හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් විසින් ගොනුකර තිබු අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කර තිබේ.
ඔවුන් මෙම පෙත්සම ගොනු කළේ, රුපියල් ලක්ෂ 200ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 24 කට වරදකරු කර තමන්ට පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළ බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අහෝසිකර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනි.
පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, මහාධිකරණය පළමු ස්ථිර ත්‍රිපුද්ගල මාහාධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා ට ලබාදී තිබු දඬුවම් නියෝගයන් ස්ථිර කර ක්‍රියාත්මක කිරීමටයි.
කන්තලේ සීනි සමාගම සතුව තිබු ගොඩැනැගිලි සහ යකඩ පවරාදීමට අනුමැතිය ලබාදීම සඳහා 2018 වර්ෂයේ පෙබරවාරි 27 වැනි දා කොළඹ ටාජ්සමුද්‍රා හෝටල් රථගාලේදී ශ්‍රී ලංකා සුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානීයාගෙන් එම අල්ලස ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවෙන් එම විත්තිකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂණ් සභාව විසින් පවරා තිබු නඩුව විභාග කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකි රාජරත්න යන පළමු ස්ථිර ත්‍රීපුද්ගල විනිසරුමඩුල්ල පළමු විත්තිකාර කුසුම්දාස මහානාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිරදඩුවම් හා රුපියල් 65000 ක දඩයක් ද අල්ලස් ලෙස ලබාගත් මුදලේ වටිනාකම වන රුපියල් කෝටි දෙකක වන්දිය රජයට ගෙවන ලෙසට ද නියම කර තිබුණි.
එම නඩුවේ දෙවන විත්තිකාර රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් හා රුපියල් 65,000 ක දඩයක් ගෙවීමට ද නියම කොට තිබුණි.
එම දණ්ඩන නියෝගයන්වලට එරෙහිව ඔවුන් විසින් ගොනුකර තිබු අභියාචානා පෙත්සම සම්බන්ධ විභාගය පිළිබඳව විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අද දින විජිත් මළල්ගොඩ, පි. පද්මන් සූරසේන, ඒ.ටි.බි දෙහිදෙණිය, එස් තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන පංචපුද්ගල විනිසුරුමඩුල්ල විසින් එම තීන්දුව අදි දින ලබාදෙනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල විශේෂයෙන් විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ නිරත මෙවැනි නිලධාරීන් නිසා රාජ්‍ය සේවය පිරිහීමට ලක්වන බවයි.
ඔවුන් රාජ්‍ය සේවයේ ඔවුන් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත්වන පුද්ගලයින් ඉතා යහපත් සෙසු රාජ්‍ය නිලධාරීන්ට පුර්වාදර්ශයක් ලබාදිය හැකි නිර්දෝශී හා අවංක ගුණගරුක සහ දුෂණයෙන් තොර නිලධාරීන් විය යුතු බව එහිදී විවෘත අධිකරණය හමුවේදී විනිසුරුමඩුල්ල පෙන්වා දුන්නේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.










