‘ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ජනතාවට වස කවලා නෑ. මේ ආණ්ඩුව ඒකත් කළා…’ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) 73 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් උතුරු කොළඹ මට්ටක්කුලියේ දී මේ බව සදහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
‘ඇත්ත වශයෙන්ම අද දවසේ රටේ ජනතාව විඳින දුක එමටයි. විදුලි බිල ගෙවන්නට බෑ. ජල බිල ගෙවන්නට බෑ. කුලී රස්සාව නැති වෙලා. ස්වයං රැකියාව අඩපණ වෙලා. ආහාර වල මුදල ඉහළ ගිහිල්ලා. අත්‍යවශ්‍ය ආහාර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම තුළ ජනතාවට එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට බෑ. මේ රටේ ජනතාව මේ වගේ දුක්ඛිත තත්ත්වයක සිටින මොහොතක මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ ?
ආණ්ඩුව අමු අමුවේ මහ දවල් හොරා කනවා. සීනි වංචාවෙන් ඒක ඔප්පු වෙලා තිබෙනවා. සීනි ගෙන්වන පෞද්ගලික සමාගමක් එක්ක එක්කහු වෙලා මේ රටේ මහජන මුදල් කෝටි 1590ක් මේ ආණ්ඩුව වංචා කරලා තිබෙනවා. මේ ආණ්ඩුව හොරාකාලා තිබෙනවා. සීනි වංචාවෙන් පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ ? අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකාවාසී ජනතාවට අලූත්ම තෑග්ගක් මේ ආණ්ඩුව දෙනවා. වස විස මිශ්‍ර පොල් තෙල් සහ පොල් තෙල් ආදේශක. වස විස පිළිකා කාරක සහිත පොල් තෙල් ඒ වගේම පරිප්පු. දැන් අපිට අහන්නට ලැබෙනවා විෂ කාරක මිරිස් වෙළෙඳපොළ ටත් ඇවිල්ල කියල. දැන් මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව වහ පොවන්න හදන්නේ. වහ කවන්නත් හදනවා,අලුත් අවුරුදු සමයේ. මෙහෙම ආණ්ඩුවක් මේ රටේ කවදාවත් බිහි වුණේ නෑ.
කුමන දේශපාලන පක්ෂයකට හෝ අයිති වේවා එවන් පක්ෂයක් ආණ්ඩු බලයට කිසිම දවසක ආවේ නෑ. ආණ්ඩුව ඇතුළත සම්පූර්ණ අර්බුද. ඇමතිවරු ,මන්ත්‍රීවරු ,හිටපු ඇමතිවරු එළිපිටම ගහගන්නවා. මරා ගන්නවා. මොනවටද ? තනතුරු කෑදරකමට. බොහෝ අය ගහගන්නවා ඇමතිකම්වලට. තවත් සමහරු නියෝජ්‍ය ඇමතිකම්වලට. තවත් සමහරු විවිධ වරප්‍රසාදවලට. තනතුරුවලට ආණ්ඩුවෙම පුද්ගලයා ගහ ගන්නකොට රටට ආණ්ඩුවක් නැතිව රටේ ජනතාව අසහනයට පත්වෙලා සිටිනවා.
දැන් මේ ප්‍රදේශය ගත්තාම ගංවතුර නිසා අධික වැසි කාලයට සම්පූර්ණයෙන්ම ජනතාව විපතට පත් වෙනවා. මේ ජනතාවගේ දුකට හඬක් නෑ. පිළියමක් නෑ. විසඳුමක් නැහැ. ජනතාව නන්නත්තාර වෙලා ඉන්නේ. මේ රටේ ජනතාවට අවශ්‍ය ප්‍රෝඩාකාරී ප්‍රතිරූප, එක එක වීරත්වයන් ගැන කතා බොරු සෝබන නෙමෙයි. රටටත් ජනතාවටත් අවශ්‍ය වෙලා තිබෙන්නේ තමන්ගේ දුක්ගින්නට නිමාවක්. තමන්ගේ දුකට විසඳුමක්. තමන්ගෙ ප්‍රශ්න වලට ගැටළුවලට සහනයක්. මේ රටට අවශ්‍ය වන්නේ විසඳුම් සපයන නායකත්වයක්.
දශක ගණනාවක් මුළුල්ලේ මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අගමැතිවරු බිහිවුණා. නායකයො බිහි වුණා. නායකයෝ කියලා කොට්ඨාසත් බිහිවුණා. මටම අදහන්නට බෑ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න. මේ දිස්ත්‍රික්කයෙන් බිහිවුණු නායකයෝ පහුගිය කාලේ මොනව කරාද කියලා අපට හිතාගන්නටත් බෑ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයෙන් පස්සේ කණගාටුවෙන් හෝ කියන්නට ඕනේ කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණේ කුඩම්මගෙ සැලකිලි. හැබැයි බොහෝ දෙනා කටින් බතල හිටවන එක නම් කරා. නමුත් තමුන්නාන්සේලා පොඩ්ඩක් මතක තියාගන්න විවිධ දිස්ත්‍රික්කවලින් ජනාධිපතිවරු බිහිවුණා. අගමැතිවරු බිහිවුණා. ඒ අය ඒ ඒ අයගේ දිස්ත්‍රික්කවලට ලොකු සේවාවන් ඉෂ්ට කළා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඒ සේවාව දකින්නට වත් නෑ.
මේ කොළඹ බල ප්‍රදේශයේ ප්‍රශ්නවලට අනිවාර්ය විසඳුම් අවශ්‍යයි. ඒ විසඳුම් ලබාදෙන නායකත්වය සමගි ජන බලවේගය කියලා මම මේ අවස්ථාවේ ආඩම්බරයෙන් තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා. පහුගිය මැතිවරණයේදී අලුත් ලාංඡනයකින් අලුත් දේශපාලන ගමනක් ආපු අපිට ,අපේ පක්ෂයට බලවේගයට අවුරුද්දක්වත් වයස නෑ. අපි අවුරුද්ද සැමරුවේ සති කිහිපයකට පෙර. එහෙම තියෙද්දී තමුන්නාන්සේලා දුරකථනයට කතිරෙ ගැහුවා. මම තරයේ විශ්වාස කරනවා තමුන්නාන්සේලා ඒ දේ කළේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා කෙටි කාලයක් තුළ කොළඹ ගොඩනඟයි කියන බලාපොරොත්තුවෙන්. මේ තමුන්නාන්සේලා තබපු විශ්වාසය මේ ප්‍රේමදාසගෙ පුතා කවමදාකවත් කඩ කරන්නේ නැතැයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි තමුන්නාන්සේලාට ශක්තිය ලබා දෙනවා. තමුන්නාන්සේලාට රැකවරණය ලබා දෙනවා.
මේ රට මහ මඩ වගුරක එරවලා තිබෙන්නේ. මේ ආණ්ඩුව අපි වෙනස් කරන්නට ඕන. ජනතාවට මානව අයිතිවාසිකමක් නැහැ. අද ජනතාව දුරකථනයෙන් කථා කරන්නෙත් බයේ. මේවා ටැප් කරල ද ? මේවා අහගෙන ඉන්නවද ? කොයි වෙලාවේ කියන දේ අහගෙන ඉඳලා අපිව උස්සන් යයිද ? අද රටේ තියෙන්නෙ ගෝනි බිල්ලෝ සංස්කෘතියක්. මේ ගෝනි බිල්ලෝ සංස්කෘතිය අපි අතුගා දමන්නට ඕන. ජනතාවගේ මානව අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ආර්ථික සමාජයීය දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්නට ඕනේ. ඒ යුතුකම අපි ඉෂ්ට කරනවා. මේ නගර බල ප්‍රදේශයේ නාගරික දුප්පත්කම අද ඇස් ඉදිරිපිටම තිබෙනවා. බොහෝ දෙනෙක් දුප්පත්කම ගැන කතා කරනකොට අවධානය යොමු කරන්නේ ග්‍රාමීය දුප්පත්කමට. ඔව් ,ග්‍රාමීය ප්‍රදේශවලත් තිබෙනවා බරපතළ දුප්පත්කමක්. නමුත් නාගරික බල ප්‍රදේශ වලත් විවිධ ආර්ථික සමාජයීය ගැටලු වලට ලක් ව නාගරික දුප්පත්කමත් අද බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා. පැය දෙකක් මම සවන් දුන්න ජනතාවගේ අඳෝනාව ට. ජනතාවගේ ඒ කලකිරුණු ජීවිතවලට. බහුතරයක් ජීවත් වන්නේ සතුටින් නෙමෙයි. සතුටක් නැහැ. වින්දනයක් නැහැ. අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි හැමෝම දන්නවා අපේ රට කුඩු ව්‍යාපාරිකයන් ගේ ග්‍රහණයක් බවට පත්වෙමින් යනවා. පාසල් තුළ කුඩු ව්‍යාපාරය දියත් වෙලා තිබෙනවා. මිත්‍රවරුනි හැමෝම කතා කරනවා සිංගප්පූරුවක් ගැන. නමුත් අපේ රටේ නීති පද්ධතිය සිංගප්පූරුව ළඟටවත් ඇවිල්ල නෑ. හැමෝම කතා කරනවා ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. විනයානුකූල රටක් අපි බිහි කරනවා. මේ රට අපි ගොඩ ගන්නවා. මේ රට අපි සංවර්ධනය කරනවා. මේ රටේ ජනතා ප්‍රශ්නවලට අපි තිරසර විසඳුම් ලබා දෙනවා.
“ජංගම සේවය ” කියන වැඩසටහන නිර්මාණය කලේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. අමාත්‍ය ජංගම සේවය , අග්‍රාමාත්‍ය ජංගම සේවය , ජනාධිපති ජංගම සේවය. අපි මේ කරන්නේ අලුත් වැඩක්. මොකක්ද මේ වැඩේ ? “විපක්ෂ නායක ජංගම සේවය ” කවුරුත් විපක්ෂයේ ඉදගෙන ජංගම සේවා කරන්නේ නෑ. ඇයි කොහොමද ජනතාව ඉල්ලන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නෙ? නමුත් මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි, අපිට පුළුවන් ප්‍රමාණයෙන් හරි මේ ප්‍රදේශයේ ජනතාවට උදවු කරන්නට අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා.













