චීනයේ Sinopharm එන්නත විදගත් පිලිපීන ජනපති ජාතියෙන් සමාව ඉල්ලා ඇති බව පිලිපීන මාධ්‍ය වාර්තා කොට ඇත..
චීනයෙන් පිලිපීනයට පරිත්‍යාග කෙරුණු සිනොෆාම් (Sinopharm) එන්නත් දහසක් යළිත් භාර ගන්නා ලෙස පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටි එරට චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිලිපීන ජනාධිපතිවරයා නිසි අනුමැතියක් නොමැති සිනොෆාම් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් මෙම පියවර ගත් බවය.
මින් මතුවට චීනය ඔවුන්ගේ අනෙක් කොරෝනා එන්නත වන සිනොවැක් (Sinovac) එන්නත පමණක් පිලිපීනයට එවිය යුතු බව පිලිපීන ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
සිනොවැක් එන්නත මේ වන විටත් පිලිපීනය තුළ භාවිත කිරීම ආරම්භ කර තිබේ.
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා භාවිත කිරීමට සිනොෆාම් එන්නතට මෙතෙක් පිලිපීනය අනුමැතිය දී නොමැත.
මේ අතර සිනොෆාම් සහ සිනොවැක් එන්නත දෙකට ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නොමැති අතර මේ සතියේදී එම අනුමැතිය හිමි වනු ඇතැයි විශ්වාස කෙරේ.
පිලිපීන ජනාධිපතිවරයා පැවසුවේ, සිනොෆාම් එන්නත තමන් ලබා ගත්තේ සිය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සෙසු පුද්ගලයින් වෙනුවෙන් එය අත්හදා බැලීමේ අරමුණින් බවය.
“මම කළ දේ කවුරුවත් කරන්න එපා. ඒ එන්නත ගැන අත්හදාබැලීම් කරල නැති නිසා ඒක ගන්න එක අනතුරුදායකයි. ඒක මිනිස් සිරුරට නුසුදුසු වෙන්න පුළුවන්. ඒ එන්නත ගත්ත එක ම පුද්ගලයා මම විතරක් වුණා ම ඇති,” පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටි පවසා තිබිණි.
මෙම සිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ද පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති අතර ඊට මෙතෙක් අනුමැතිය හිමිවී නැත.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින්ට එන්නත් කිරීම සඳහා එම එන්නත මෙරටට ලැබුණු බවය.
කෙසේ වෙතත්, ඇතැම් වෛද්‍ය සංගම් අවධාරණය කළේ, මෙරට වෙසෙන චීන ජාතිකයින්ට පවා අනුමැතියක් නොලද මෙම එන්නත ලබා දීම අනතුරුදායක බවය.










