ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා රැල්ල සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කොට ඇත.
එම සංවිධානය මගින් කොරෝනා අවදානම් මට්ටම් 4ක් හදුන්වා දී ඇති අතර මේ වනවිට ලංකාව පසුවන්නේ එහි තුන්වන අවදානම් මට්ටමේය.
එනම් රටේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගී පොකුරු බිහිවීමත්, ඒ ඒ ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සිදුවන මට්ටමේය. එමෙන්ම එම මට්ටමේදී රෝගය සමාජ ව්‍යාප්තියක් දක්වා ඇදී යාමේ අවදානමක් ඇති අතර සෞඛ්‍ය අංශවලට ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද අවමය.
පළමු මට්ටමේදී ආසාදිතයන් හඳුනාගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වන අතර එහිදී ආසාදිත පොකුරු දක්නට නොලැබේ.
දෙවන මට්ටමේදී එක් රෝගී පොකුරක් සමඟ එයට සීමාවූ ප්‍රදේශයේ පමණක් ඇඳිරිනීතිය පැනවීම සිදුවේ.
සිව්වන මට්ටම ප්‍රජා සම්ප්‍රේෂණය වන අතර එහිදී රටේ විවිධ ප්‍රදේශවලින් කිසිදු මුල් සම්බන්ධයක් නොමැති රෝගී පොකුරු බිහිවීම දක්නට ලැබේ.
ඒ අනුව ලංකාව මේ වනවිට සිටින්නේ තුන්වන අවදානම් මට්ටමේ වන අතර එය සිවුවන අවදානම් මට්ටමට පැමිණියහොත් මුල් සම්බන්ධයක් නොමැති රෝගීන් හමුවනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාද සදහන් කර සිටින්නේ මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රයේ සම්පත් සීමාසහිත වී ඇති බැවින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සදහා ජනතාවගේ දායකත්වය ඉහළින්ම තිබිය යුතු බවකි.










