සුරාබදු දෙපාර්තමේන්තුව මාරවිල, තොඩුවාවේදී අත්අඩංගුවට ගත් රු. කෝටි 300ක හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් දෙසීයෙන් කිලෝ 110ක් මුහුද මැදදීම පන්නා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ පුළුල් පොලිස් විමර්ශනයක් ඇරැඹී ඇත.
සුරාබදු නිලධාරීන් නාවික හමුදා යාත්‍රාවකින් ගොස් මීගමුවේ සිට ලී කුඩු කිලෝහැටක් හා වීදුරු කැබලි රැගෙනවිත් මුහුද මැදදී මත්ද්‍රව්‍ය වෙනුවට ඒවා මාරු කළ බව කියන සිද්ධිය සම්බන්ධව මෙසේ විමර්ශන ඇරඹී තිබේ.
වැටලීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 6 වැනිදා මාරවිලින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත්තේය.
මෙම හෙරොයින් හා අයිස් කිලෝ දෙසීය මෙරටට ගෙන ඒමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බව කියන දේවගැතිවරයකු හා අඹුසැමි යුවළක් කොළඹ උතුර පොලිස් විශේෂ කාර්යාංශය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පසුගියදා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම විමර්ශන ඇරඹී තිබේ.
මීට පෙර නාකොටික් නිලධාරීන්ද මේ ආකාරයටම විශාල කුඩු තොග අත්අඩංගුවට ගෙන පැකට් කර ජාවාරම්කරුවන්ට විකුණා ඇති බව අනාවරණය විය.










