හැමදාමත් ‘මව්රට’ අපි ලංකාවේ කලාකාරයන්ට දුන්න එක පණිවුඩයක් තිබුණා. ඒ තමයි දේශපාලනයට එන්න එපාය කියන එක. සරස්වතී දේවිය දුන්න හැකියාවෙන් නිසි ඵල අරගෙන පාඩුවේ දන්න කලාව කරගෙන ඉන්න කියන එක වගේම කලාකාරයෝ දේශපාලනයට ඇවිදින් දේශපාලකයන්ට නොමනා විදියට කඩේ යන්න ගිහින් තම තමන්ගේ ප්‍රතිරූපවලට හානි කරගත්ත එක ගැනත් එහිදී අප පෙන්නලා දුන්නා. නිදසුන් එහෙමත් දුන්නා. ආයෙමත් මතක් කිරීමක් කරනවා නම් ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනී වැනි දැවැන්ත ප්‍රතිරූපයක් ඉසිලූ නිර්මාණකරුවකු මිනිසුන්ට වහ කදුරු වීම සහ අරගලයෙහි ක්‍රියාකාරකම් හමුවේ පීඩනය දරාගත නොහැකිවම හදිසි හෘදයාබාධයකින් අකාලයේ මරණයට පත්වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහව මේ අවස්ථාවේදීද දක්වන්නට පුළුවනිය. ඒ කොතෙකුත් කතා කීවද කලාකරුවෝ ආයෙ ආයෙත් දේශපාලන වේදිකාවට පැමිණියහ. ඇවිදින් දින්නත් ඔවුන් කලා ශිල්පීන් හෝ ඇදවැටී තිබෙන සිනමාව වෙනුවෙන් තබා රට වෙනුවෙන්වත් කරන යමක් හෝ කරපු යමක්ද මෙතෙක් නම් තිබුණේ නැත. කළා නම් කළේ ලෝක බොරුවක් හෝ මගඩියක් පමණය. ඒ සඳහාද නිදසුනක් දෙනවා නම් ප්‍රවීණ සම්මානනීය නළු උද්දික ප්‍රේමරත්නව පෙන්වීමට පුළුවනිය. (Sri Lanka Latest News)
ඔය කතා මීට පෙරද වතාවකට දෙකකට වඩා අප කීවෙමු. ඒත් වැඩක් වූයේ නැත. කලාකරුවන් පොකුරක් දේශපාලනයට ආවෝය. ඒ අතර කමල් අද්දරආරච්චි, රන්ජන් රාමනායක, චරිත් අබේසිංහ, ශෂි විජේන්ද්‍ර, රුවන්ති මංගලා යන අය වූහ. ජගත් මනුවර්ණගේ නම මෙතැනට ඈඳාගත නොහැක්කේ ඔහු නළුකම නිසා දේශපාලනයට පැමිණි අයකු ලෙස ගන්නට මඳක් අපහසු නිසාය.
එලෙසම මනුවර්ණගේ දේශපාලන ගමන නළුකම මතුකොට පෙන්වා පැමිණි එකක් නොවීය. ඔහුගේ දේශපාලනය ඉහත කී නළු නිළියනට හෝ කලාකරුවන් සමග සසඳන්නටද බැරි නිසා අපි අනෙක් අය ගැන කතා කරමු. අනෙක මනුවර්ණ සිය සටන ජයගත් නිසාද ඔහුට මේ ලියමන අදාළ නැත. ශෂී විජේන්ද්‍රද මනාපවලින් පෙරමුණ ගෙන සිය දේශපාලන ගමනට යම් අඩිතාලමක් දමාගෙන තිබිණි.
මයික් එකක් දැක්කත් කමකට නැති නන් දොඩවන රන්ජන් රාමනායක මයික් එක සංකේතවත් කොට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ පක්ෂයෙන් සටන් කොට පරාජයට පත්විය. නළුවකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියම සම්මානයට කිහිප වතාවක්ම හිමිකම් කියපු රන්ජන් නොසිතූ පරාජයකට පත්විය. ලස්සන කෙල්ලන් සහ මහේෂි මධුශංකලා වැනි ජනප්‍රිය නිළියන් හුළං හාදු දෙමින් රන්ජන් වෙනුවෙන් කැම්පේන් කළද ඔහු නොසිතූ විදියට මිනිස් සිත්වලින් ප්‍රතික්ෂේප විය. රුවන්ති මංගලා ගැන කියලා වැඩක් නැති තරම්ය. අහේතුකව මැතිවරණ සටනට ඇවිදින් විලාසිතාවට මෙන් ඡන්දය ඉල්ලා රුවන්තිට වූයේ ඉල්ලාගෙන කන්නටය. චරිත් අබේසිංහ මඩ නාගන්නේ නැතිව ශෂී වාගෙම මහත්මා ගතියට මැතිවරණයට පැමිණියද ඔහුට ශෂී මෙන් මනාප ගන්නට බැරි විය. ශෂී දින්නේ මාලිමාවට මුහුණු පොත හරහා ඇතිවූ රැල්ලේ අනුහසටයි කියා ඇතැමෙක් කිව්වද ඔහු සටනින් කෙසේ හෝ ගොඩ ගිහින් තිබිණි.
කමල් අද්දරආරච්චි වැනි ජෙනුවින් කලාකරුවකු දේශපාලනයට හිටි අඩියේ ආව කාරණාව කාටත් තේරුම් ගන්නට නොහැකිය.
‘කමල් වගේ දක්ෂ නළුවෙක් මොකට දේශපාලනයට ආවද? අපරාදේ… නළුකම කරගෙන හිටියා නම් මදැයි…’
සමහරු කමල් ගැන එහෙමද කතා කරන්නට වූහ. තවත් අය කීවේ මාලිමාවේ දොර වැසුණු මොහොතේ ඔහුට මැතිවරණයෙන් ඉවත්ව යන්නට තිබුණා නොවේදැයි කියාය. ඒකත් ඇත්තය. ජනාධිපති අනුර එදා ඔහුව රිජෙක්ට් කරපු වෙලාවේ ඔහුට නම්බුකාරව නිහඬව ගෙදර ගියා නම් වඩා හොඳය. කමල් වැනි වෙනස්ම කලාවක නළුවෙක් අපරාදේ නෝන්ඩි විය. ලංකාවේ දේශපාලන කලාව එහෙමය. එය නළු නිළියනට සහ වෙනත් කලාකරුවන්ටද හරියන්නේ නැත. කලාකරුවන් ලෙස තමන් ආදරය කරන මිනිසුන් දේශපාලනයට යනවාට රසිකයන් මනාප නැත. දේශපාලනයට යන කලාකරුවන්ට මනාප ගන්නට බැරිව යන්නේ ඒකය. එක්කෙනකුට දෙන්නෙකුට එය චාන්ස් දුන්නාට වැඩි හරියක් දෙනාට එය නෝ චාන්ස්ය.
සියල්ල අවසානයේ මැතිවරණ සටන ජයගත් කලාකරුවන්ට අප සුබ පතන්නෙමු. එලෙසම පාර්ලිමේන්තුව තුළ අසරණභාවයට පත්ව සිටින කලාකරුවන් වෙනුවෙන්ද හතරගාතේ දා වැටී සිටින සිංහල සිනමාව වෙනුවෙන්ද හඬක් නගන්නට ඔවුන්ට සිතක් පහළ වේවා කියාද පතන්නෙමු. එය මනුස්සකම වාගෙම ඔවුන්ගේ වගකීම සහ වගවීමද වන බව මෙහිදී සුහද සිතින් මතක් කර දෙන්නෙමු.
මල්මි කෞෂල්‍යා










