සංචාරක සීමා පනවා Covid – 19 තත්වය පාලනය කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කිහිප වතාවක් යෝජනා කර ඇතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු එයට කැමැත්ත පළ කර නැතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
අප්‍රේල් 23 සහ අප්‍රේල් 30 දිනවල Covid – 19 මර්දන කාර්‍යසාධක බළකාය රැස්වූ අවස්ථාවලදී ඇය එම ඉල්ලීම් කර ඇත.
එම අවස්ථාවලදී සංචරණ සීමා පැනවීමෙන් ආර්ථික ප්‍රශ්න ඇතිවන බව හා බහුතර ජනතාව දෛනික වැටුපෙන් ජීවත්වන බව කියමින් ජනාධිපතිවරයා සංචරණ සීමා පැනවීම ප්‍රතික්ෂේප කර ඇත.
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනාධිපතිවරයාගේ අදහසට සහයෝගය පළකර තිබේ.
අප්‍රේල් 23 වැනිදා පැවති සාකච්ජාවේදී අප්‍රේල් 19 වැනිදා සිට කොවිඩ් 19 රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, තරුණයින්ට පවා රෝග ලක්ෂණ පහළ වී තිබෙන බවත් පෙන්වා දෙමින් අප්‍රේල් 24-26දීර්ඝ සති අන්ත නිවාඩුවට සංචරණ සීමා පනවන ලෙස ඇය ඉල්ලා තිබේ.
ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනද සංචරණ සීමා පැනවිය යුතු බව ප්‍රකාශ කර තිබේ. ඒ වන විට නව කොවිඩ් 19 ප්‍රභේදය රට තුළ තිබෙන බවද ඇමතිවරිය ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව අප්‍රේල් 30 වැනිදා සංචරණ සීමා පැනවීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පසු සම්පූර්ණ සීමා පැනවීමට නොහැකි නම් අත්‍යාවශ්‍ය නොවන කටයුතු සීමා කරන ලෙස ඇය ඉල්ලා තිබේ.-අනිද්දා










