වර්තමාන ආණ්ඩුව මේ රට කොතරම් අගාධයකට තල්ලු කොට ඇත්දැයි කිවහොත් 2019 මේ පාලකයින් ගෙනා “සෞභාග්‍යයේ දැක්ම” පොත කියවන්නට සිදු වී ඇත්තේත් කුප්පි ලාම්පු එළියෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ දුර්භාග්‍ය සම්පන්න ආණ්ඩුව වහාම පලවා හැරිය යුතු බවත් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනකොට මේ රට ගොඩනගන දැක්මක් සහ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පැවසීය.
පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරුවක් වෙනුවට මේ රටේ ජනතාවගේ ඉදිරියට ගොස් මේ ආණ්ඩුව වෙනස් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සියල්ලට වඩා වැදගත් වන්නේ මේ රටේ මහජන ඡන්දය බවද පැවසීය. ආණ්ඩුව ඇමති ඔලුගෙඩි මාරු කරන බවත් මේ රටේ ඇති වී තිබෙන මහා ඛේදවාචකයට එයින් උත්තර හොයන්න නොහැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
ආණ්ඩුව පැමිණි දා සිට මේ දක්වා කරනු ලැබූ අන්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග හේතුකොටගෙන රට බරපතළ විෂම චක්‍රයකට ඇද වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඔළුගෙඩි මාරුකොට එය අවසන් කරන්නට බැරි බවත්, කළ යුත්තේ සහමුලින්ම ආණ්ඩුව ගෙදර යැවීම බවත් පැවසීය.
සමගි ජන බලවේගයට අනුබද්ධව ප්‍රමුඛ වෘත්තිය සමිතියක් වන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ විශේෂ සම්මේලනය ඊයේ (05) බදුල්ලේ දී පැවැත්විණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වතු වෘත්තීය සමිති නායකයින් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
විපක්ෂයේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගය ජනතා අරගලවලදී පෙරට එනවා පමණක් නොව ඒ අරගල ජයග්‍රහණයෙන් නිමා කිරීමේ හැකියාවෙන්ද යුක්ත බව විපක්ෂ නායකතුමා පැවසීය.
මේ රටේ වැඩකරන ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ අධිභාර බද්ධ පරාජය කිරීම වෙනුවෙන් දිගින් දිගටම අරගල කළ සමගි ජන බලවේගය අධිකරණය අභියසට ගොස් පවා ජනතාවගේ අයිතිවාසිකම් දිනා දුන් බවද පැවසීය.
අවසානයේදී මේ රටේ විශ්‍රාමිකයන්ට තට්ටු කරන්නට ගිය ආණ්ඩුවට එය හකුළා ගන්නට වූ බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.










