අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන පෙබරවාරි 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා පසුගිය 29 වැනිදා නියෝග කළේය. එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ රාමනායක මහතා මාධ්‍ය ඉදිරියේ ආවේගාත්මක අදහස් කිහිපයක්ද පළ කළේය. දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියද රාමනායක මහතාගේ ශරීරයේ හෝ හැසිරීමේ කිසිම වෙනස්කමක් දක්නට නොලැබීම විශේෂත්වයක් විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ටාටා බස් රථයේ දැල් කම්බි අතරින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ රජය හොරු ඇල්ලීම පසෙකලා තමාගේ හඬ පට අසමින් සිටින බවය.
මේ අතර එදින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රාමනායක මහතා විත්ති කූඩුවේ සිට අදහස් පළ කළ බවද මාධ්‍ය ඔස්සේ පළ විය. තමාට විනිසුරුවරුන් ඇමතුම් ලබා දුන්නා මිස තමා කිසිම දිනෙක විනිසුරුවරුන් වෙත ඇමතුම් ලබා නොදුන් බව රන්ජන් රාමනායක මහතා එහිදී ප්‍රකාශ කළ බව වාර්තා වූ අතර තමාට ඇප ලබා දෙන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් නැවතී සිටීමට පවා තමන් සූදානම් බවද ප්‍රකාශ කර ඇත.
මේ සියලු කාරණා ඔස්සේ පෙනී යන්නේ සිරගත කිරීමට පෙර සිටි රන්ජන් තවමත් බිඳකින් හෝ වෙනස් වී නොමැති බවය. ඔහුගේ පෞරුෂය මෙන්ම පෙනුමද ඒ ආකාරයෙන්ම රැක ගැනීමට රන්ජන් තවමත් සමත් වී ඇති බවය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සිර ගත කළ පසු ලෙඩ වන බවට මතයක් රටේ ජනතාව තුළ ගොඩ නැඟී ඇත්තේ මීට බොහෝ කලකට පෙර සිටය. දේශපාලනඥයන් පමණක් නොව ප්‍රධාන පෙළේ තනතුරු හෙබවූ රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකුද රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු හදිසියේ ලෙඩ වූ ආකාරය පසුගිය වසර කිහිපය පුරාම දක්නට ලැබුණු සාමාන්‍ය සිදුවීමක් විය. එමෙන්ම ඒ කිසිවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු මෙලෙස රන්ජන් මෙන් නිර්භීතව කතා බහ කළ බවක්ද අපේ මතකයේ නැත. අපේ මතකයට නැඟෙන්නේ මාධ්‍ය ඉදිරියේ මුහුණ හංගා ගත් සහ මාධ්‍ය මඟහරිමින් පලා යෑමට උත්සාහ දරනා මහජන නියෝජිතයන්ය.
බන්ධනාගාරය තුළ රන්ජන් ගත කරන ජීවිතය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ රන්ජන් බන්ධනාගාරය තුළදී කිසිදු සුවිශේෂී වරප්‍රසාදයක් භුක්ති නොවිඳින බවය. එය හොඳින් පෙනී යන එක් අවස්ථාවක් වන්නේ රන්ජන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එන අවස්ථාවේදීය. වරප්‍රසාද සහිත පුද්ගලයන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන ඒම සඳහා යොදා ගන්නා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු ඩුවෙල් ඒ. සී. වෑන් රථය, රන්ජන් රැගෙන ඒම සඳහා කිසිම අවස්ථාවක භාවිත කෙරුණේ නැත. රන්ජන් රාමනායක බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආ සෑම අවස්ථාවකදීම යොදා ගෙන තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු සාමාන්‍ය සිරකරුවන් ප්‍රවාහනයට යොදා ගන්නා නිල් පැහැති ටාටා බස් රථයන්ය.
කිසියම් වරදකට රක්ෂිත බන්ධනාගාර ගත වූවකු බන්ධනාගාරය තුළ ගත කරන්නේ ඔහු ඊට පෙර ගත කළ ජීවිතයට වඩා මුළුමනින්ම වෙනස් ජීවිතයකි. අධිකරණමය කටයුතු සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාටද එය එකසේ අදාලය. ඒ අනුව රන්ජන් රාමනායක මහතා මේ දිනවල ගත කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ඡ මැදිරියේ සිරකරුවකු ගත කරන ජීවිතයය. ලංකාවේ ජනප්‍රියම නළුවා ලෙස වසර ගණනාවක් සම්මාන දිනාගත් පුද්ගලයකු පමණක් නොව රත්නපුරය සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් ලක්ෂ සංඛ්‍යාත මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයකුද වන රන්ජන් රාමනායක මහතා මේ දිනවල රාත්‍රිය ගත කරන්නේ කිසිදු මෙට්ටයක්, ඇඳ ඇතිරිල්ලක්, කොට්ටයක් හෝ වෙනත් කිසිවක් නොමැති සිමෙන්ති පොළොවේය. එහෙත් ඒ පොළොවේදීත් ඔහුට නින්ද හොඳින් නොයන බවක් නම් පෙනෙන්නට නැත. ඔහුගේ ශරීර සෞඛ්‍යය බිඳකින් හෝ බිඳ වැටී නැත්තේ ඒ නිසාය.
සිර කුටි කිහිපයකින් යුතු මැදිරියේ රන්ජන් සමඟ තවත් සැකකරුවන් තිදෙනකු සිටින නමුත් එකිනෙකා හා කතා බහ කිරීමට හෝ නොහැකි ලෙසින් තනි තනි වශයෙන් ඒ සිරකුටි වෙන් කර ඇත. වැසිකිළි සහ කැසිකිළි පහසුකම් සලසා ඇත්තේද ඒ මැදිරිය තුළමය. උදෑසන 6ට අවදි වෙන රන්ජන් අනෙක් සිරකරුවන් මෙන්ම උදෑසන ආහාරය ලෙස ලබා ගන්නේ බන්ධනාගාරයෙන් ලබා දෙන සාමාන්‍ය ආහාර වේලය. බොහෝ විට එය අඩංගු වන්නේ බත් සමඟ පරිප්පුය. නැති නම් බත් සමඟ කිරි හොදිය. උදෑසන ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව උදෑසන 9ට සෑම සිරකරුවෙකුම ශාරීරික ව්‍යායාම සඳහා පිටත් විය යුතුය. බන්ධනාගාර නිලධාරීන් පවසන ආකාරයට සිරමැදිරිය තුළ ගත කරන ජීවිතයේ ප්‍රීතිමත්ව අවස්ථාව ලෙස රන්ජන් සලකන්නේ එම කාල සීමාවය. රංගන ශිල්පියකු ලෙසින් වසර ගණනාවක් පුරා රැකගෙන ආ ශාරීරික යෝග්‍යතාව ඒ ආකාරයෙන්ම රැක ගැනීම සඳහා රන්ජන් බන්ධනාගාරය තුළදී ගන්නා වෙහෙසද උපරිමය. ශාරීරික ව්‍යායාම සඳහා වෙන් වී ඇති පැයක කාලය පුරා තමන්ට ආවේණික විවිධ ශෛලීන් අනුගමනය කරමින් වෙහෙසෙන නමුත් ඒ අතරතුර අනෙක් සිරකරුවන් සමඟ තම දැනුම බෙදා ගැනීමටද රන්ජන් කිසිවිටෙකත් නොපැකිළෙන්නේය. ශාරීරික ව්‍යායාම පිළිබඳව රන්ජන්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීම සඳහා මේ දින වල සිරකරුවන් අතර පවතින උනන්දුව අධිකය. උදෑසන 10ට ශාරීරික ව්‍යායාම සඳහා ලබා දුන් කාලය අවසන් වීමෙන් පසු නැවතත් තම සිරමැදිරි සඳහා පිටත්ව යන රන්ජන් ඇතුළු සිරකරුවන්ට දිවා ආහාරය ලබා ගත හැක්කේ දහවල් 12ටය. බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර වලට පිටින් රන්ජන් ලබා ගන්නා එකම ආහාර වේල වන්නේද දිවා ආහාරයය. එය සකස් කෙරෙන්නේ රන්ජන්ගේ නිවෙසෙනි. දිවා ආහාරය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රන්ජන් කිසිවක් පවසා නැතත් ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ රාත්‍රියටත් අනුභව කළ හැකි නරක් නොවන එක් දෙයක් හෝ එයට ඇතුළත් කරන ලෙසිනි. ඒ එය රාත්‍රී ආහාරය සමඟ භාවිතයට ගැනීම සඳහාය. බොහෝ විට රන්ජන්ගේ දිවා ආහාරය සඳහා බැදපු කුකුල් මස් හෝ බැදපු මාළු වැනි ආහාරයක් ඇතුළත් වන්නේ ඒ ඉල්ලීම නිසා බව බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවා ආහාරය ගැනීමෙන් පසු සවස් කාලය ගෙවා දැමීම සඳහා රන්ජන් බොහෝ දුරට සිදු කරන්නේ පොත් කියැවීමය. මේ දිනවල ඔහුගේ දෑතේ රැඳී ඇත්තේ රන්ජන් ප්‍රනාන්දු මහතා විසින් කාලෝ ෆොන්සේකා මහතා පිළිබඳව රචනා කළ පොත් කිහිපයකි. අනතුරුව සවස 5ට සියලුම සිරකරුවන් සඳහා බන්ධනාගාරය වෙතින් ලබා දෙන ආහාර වේල ලබා ගන්නා රන්ජන් එයට අඩුවැඩිය පිරිමසා ගන්නේ දිවා ආහාරයෙන් ඉතිරි කර ගත් නරක් නොවන කොටසෙනි. අනතුරුව අනෙක් සිර මැදිරි මෙන්ම රන්ජන් සිටින සිර මැදිරියද බන්ධනාගාර නිලධාරීන් විසින් අගුළුලන්නේ සවස 6ටය.
රක්ෂිත බන්ධනාගාරය තුළ රන්ජන්ගේ දෛනික දින චර්යාව වෙනස් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට ගෙන යන අවස්ථාවන්හිදී පමණි. පාර්ලිමේන්තුවට සහභාගි වන දිනවලදී බන්ධනාගාර නිලධාරීන් සමඟ සුපුරුදු ටාටා බස්රථයේ නැඟී පාර්ලිමේන්තු පිවිසුම අසලට ගමන් කරන රන්ජන් එතැන් පටන් පාර්ලිමේන්තුව තෙක් ගමන් කරන්නේ පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය. නැවතත් පාර්ලිමේන්තු ආරක්ෂාව යටතේ පිවිසුම වෙත ගමන් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් වන රන්ජන් එතැන් පටන් තම සිරමැදිරිය වෙත ගමන් කරන්නේ ටාටා බස් රථයේය.
සාමාන්‍ය සැකකරුවකු මෙන් බන්ධනාගාරය තුළ සියලු කටයුතු සිදු කළද අනෙක් සැකකරුවන්ට වඩා වැඩි ආරක්ෂාවක් රන්ජන් වෙත ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එහෙත් කිසිදු සිරකරුවකුගෙන් රන්ජන් රාමනායකට කිසිම ආකාරයක තර්ජනයක් වාර්තා වී නොමැති අතර ඔවුන් සියලු දෙනා තුළම රන්ජන් සම්බන්ධව දැඩි ගෞරවයක් ඇති වී තිබෙන අයුරුද දක්නට ඇත. එමෙන්ම ඒ බොහෝ දෙනකු රන්ජන් සම්බන්ධයෙන් කනගාටු වන ආකාරයද පෙනෙන්නට ඇත.
බන්ධනාගාරය තුළ රන්ජන්ගේ ජීවිතය ඒ ආකාරයෙන් ගෙවී යද්දී බන්ධනාගාරයෙන් පිටත රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් තිබූ උනන්දුව අඩුවෙමින් යන ආකාරයක්ද දක්නට ඇත. මේ අතර තමන් සතුව බොහෝ දෙනකුගේ හඬ පට ඇති බවත්, ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් රන්ජන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු මෙතෙක් ඔහුගේ කිසිම හඬ පටයක් සමාජ මාධ්‍යයන්ට නිකුත් නොවීමද විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක. එතෙක් දිනකට එකක් බැගින් නිකුත් වූ හඬපටවලට සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේද නැත. එම හඬ පට සමාජ මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයන් රන්ජන්ගේ ප්‍රකාශයෙන් බියට පත් වුණා දැයි රටේ ජනතාව ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.
චන්දන පොන්නම්පෙරුම, චන්ද්‍රසේන මාරසිංහ










