පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අදුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි.
බියගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය අමතමින් මේ බව සදහන් කළේය. බියගම ඩිලාරා උත්සව ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ
‘එදා අපි මේ පොහොට්ටුව හදන කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියලා. පොහොට්ටුව හැදුවොත් බලාගමු කිව්වා. එහෙම කියපු මෛත්‍රී අද පොහොට්ටුව ලකුණින් තරග කරනවා. යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ ජනාධිපති, අගමැතියි දෙපැත්තට අදින ආණ්ඩුවක්. ඒ නිසා මට මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් දෙන්න කියලා මෛත්‍රී කිය කියා යනවා. මෛත්‍රී හදන්නේ මේ පාර පොහොට්ටුවට මුවාවෙලා වෙලා පාර්ලිමේන්තුවට පැන ගන්නයි. මෛත්‍රී ගේ හැසිරීම දිහා අපි හරි අවධානයෙන් බලාගෙන ඉන්නේ. දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැ ගන්න උකුස්සෙක් වගේ කියලනේ කිව්වේ. හැබැයි මේ පාර ඒ සෙල්ලම් දාන්න ආවොත් තමයි ඔය උකුස්සා හොද පාඩමක් ඉගෙනගන්නේ….
යහපාලන ආණ්ඩුව පරාජය වෙලා ගෝඨාභය මහත්තයා රටේ වාසනාවට. හිටපු සරල ජනාධිපති වගේ නෙමේ. සරල ජනාධිපතිට 2700 ක් සේවකයෝ හිටියා. ගෝඨාභය මහත්තයා තමන්ගේ සේවක සංඛ්‍යාව දෙසිය ගාණට අඩු කළා. වාහන අඩු කළා. සරල ජනාධිපති ගෙවල් 03 ක් එකතු කරලා කොළඹ නිළ නිවසක් හැදුවා. ගෝඨාභය මහත්තයා තමන්ගේ ගෙදර ඉදලා වැඩට එන්නේ. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ආණ්ඩුවක් තිබුණ නම් රට පුරා මිනී කදු ගොඩ ගැහිලා.එහෙම වුණානම් රනිල් – මෛත්‍රී ආණ්ඩුව කොමිසම් පත් කරන්නේ කොරෝනා පාලනය කරන්න නෙමෙයි. කොරෝනා පටන් ගන්නේ සී අකුරෙන් ද කේ අකුරෙන් ද කියලා හොයන්න. ගෝඨාභය මහත්තයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් අරන් මේ කොවිඩ් 19 වසංගතය පාලනය කළ නිසයි අද අපි සැනසීමෙන් ඉන්නේ. රටක් හදන්න පුළුවන් නායකයෙක් රටට පත්වෙලා තියෙනවා. ඒ නායකයාට වැඩ කළ හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි අද අපේ වගකීම ”










