පසුගිය සිකුරාදා වන විට එජාප නායකත්වය අත්හරින බවට ඉඟි කළ රනිල් ඊට දවස් කිහිපයක් යෑමෙන් පසු තවදුරටත් එජාප නායකත්වය දරන තැනට සිය ස්ථාවරය වෙනස් කරගැනීමට පියවර ගත්තේය. ඒ, එක්තරා විශේෂ හේතුවක් මුල්කරගෙනය. ඒ විශේෂ හේතුව රනිල්ගේ ඔළුවට දැම්මේ වෙන කවුරුවත් නොව රනිල්ගේ සහෝදරයකු වන චන්න වික්‍රමසිංහය.
චන්න පිළිබඳව රටේ ජනතාව වැඩි තොරතුරක් නොදන්නා නමුත් එජාපයේ මැති ඇමැතිවරුන්ට නම් චන්න යනු අලුත් කෙනෙක් නොවේ. මන්ද යත් පසුගිය දශක කිහිපය තිස්සේම රනිල්ගේ සියලු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයන් සිදුකරනු ලැබුවේ චන්නය. රනිල් වික්‍රමසිංහ ගන්නා තීන්දු තීරණ සියල්ල පිටුපස සිටියේ චන්නය. කොටින්ම කියනවා නම් කොළඹ අපේක්ෂක ලැයිස්තු පවා පසුගිය කාලේ රනිල් සකස් කළේ චන්නගේ අනුදැනුම මත චන්නට වුවමනා ආකාරයටය.
යන්න හිටපු රනිල්ගේ ඔලුව වෙනස් කරයි
එජාප නායකත්වයට රවි, වජිර, දයා, කරු, අකිල ආදීන්ගේ නම් පැමිණීමත් සමඟ වික්‍රමසිංහ පවුල ඇතුළේ එජාපයේ ඊළඟ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කීපයක් පැවැත්විණ. ඊට මුල්තැන ගත්තේත් මේ කියන චන්නමය. ඒ අනුව රනිල්ට හිතවත් හිටපු මන්ත්‍රිවරුන් මෙන්ම ජාතික ලැයිස්තුවේ හිටපු මන්ත්‍රිවරුන්ද, රනිල්ට හිතවත් ව්‍යාපාරික පිරිස්ද කොළඹ සිය කාර්යාලයට කැඳවූ චන්න, රනිල්ගෙන් පසු නායකත්වයට ගත යුතු පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ඔවුන්ට ලබාදීමට කටයුතු කළේය. ඒ අනුව චන්නගේ අදහස වී තිබුණේ රනිල්ගේ නායකත්වයෙන් පසු එජාප නායකත්වයට වික්‍රමසිංහ පවුලේ ඥාතියකු මෙන්ම රනිල්ගේ මස්සිනා කෙනකු වන රුවන් විජේවර්ධන පත්කිරීමටය. පක්ෂ නායකත්වය පවුලේ අයෙක්ගෙන් පිටට ගියහොත් යළිත් එය පවුලට ලබාගැනීම අතිශය දුෂ්කර බව එහිදී පෙන්වා දුන් චන්න, කෙසේ හෝ රුවන් නායකත්වය සඳහා සූදානම් වන තෙක් ඒ අතරතුර කාලය රනිල් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව පිරිසට අවධාරණය කර සිටියේය.
රුවන් එජාපය විනාශ කරපු හැටි
රනිල් මීට වසර කිහිපයකට කලින් රුවන්ව දේශපාලනයට ගෙනාවේද මෙම අදහස ඔළුවේ තියාගෙනය. රනිල් රුවන්ට දුන්නේද තමා තරඟ කළ බියගම ආසනයය. කොතෙකුක් දක්ෂයන් පක්ෂයේ සිටියත් ඒ සියල්ලන්ම කපා දමා රනිල් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්කම රුවන්ට දුන්නේය. වෙනකක් තියා ජනාධිපතිවරයා දැරූ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය පවා රනිල් දුන්නේ රුවන්ටය. රනිල් ඒ සියල්ල කළේ තමාගෙන් පසු රුවන්ව පක්ෂ නායකත්වයට ගේන්නය. නමුත් රනිල් කළ ඒ සියල්ල අසාර්ථක විය. බියගම එජාප පාක්ෂිකයන්ට රුවන් එපා විය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ රුවන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිටියදීය. ඒ අතින් බලන විට අසාර්ථකම ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වූයේ රුවන්ය. බොහෝ දෙනා කියා සිටින්නේද රුවන්ව මෙහෙයවන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් යැයි කියාය. (ඒ පාර්ශ්වයන් පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළිදරව් කිරීමට ‘රාජ්‍ය රහස්’ තීරය සූදානම්ය) එමෙන්ම තවත් චෝදනා රැසක් රුවන්ට එරෙහිව එල්ලවී තිබිණ. මේ නිසා සජිත්ට එරෙහිව රුවන් පක්ෂයේ ඉහළට ගෙන ඒමට රනිල් උත්සාහ කළත්, ඒ සෑම තැනකදීම රුවන්ට වඩා ගවු ගණනාවක් ඉදිරියෙන් සජිත් සිටියේය.
මේ නිසා චන්න අවසානයේදී රනිල්ට කියා සිටියේ මේ මොහොතේ රුවන්ව පක්ෂ නායකත්වයට ගෙන ඒමට නොහැකි නම් කළ හැකි හොඳම දෙය වන්නේ රුවන්ගේ කාලය එන තෙක් අපහසුවෙන් හෝ පක්ෂයේ බලය අල්ලාගෙන සිටීම බවය. ඒ අනුව මේ වන විට චන්න රනිල්ට පමණක් නොව රුවන්ටද ඉදිරියේදී වැඩකටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙන බව ආරංචිය. රුවන් කතා කළ යුත්තේ කෙසේද, හැසිරිය යුත්තේ කෙසේද යනාදී සියල්ල චන්න විසින් සිදුකරන බවද දැනගන්නට ඇත. පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටියත් අවසන් මොහොතේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පක්ෂ නායකත්වයට ව්‍යාජ අර්බුදයක් ගොඩනඟා තවදුරටත් නායකත්වය අල්ලාගෙන සිටීමට රනිල් දේශපාලන ගේමක් ගැහුවේ චන්නගේ මේ උපදෙස්වලට අනුවය.
නම කියපු ගමන් බරපතළ විරෝධයක්
කෙසේ වෙතත් රනිල්ගේත්, චන්නගේත් මේ උත්සාහය පසුගිය සිකුරාදා හබක් වුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට රුවන්ගේ නම නායකත්වය සඳහා යෝජනා කිරීමත් සමඟ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊට එල්ල වූ විරෝධය හේතු කොටගෙනය. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් යෝජනාව ආ අවස්ථාවේදී රනිල්ගේ අතිශය සමීපතමයකු වන ආශු මාරසිංහ රුවන්ගේ නම නව නායකත්වයට යෝජන කළ අතර සමන් රත්නප්‍රිය එය ස්ථිර කිරීමට පියවර ගත්තේය. නමුත් ඒ සමඟම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊට එල්ල වූයේ බලවත් විරෝධයකි. රුවන් බියගම පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයම විනාශ කළ බව කියමින් විශාල දෝෂාරෝපණයක් එල්ල කළ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ සමයේ එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුකොට ගෙන එජාපය විනාශම වී ගිය බවට ප්‍රබල චෝදනාවක්ද මෙහිදී එල්ල කළහ. මේ නිසා රුවන් එජාප නායකත්වයට කිසිසේත්ම සුදුසු නොවන බවද ඔවුහු කියා සිටියහ. මේ විරෝධය හරහා රුවන්ගේ නමටද වූයේ කරුගේ නමටම සිද්ධ වූ දේමය.
ජාතික ලයිස්තුවෙන් රනිල්!
ඉන් අනතුරුව සාකච්ඡා වූයේ එජාපයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම පාර්ලිමේන්තු ආසනයට පත්කරන්නා කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ය. ඊට නම් කිහිපයක්ම යෝජනා වී තිබීම නිසා රනිල් අවසානයේදි කියා සිටියේ දින නියමයක් නොමැතිව එය නම් කිරීම කල්දමන බවය. ඒ හරහා රනිල්ගේ සැලැස්ම වී ඇත්තේ අවසන් මොහොතේ තමන්ගේම නම එජාප ජාතික ලැයිස්තු ධුරය සඳහා නම් කරගෙන ඉන් පසු පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගන්නටය.
කපිල පුංචිමාන්නගේ