එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් නව රජය විමර්ශනයක් සිදු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවේ ලියාපදිංචි කර තිබෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.
එම නෞකාව, 2021 වසරේ මැයි මාසයේ දී මීගමු වෙරළට ඔබ්බෙන් ගිනිබත් විය.
නැව ගිනි ගෙන තිබුණේ ඒ තුළ වූ සිට්රික් ඇසිඩ් බහාලුමක් කාන්දු වීම හේතුවෙනි.
නෞකාව ගිනිබත් වීමෙන් සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව, විශාල පාරිසරික හානියක් සිදු වූ අතර, ධීවර ජනතාවට ධීවර කටයුතු සිදු කිරීමට මං ඇහිරිණි.
මේ සියල්ල සලකා බැලූ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය (මීපා) පත් කළ විද්වත් කමිටුවක් තීරණය කර තිබුණේ අදාල විනාශය සදහා නැව් සමාගමෙන් ඩොලර් බිලියන 6.4 ක වන්දියක් ලබා ගත යුතු බවයි.
නමුත් මේ දක්වා ලැබී ඇත්තේ ඩොලර් මිලියන 12.5 ක වන්දි මුදලක් පමණි.
එම ඩොලර් මිලියන 12.5 ක වන්දියෙන්ද වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ රුපියල් වලින් බව වාර්තා වේ.
එසේ වන්දි මුදලින් ලැබුණු කොටස පවා රුපියල් වලින් භාර ගැනීම පිටුපස මූල්‍ය වංචාවක් සිදුව ඇද්ද යන සැකය මතු වී තිබේ.
ඊට අමතරව, විනාශය සිදු වූ ලංකාවට අයත් අධිකරණයක නඩු නොපවරා, නඩු පැවරීම සිංගප්පූරු අධිකරණයක සිදු කිරීමද ගැටළුවක් බව නීති විශාරදයෝ පවසති. නඩුව සිංගප්පූරු අධිකරණයක පවරන ලද්දේ ද විනාශය සිදු වී වසර දෙකකටත් පසුව ය.










