බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (12දා) සවස පැවැත්විණ.
මෙහිදී නව සන්ධානයක් බිහිකොට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා දෙපාර්ශ්වයෙන්ම පස්දෙනා බැගින් ඇතුළත් වූ කමිටුවක් පත්කිරීමට තීන්දු කොට ඇත.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයකින් තරග කරනවාද, කුමණ ලකුණක් යටතේ තරග කරනවාද යන්න සම්බන්ධයෙන් මෙම කමිටුව මගින් අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.
බොහෝදුරට ලබන ඉරිදා වන විට මෙම සාකච්ඡා අවසන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.
ඒ අනුව සිකුරාදා දින පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන ඉරිදා හෝ සදුදා දින පවත්වා අදාළ තීන්දුව සම්මත කර ගැනීමට යෝජනා වී ඇත.
කෙසේ වෙතත් අද (12) වික්‍රමසිංහ මහතා හා ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාවේදී නව ලකුණක් යටතේ බිහිකරන නව සන්ධානයකින් තරග වැදීම සම්බන්ධයෙන් කිසියම් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති ආකාරයක්ද දැනගන්නට ඇත.
මෙම සාකච්ඡාව සදහා සජිත් පාර්ශ්වය නියෝජනය කරමින් කබීර් හෂීම් මහතාද එක්ව සිට තිබේ.










