කෙළින්ම කතාව මෙහෙම පටන් ගන්නවා. මේ සිංහල අපගේ රටයි, අපි ඉපදෙන මැරෙන රටයි. මේක පට්ට රටක්. ලංකාවෙ වගේ තියෙන දේවල් ලෝකේ හුඟක් රටවල නෑ. අපි දන්නවා ගොඩක් අය ලංකාවේ තියෙන මේ පහසුකම්වලට, වටිනාකම්වලට මාර ඉරිසියාවකින් ඉන්නේ.Sri Lanka Latest News
තැන් තැන්වල අපි දැක්කා ලංකාවේ වාහන මිල ගැන එක එක කයිකතන්දර එක එකා කියනවා. කිසි කෙනකුට ලංකාවේ වාහන මිල ගණන් ගැන එහෙම කයිකතන්දර කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒකට හේතුව ලංකාවේ වාහන මිල තියෙන්නේ බොහොම සාර්ථක තැනක. මේ වාහන මිල මෙච්චර සාර්ථක තැනක තියාගන්න විවිධ දේශපාලකයෝ විවිධ මට්ටමෙන් උදව් කරලා තියෙනවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඒ නෝනාවරු මහත්වරුන්ට ස්තුති කතාවක් පවත්වන්න. ඒකට හේතුව අද වෙද්දි මුළු රටම පුංචි කාර් අරගෙන, ලොකු කාර් අරගෙන දැන් සැපට ඉන්නවා.
ලෝක බැංකු වාර්තාවලට අනුවත් අපිට පුළුවන් වෙලා තියෙනවා අතිවිශිෂ්ට වාර්තාවක් තියන්න. වාහනවලින් වාර්තාවක් තියන්න අපේ රට පත්වුණා කියලා කියන්නේ ඒකට විවිධ ආකාරයෙන් උදව් උපකාර කරපු සියලු දෙනාවම මේ මොහොතේ මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. හැමෝටම අපේ ආදරය මේ මොහොතේ පුද කරනවා.
එක්කෙනෙක්, දෙන්නෙක් නෙමෙයි, ගොඩ දෙනෙක් මේ වැඩේට අපිට උදව් කරලා තියෙනවා. වාහන මිල ගණන් අනුව ගත්තාම අපි දෙවැනි වෙලා තියෙන්නේ සිංගප්පූරුවටයි, මැලේසියාවටයි විතරයි. ඉතින් හිතන්නකෝ, ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන බලාපොරොත්තුවනේ මේ යන්නේ.
ලෝකයේ වාහන තියෙන ඉහළම කම්පැනි ලංකාවේ තියෙනවා. ඒ අතර එකක් තමයි කුලියාපිටියේ තියෙන වොක්ස්වැගන් කම්පැනිය. මේ වොක්ස්වැගන් කම්පැනිය ලංකාවේ හදන්න මූලිකත්වය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් එතුමාගේ මූලිකත්වයෙන්, ඒ ආණ්ඩුවෙන් හදපු වොක්ස්වැගන් කම්පැනිය නිසා ලංකාවේ වාහන මිල උඩු යටිකුරු වෙලා, අඩුවෙලා, නන්නත්තාර වෙලා, හැමෝටම වොක්ස්වැගන් එකක් පදින්න පුළුවන් ගානට රට පත්වුණා.
අද රටේ මිනිස්සු ලක්ෂ ගණන් දීලා ඇල්ටෝ ගන්නේ විනෝදෙට සහ අපේ අසල්වැසි රට වෙච්ච ඉන්දියාව අපිට කරපු සේවයට ගෞරවයක් විදිහට. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා, විජය කුමාරයා ඇවිල්ලා, භාෂාව, සාහිත්‍ය, ගොඩක් දේවල් වලට අපිට ඉන්දියාව උදව් වෙච්ච නිසා අපේ මිනිස්සුන්ට කළගුණ මතක හින්දා අපි ඉන්දියාව අමතක කරන්නේ නෑ. එහෙම නැත්නම් අපිට වොක්ස්වැගන් ගන්න බැරිකමකට ඇල්ටෝ පදිනවා නෙමෙයි.
ඊළඟට මේ ආණ්ඩුවත් අපිට වාහන මිල අඩු කරලා, වාහන ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. ඒකට මේ ආණ්ඩුවේ සියලු නායකකාරකාදීන්ටත්, එයින් පහළ නිලතල දරන සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලොන්ගේ මූලිකත්වයෙන් විට්ස් එකක් ලක්ෂ 12ට ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. ඉතින් අපි දන්නවා මේගොල්ලෝ කිව්වොත් කිව්වා, කවදාවත් බොරුවක් වංචාවක් කරන අය නෙවෙයි. දැන් තවම ලක්ෂ 12ට නැතත්, නිකන් අනාගතයේ අපි දන්නවා විට්ස් එක ලක්ෂ 12ට අනිවාර්යයෙන් ලැබෙනවා. ඒ නිසා දැන් අපිට තියෙන්නේ පොඩි ගේමක් ගහලා විට්ස් එකක් ගන්න.
ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් දේ තමයි ලංකාවේ ඇල්ටෝ එකක මිල මේ වෙනකොට ලක්ෂ 36ක් විතර වෙලා තියෙනවා. අපේ ආදරණීය මිත්‍රවරුන්ට තමන් ගාව තියෙන ඇල්ටෝ එක විකුණලා ඒ වෙනුවට විට්ස් කාර් තුනක් අරගෙන, දෙකක් සල්ලි හොයන්න පුළුවන් දේවල්වලට යොදවලා, එකක් ගෙදර වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් නිර්මාණය කළේ මේ රටේ දේශපාලකයෝ. ඉතින් අපි එතුමන්ලාට බොහොම ගෞරව සම්ප්‍රයුක්තව ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම අපි දැක්කා හැමෝටම පොඩි කාර් එකක් ගන්න පරිසරයක් නිර්මාණය කරනවා කියලා වෙළෙඳ දැන්වීම් රූපවාහිනියේ ගියා. ඒවාට මිනිස්සු හිනා වුණා. ඒත් දැන් අපිට තේරෙනවා ඒවට හිනාවෙලා හරියන්නේ නෑ. මොකද හැමෝටම දැන් මේ වෙද්දි පොඩිම හරි කාර් එකක් තියෙනවා. ඔය පොඩි කාර් එකක් කියන එකේදී කොච්චර පොඩිද කියලා කිව්වේ නෑනේ. ඉතින් පොඩි කියන්නේ පොඩි. ඔය සෙල්ලම් කාර් එකක්, කැබිනට් එකේ දාන්න පුළුවන් එකක්, අර චූටි කාර් විශේෂයක් තියෙනවා තැන් තැන්වලින් ගේන්න පුළුවන්, පොඩි පොඩි කඩවල්වලින්. ඒවද දන්නෙත් නෑ. මේ ඉල්ලන්නේ.
කොහොම වුණත් ඉතින් අපි දන්නවා ලංකාවේ දැන් හැමෝටම පොඩි කාර් එකක් ගන්න පුළුවන් මට්ටමක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය සියලු දේවල්වලට මැදිහත් වුණේ අපේ රටේ දේශපාලකයෝ. ඒගොල්ලන්ගේ ඡන්දේ ගන්න, ඒගොල්ලොන්ට, ඒගොල්ලන්ගෙ ගොඩ වැඩිකරගන්න එහෙම කරපු දෙයක් නෙමේ. කොහොමටත් අපි දන්නවනෙ මේ රටේ උන්දැලා පොරකකා මහන්සි වෙන්නෙ මේ රට හදන්නනෙ. බලන්නකො මෙයාලා මේ අතේ තියෙන පිච්චිය පවා වියදම් කරගෙන වැඩකරන්නෙ කා වෙනුදෙන්ද කියලා. එයාලා දුක සේ පරණ ලඩි වාහනවල යන ගමන් කොහොම හරි අපිව සැප වාහනවල යවන්න උත්සහ කරනවා. ඒකට නං මහින්දලා , රනිල්ලා ඇතුළුව හැම දේශපාලකයෙක්ටම ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න.
මේක ලියන්නෙත් මේ ලක්ෂ දොළහකට කාර් එකක් අරගෙන ඉතුරු සල්ලිවල ගෙදර බබාට බුල්ටො අරං දෙන්න යන ගමන්….

ජීවන පහන් තිළිණ










