දෙමල විමුක්ති සාමාජිකයන් ඇතුළු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූවන්ට අත්වු ඉරණම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අධිකරණයට දැනුම් දිය යුතු බව යළිත් වරක් අවධාරණය කර කර තිබේ.
උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට බාර වු පිරිස් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති හෙයින් ඔවුන් සොයා දෙන ලෙසට ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් තුනක් 2023 පෙබරවාරි 23 වැනි සිකුරාදා විභාගයට ගන්නා ලද අවස්ථාවේදී වවුනියා මහාධිකරණය විසින් හමුදාවට නියෝගයක් කර ඇත්තේ අතුරුදන්වූවන් මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් ඊට හේතුව පැහැදිලි කළ යුතු බවයි.
අතුරුදහන් වී සිටින්නන් සොයා දෙන ලෙස ඉල්ලා පෙත්සම් ගොනු කළ ඔවුන්ගේ බිරින්දන් ලබා දී ඇති සාක්ෂිවාචක විශ්වසනීය බව විනිසුරු අධිකරණය හමුවේ කියා සිටියේය.
යුද්ධයේ අවසන් අදියරේදී රජයේ හමුදාවන්ට බාර වීමෙන් පසුව මේ දක්වා කිසිම තොරතුරක් නොමැති පොන්නම්බලම් කන්දසාමි (කන්දම්මාන්), සින්නතුරෙයි සසිදරන් (එළිලන්) සහ රුද්‍රමූර්ති ක්‍රිෂ්ණකුමාර් (කොලොම්බස්) යන තිදෙනා වෙනුවෙන් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් එදින විභාගයට ගෙන තිබුනි.
අතුරුදන්ව තිදෙනා යුද හමුදාව බාරයේ සිටිය හැකි හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කරන්නට ඇතැයි යන පදනම මත අධිකරණය ලබා දුන් මෙම තීන්දුව ‘ජයග්‍රහණයක්’ බව අතුරුදහන් කරනු ලැබූ වවුනියාව, ත්‍රිකුණාමල දෙපලාතේ යුද සමයේ එල්ටීටීඊ දේශපාලන අංශ නායක සින්නතුරෙයි සසිදරන් (එළිලන්) ගේ බිරිඳ වන ආනන්දි ශෂිදරන් පෙත්සම්කාරිය පැවසුවාය.
ආනන්දි ශෂිදරන්
“අපි මේ නඩුව දැම්මේ බරපතල තර්ජන මැද. මේකෙන් පොඩි විශ්වාසයක් අපිට දැනෙනවා. අපි ඔවුන් ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරදුන් බව අධිකරණය පිළිගෙන තිබෙනවා.” ආනන්දි ශෂිදරන් වැඩි දුරටත් සදහන් කළාය.
ශ්‍රී ලංකා බ්‍රීෆ්