ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයකු ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂනය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය බියගුළු සහ නිවට ප්‍රහාරය හරහා අභියෝගයට ලක්කළ බවත් වර්තමාන පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය නොවන නිසා ආණ්ඩුවේ මර්දනයට විරුද්ධ සියලුම දේශපාලන පක්‍ෂ සංවිධානය වියයුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද (22) පැවසීය.
ජනමතයක් නොමැතිව පස්සා දොරෙන් ජනාධිපති ධූරයට රිංගු පුද්ගලයෙක් ජනතාව මර්දනයට සැළසුම් සකස් කරමින් සිටින බව කී ගුණරත්නම් මහතා මර්දනයට බියවී පලා නොගොස් සංවිධානය වන ලෙස සබුද්ධික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
ගාලුමුවදොර අරගලයට අද අලුයම එල්ල වූ ප්‍රහාරයට සහභාගි වූ ආරක්‍ෂක අංශවල යැයි කියාගත් පුද්ගලයන් මුහුණු ආවරණය කරමින් හඳුනාගත නොහැකි වන ලෙස වෙස්වලාගෙන ප්‍රහාරය එල්ල කළ බවත් එහිදී සමහර ආරක්‍ෂ අංශ සමාජිකයන් වෙස්වලාගත් පුද්ගලයන්ගේ තිරස්චීන ප්‍රහාර වලක්වන ආකාරය ද දැකගත හැකි බවත් කුමාර් ගුණරත්නම් මහතා කීය.










