ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්රේට් අසුරා තිබු ගබඩාවක පිපිරුමක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 78ක් මියගොස් 4000කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට බලධාරින් සඳහන් කර සිටියේය.
මෙම පිපිරුමෙන් සිදුවූ කම්පනයෙන් නගරයට කිලෝමීටර් 6කට එපිටින් තිබූ ගොඩනැගිලි පවා විනාශ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
දැනට සිදුකර ඇති මුලික විමර්ශනවලදි හෙළිව ඇත්තේ වසර 06ක් පුරා රාජසන්තක කොට ගබඩා කර තිබු ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,700ක් අසුරා තිබු ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවයි.
මෙම පිපිරිමෙන් පසු හදිසි කැබිනට් රැස්වීමක් කැඳවමින් එරට ජනාධිපති Michel Aoun සඳහන් කර සිටියේ සති දෙකක කාලයක් සඳහා රටේ හදිසි නීතිය බලපැවැත්වෙන බවයි.
මේ අතර එරට ජේෂ්ඨ ආරක්ෂක මණ්ඩලය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට සඳහන් කර සිටියේ පිපිරිමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබෙන බේරූට් නගරය ආපදා නගරයක් ලෙස නම් කරන ලෙසයි.










