‘ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට ගෙන ඒමේදී ඇමෙරිකා එක්සත් ජනපදය සිය රාජ්‍යතාන්ත්‍රික බලපෑම හරහා ප්‍රධාන භූමිකාවක් ඉටුකළා. මේ විශාල මෙහෙවර නිසා අනුර කුමාර දිසානායක ඇමෙරිකා එක්සත් ජනපදයට සහ එහි කොළඹ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට ණයගැතියි. ශ්‍රී ලංකාවේ නව නායකයා තමන්ගේ විප්ලවවාදී පරමාදර්ශවලට වඩා ප්රජාතන්ත්රවාදී නව දැක්මකට ක්‍රමයෙන් මාරුවී තිබෙන ආකාරයක් දැකිය හැකියි. මෙය ඔහුගේ සුවිශේෂ ලක්ෂණයක්. අනුර කුමාර දිසානායක දැන් වෙනස්ම පුද්ගලයෙක් ලෙසට පරිවර්තනය වෙමින් සිටිනවා. ඔහු දැන් උත්සාහ කරන්නේ ප්‍රජාත්නත්‍රවාදයේ මූලික හරයන් තේරුම් ගැනීමටයි. ඔහුගේ නව අත්දැකීම්වලින් ඔහු බොහෝ දේ ඉගෙනගෙන ඇති බව පෙනෙනවා. ශ්‍රී ලංකාවේ මෙම දේශපාලන පරිවර්තනයේ ඉතිහාසය ගැන ජාත්‍යන්තරය බොහෝ උනන්දු වෙනවා…’ (Sri Lanka Latest News)
කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? ශ්‍රී ලංකාවේ වත්මන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ කරගත් මෙම කතාවෙන් කියැවෙන්නේ කුමක්ද? එය සැබැවින්ම එක්තරා ආන්දෝලනාත්මක පුවතකි. එනම් නව ජනාධිපතිවරයා බලයට පත්කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික බලවේගයන් මැදිහත් වුණේ යැයි මෙයින් කියැවෙයි. මෙයට පෙර කිසි විටෙකවත් අසන්නට නොලැබුණු මෙම පුවතින් තවදුරටත් කියා සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපද රජය සහ එහි ශ්‍රී ලංකාවේ කොළඹ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ණයගැති බවයි. මෙම ආන්දෝලනාත්මක පුවත අප වෙත කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම කතාවේ තවත් තොරතුරු සොයා බලන්නට ප්‍රථම එය පැවැසුවේ කවුදැයි සොයා බලමු. මෙම වතගොත අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය.
මෙම අපූරු කතාන්දරය කියා සිටින්නේ ඉන්දියාවේ මහාචාර්යවරයකු වන එස්.ඩී. මුනි මහතා විසිනි. ලෝකයේ ප්‍රකට ඉන්දියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන මණ්ඩලයේ ප්‍රධානියකු වන ඔහු, සම්මානිත මහාචාර්යවරයෙකි. මහාචාර්ය එස්.ඩී. මුනි, විද්වත් ක්ෂේත්රය තුළ හඳුන්වන්නේ දේශපාලන විද්‍යාඥයකු ලෙසිනි. ලෝක දේශපාලනය ගැන ප්‍රවීණ විද්වතකු සහ විශ්ලේෂකයකු වන ඔහු, ඉන්දීය සහ විදේශීය විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි හිමිකරගෙන ඇත. ඔහු ඉන්දීය විශ්වවිද්‍යාල කිහිපයකට අමතරව, ලෝක ප්‍රකට සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේද මහාචාර්ය ධුරයක් උසුලන ලදී. එසේම මහාචාර්ය එස්.ඩී. මුනි, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අග්නිදිග ආසියානු රටවල් සඳහා වූ ඉන්දියාවේ විශේෂ නියෝජිතයාද විය. තවද ඔහු කලක් ඉන්දීය ජාතික අරක්ෂක උපදේශක මණ්ඩලයට සේවය කළේය. මේ අතරම ඔහු දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආරක්ෂක ක්‍රියාවලිය ගැනද මහත් අධ්‍යයනයක නිරත වූ අතර, 2005 දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔහුට විදේශිකයකු සඳහා වන රටේ ඉහළම ජාතික සම්මානය වන ‘ශ්‍රී ලංකා රත්න’ සම්මානයද පුද කළේය. ඔහු භූ දේශපාලන සහ ආරක්ෂක විෂයට අදාළ ග්රන්ථ 30ක් පමණ සම්පාදනය කර ඇත.
මෙම සුවිශේෂ මහාචාර්යවරයා විසින් අපගේ ශ්‍රී ලංකා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ පසුගියදා නවදිල්ලි විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකදීය. එහි තොරතුරු තවදුරටත් සොයා බලමු.
‘ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට ගෙන ඒමේදී ඇමෙරිකා එක්සත් ජනපදය සිය රාජ්‍යතාන්ත්‍රික බලපෑම හරහා ප්‍රධාන භූමිකාවක් ඉටුකළා. මේ විශාල මෙහෙවර නිසා අනුර කුමාර දිසානායක ඇමෙරිකා එක්සත් ජනපදයට සහ එහි කොළඹ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට ණයගැතියි. ශ්‍රී ලංකාවේ නව නායකයා තමන්ගේ විප්ලවවාදී පරමාදර්ශවලට වඩා ප්රජාතන්ත්රවාදී නව දැක්මකට ක්‍රමයෙන් මාරුවී තිබෙන ආකාරයක් දැකිය හැකියි. මෙය ඔහුගේ සුවිශේෂ ලක්ෂණයක්. අනුර කුමාර දිසානායක දැන් වෙනස්ම පුද්ගලයෙක් ලෙසට පරිවර්තනය වෙමින් සිටිනවා. ඔහු දැන් උත්සාහ කරන්නේ ප්‍රජාත්නත්‍රවාදයේ මූලික හරයන් තේරුම් ගැනීමටයි. ඔහුගේ නව අත්දැකීම්වලින් ඔහු බොහෝ දේ ඉගෙනගෙන ඇති බව පෙනෙනවා. ශ්‍රී ලංකාවේ මෙම දේශපාලන පරිවර්තනයේ ඉතිහාසය ගැන ජාත්‍යන්තරය බොහෝ උනන්දු වෙනවා…’
‘ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය පසු කාලයකදී යළි හැඩගැස්වීමේ ප්‍රධාන චරිතය ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සැලකිය හැකියි. ජනතා විමුක්ති පෙරමුණෙහි ප්රචණ්ඩ මානසිකත්වයෙන් එම පක්ෂය ඉවත් කර ඔවුන් ප්රජාතන්ත්රවාදය දෙසට පුරුදු පුහුණු කළේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එම පක්ෂය එහි විප්ලවවාදී මූලයන්ගෙන් ඈත් කර වඩාත් ප්‍රායෝගික සහ ප්රජාතන්ත්රවාදී මාවතකට යොමු කිරීමේ ප්‍රධාන භූමිකාව ඇය විසින් ඉටුකළා. මෙවැනි ධනාත්මක වර්ධනයන් වර්තමාන දේශපාලනයේ තිබියදීත් ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයේ අනාගතය ගැන එතරම් සුබවාදී ආකාරයකින් සිතන්න බැහැ. ශ්‍රී ලංකාවේ පළාත්වලට බලය බෙදාහැරීමේ අරමුණ ඇතිව ඉන්දියාව විසින් නිර්මාණය කරන ලද ව්‍යවස්ථාමය විධිවිධානයක් වන 13 වැනි සංශෝධනය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් දැකිය හැකියි. එනම් එය වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකියි. සුළු ජාතීන්ගේ උත්සුකයන් සැබෑ ලෙසම ආමන්ත්‍රණය කරන නැවුම් අදහස් ගැන සිතීමට දැන් කාලය පැමිණ තිබෙනවා. ඔවුන් ජාතියේ සමාන සහ ඒකාග්ර සාමාජිකයන් ලෙස හැඟෙන සේ සහ හැඟෙන පරිදි කටයුතු කළ යුතුයි. එලෙස සියලු පුරවැසියන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාලන ආකෘතියේ විස්තීරණ ප්රතිසංස්කරණයක් අත්‍යාවශ්‍යයි. වාර්ගික හෝ ප්‍රදේශය කුමක් වුවද සැබැවින්ම සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් යැයි සිතෙන සහ පිළිගැනෙන ක්‍රමවේදයක් අත්‍යාවශ්‍ය වෙනවා….’
මහාචාර්ය එස්.ඩී. මුනි විසින් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කළේය. ඔහු මේ සියලු අදහස් ප්‍රකාශ කර සිටින්නේ වත්මන් නව රජය බලයට පත්වීමෙන් පසුවය. මෙහිදී ඔහු විශේෂිත ආකාරයෙන් කියා සිටින්නේ විදේශීය බලවතුන් දිවයිනේ දේශපාලන සංක්‍රාන්තිය කෙරෙහි විශාල බලපෑමක් සිදුකළ ආකාරයයි. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ වී සිටි ආකාරයද කියා සිටියි. එහෙත් ඇමෙරිකාවේ එම රහස්‍යමය ක්‍රියාවලිය කුමක්දැයි ඔහු තම දේශනයේදී සවිස්තරාත්මකව හෙළිකර නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන පරිණාමය පිටුපස ක්‍රියාත්මක වන බල ගතිකත්වය එයින් ඉස්මතු කර පෙන්වයි. දිවයිනේ බොහෝ පාර්ශ්ව සහ විවිධ පුද්ගලයන් මෙම දේශපාලන පරිණාමය සහ බල ගතිකත්වය පිළිගැනීමට අකැමැති වුවත් එය ඒ ආකාරයෙන් සිදුවී ඇතැයි ඉන්දීය මහාචාර්යවරයා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනයේ ඉතිහාසය ගැන ගැඹුරින් අධ්‍යයනය කරන මහාචාර්ය එස්.ඩී, මුනි තම අදහස් ඉහත විශ්වවිද්‍යාල දේශනයේදී එසේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන එසේ අදහස් ප්‍රකාශ කළ ඔහු පසුව ඉන්දියාව සහ ජාත්‍යන්තර සබඳකම් සහ ගැටලු ගැනද අදහස් ප්‍රකාශ කළේය.
මහාචාර්යවරයාගේ ප්‍රකාශය ඉන්දියාව දෙසට යොමුවූ අතර, එහිදී ඔහු ප්රජාතන්ත්රවාදී මූලධර්ම සඳහා ජාතියේ (ඉන්දියාවේ) කැපවීම ප්‍රශ්න කළේය. වර්ධනය වන මාධ්‍ය සංවිධාන මර්දනය සහ ඉන්දියාව තුළ විරුද්ධ මත මර්දනය කිරීම පෙන්වා දුන් ඔහු, රටේ ප්රජාතන්ත්රවාදී වටිනාකම් විදේශයන්හි දේශනා කිරීමට පෙර රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කළේය. ‘ඉන්දියාව තමන්ගේ ප්රජාතන්ත්රවාදී වටිනාකම් ගැන අන් අයට ඉගැන්වීමට උත්සාහ කරයි. නමුත් එය ප්‍රථමයෙන් තම දේසීමා තුළ එම අගයන් ක්‍රියාත්මක කරන බවට සහතික විය යුතුයි’ යැයි ඔහු අවධාරණය කළේය. කලාපයේ ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් විට නොගැළපෙන ප්‍රවේශය පිළිබඳවද ඔහු තම අදහස් දැක්වීය. එහිදී අසල්වැසි රටවලට සහාය වීමට එහි ප්රයත්නයන් සමහර විට තරමක් අනපේක්ෂිත ලෙස පෙනෙන බවද ප්‍රකාශ කළේය. කලාපීය අර්බුද සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය බොහෝ විට හැඩගැසෙන්නේ අසල්වාසීන්ගේ අව්‍යාජ අවශ්‍යතාවලට අනුව දැයි සැක සහිත යැයිද ඔහු අවධාරණය කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










