත කරමිනි. ඒ තොරතුරු පවා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සතු විය. අයිස් තොගයේ ඇණවුම්කරු වූයේ රුවන්ය. ඊට අමතරව ඔහු හෙරොයින් ද ඇණවුම් කර තිබිණි. බ්ලූමැන්ඩල් සංඛගේ ඇණවුමට අයිස් නමැති මත්ද්‍රව්‍ය නොවීය. ඔහුගේ ඇණවුම මුළුමනින්ම හෙරොයින්ය.
නැව ආවේ ඉරානයෙන්
එම ඇණවුම් දෙකට අදාළ හෙරොයින් සහ අයිස් රැගත් ඉරාන් නෞකාව පකිස්තානයෙන් පිටත්වන මොහොතේ සිටම ඒ ගැන නිරන්තර තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබෙමින් තිබුණේය. එම නෞකාව ජාත්‍යන්තර මුහුදේ අපේ සීමාවට එන විට ඒ ගැන ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කරමින් ඉදිරි කටයුතු සඳහා සහාය ඉල්ලා සිටින්නේ නාවික හමුදාවෙනි. ඒ අනුව එම ඉරාන් නෞකාව ලුහුබැඳීමේ කටයුත්තට නාවික හමුදාවෙන් සහාය ලැබෙන්නේ සමුදුර සහ සයුරල නෞකා ද්විත්වයෙනි.
බඩු ගන්න ගියේ කුඩාවැල්ල වරායෙන්
මෙම නෞකාවෙන් ගෙන එන මත්ද්‍රව්‍ය භාර ගැනීමට එදා පෙබරවාරි 28 වෙනිදා කුඩා වැල්ල ධීවර වරායෙන් ට්‍රෝලර් යාත්‍රා දෙකක් දියඹට යන්නේ එම මත්කුඩු තොගය භාර ගන්නටය. ඒ දෙමටගොඩ රුවන්ගේ ගොඩය. එම යාත්‍රා දෙකෙහි තිදෙනකි. ඒ අය කුඩා වැල්ල, තංගල්ල සහ ඒ අවට ධීවර කාර්මිකයන්ය. ඔවුන් මේ යන්නේ ලක්ෂ විස්සකට කෑදර වෙමිනි. හෙරොයින් තොගය ගෙන එන්නට නියමිතව තිබුණේ කුඩා වැල්ලටය. එහිදී එම හෙරොයින් තොගය භාර ගැනීමට නියමිතව පිළියන්දල පැත්තේ සිට අඹු සැමි යුවළක් මෝටර් රථයකින් පැමිණද සිටියේය. ඒ අය මත්කුඩු තොගය රැගත් බෝට්ටුව ගොඩ බිමට එනතුරු බලා සිටියේ තමන් දෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උකුසු ඇස් යොමු වී ඇතැයි නොදැනය. නාවික හමුදාව ඒ වන විටත් සූදානමින් සිටියේ කුඩා වැල්ලෙන් ගිය ට්‍රෝලරයට මත්කුඩු පටවාගෙන එය ගොඩබිම දෙසට එන තුරුය. සියල්ල ජී.පී.එස්. තාක්ෂණයෙන් අධීක්ෂණයේ නිරතව සිටි නාවික හමුදාව අවස්ථාව ලැබුණු සැණින් තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රා දෙක කොටුකර ගන්නේ ඉරාන් නෞකාවෙන් මත්කුඩු තොගය පටවාගෙන ගොඩබිම දෙසට එන අතර තුරදීය. එහි හෙරොයින් කිලෝ 75 කි. අයිස් කිලෝ 66කි.
සංඛගේ කොටස ගන්න ආවේ කල්පිටියෙන්
අනතුරුව නාවික හමුදා යාත්‍රාවල සිටි සෙබළුන් ඇස ගසාගෙන සිටියේ ඉරාන නෞකාවේ ඇති සංඛගේ කොටස ඔහු විසින් යවන යාත්‍රාවකට භාරදෙන තුරුය. එම නෞකාව මුහුදු යන්නට වූයේ කල්පිටියෙනි. ඒ යන අතර තුර යාත්‍රාව අතරමඟදී කාර්මික දෝෂයකට ලක්වන්නේ බලාපොරොත්තු නොවූ ලෙසිනි. ඒ වෙනුවට දෙවැනි යාත්‍රාව එම බඩු භාර ගැනීමට යැවෙන්නේ තංගල්ල පැත්තෙනි. ඒ වන විටත් මේ සියලු යාත්‍රා දෙස ඇස ගසාගෙන සිටි නාවික හමුදාව අවසාන මොහොතේ එම ට්‍රෝලර් යාත්‍රා දෙක සමඟ ඉරාන් නෞකාවද අත්අඩංගුවට ගත්තේය. ඒ ජාත්‍යන්තර මුහුදු සීමාවේදීය. සමකයට ආසන්න මුහුදු සීමාවේ සිටි ඉරාන් නෞකාව කොටුකර ගන්නා විට ඔවුන් පෙනී සිටින්නට වූයේ ධීවර කාර්මිකයන් ලෙසය. එහි සඟවා තිබුණු හෙරොයින් කිලෝ 130ක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50කට වැඩි ප්‍රමාණයක්ද සොයා ගත්තේය. ඒ අනුව එම නෞකාවේ සිටි ඉරාන් ජාතිකයන් 06 දෙනෙක්ද පකිස්තානුවන් 04 දෙනෙක්ද අත්අඩංගුවට ගත්තේය.
අහුරා තිබුණේ බාස්මතී හාල් විදිහට
මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායද ඒ වන විට මෙහෙයුමක නිරතව සිටියේ පකිස්තානයේ සිට මෙරටට ගෙන එන මත්කුඩු තොගයක් වටලන්නටය. ඒ වන විට එම මත්කුඩු තොගය රැගත් ඉරාන් නෞකාවද ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරමින් තිබී ඇත. එම නෞකාව සහ නාවික හමුදා භාරයට පත්වුණු නෞකාව අතර චන්ද්‍රිකා දුරකතන සම්බන්ධකම් පැවතුණේ මේ නෞකා දෙකේම සිටින්නේ එකම කණ්ඩායමක පිරිසක් වූ බැවිනි. නාවික හමුදාවට මේ නෞකා දෙකෙහි සම්බන්ධකම ගැන වැටහීමක් ලබන්නට එතරම් කාලයක් ගත නොවීය. කොටුකරගත් ඉරාන් යාත්‍රාව පිහිටි ස්ථානයේ සිට මඳක් ඈත එම නෞකාව තිබුණත් ඉරාන් ඒ නෞකාවද නාවික හමුදා නෞකා දෙකෙන් පැන්නුවේය. එකී නෞකාව කොටුකර ගනිමින් කළ පරීක්ෂාවේදී ඒ තුළින් එළියට එන්නේ හෙරොයින් කිලෝ 200කට වැඩි ප්‍රමාණයකි. එම නෞකාවේද ඉරාන් ජාතිකයන් 04 දෙනෙක් සහ පකිස්තානුවන් 04 දෙනෙක් සිටියහ. ඒ අයවද අත්අඩංගුවට ගෙන දින තුනක් තිස්සේ කොළඹ වරායට ආසන්නයෙන් පිහිටි දික්ඕවිට ධීවර වරායට රැගෙන එන්නේ නාවික හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතවය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ හෙරොයින් තොගය කිලෝ එකේ ප්‍රමාණයෙන් පැකට්කර තිබුණු බවය. එම පැකට් අසුරා තිබී ඇත්තේ බාස්මතී හාල් ලෙස බැලූ බැල්මට පෙනී යන ආකාරයටය. අයිස් නමැති මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇත්තේ කෝෆි ඇසුරුම් ලෙස බැලූ බැල්මට පෙනී යන ආකාරයටය. අයිස්ද අසුරා තිබී ඇත්තේ කිලෝ එකේ පැකට්වලය.
ලංකාවේ අය 16ක්
මේ වන විට මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකිකයන්ද 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පෙනී යන්නේ මෙම සමස්ත ජාවාරමම මෙහෙයවන්නේ ඩුබායි හී රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවය. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිංහල භාෂාවද හොඳින් හසුරුවන පුද්ගලයෙක් වන අතර ඔහු පකිස්තානයටද නිතර යන එන අයෙක් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මේ වන විට ජාත්‍යන්තර දැල එළා ඇත්තේ ඔහුව කොටුකර ගන්නටය. එය එතරම් පහසු කටයුත්තක් නොවූවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ ඒ අපූරු කටයුත්ත ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විමර්ශන ඒජන්සිවල සහාය ඇතිව ඉටුකර ගැනීමට හැකි වනු ඇති බවය.










