රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ.
ඒ සම්බන්ධයෙන් ඇය විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේ සදහන් වේ.
මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි ,මගේ දෙමව්පියන්ගේ දරුවා ,මගේ සැමියාගේ බිරිඳ,මගේ දරුවන්ගේ මව ,මගේ සහෝදරයාගේ සහෝදරිය වීමට පෙර මම ,මමම වෙමි,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අන් හැමෝටම තියෙන අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මටත් තිබේ,
රටේ නිදහස සහ මගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාමාන්‍ය පුරවැසියකු ලෙස මම රටේ කිසිම නීතියක් කඩ නොකොට දිගින් දිගටම සටන් කරමි.
මම උද්ඝෝෂණයට සහභාගී නොවී සිටියා නම් හොඳ යයි ඔබ සමහරෙකුට සිතෙන්නට පුළුවනි,
රටම ගිනි ගන්නා මොහොතක,රටේ ප්‍රශ්න අමතක කරමින් මා ගෙදරට වී සිටිය යුත්තේ ඇයි ?,අපි සියලු දෙනාම ඒ විදියට හැසිරී මුනිවත රැක්කොත් රටට කුමක් සිදුවේද ?,
රට වෙනුවෙන් මා හට තනියම විශාල වෙනසක් සිදු කළ නොහැකි නමුත් සාමූහිකව අපි සියලු දෙනා එකට එක් වුවහොත් අපට එම වෙනස කළ හැක.
ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මමත් මගේ දරුවනුත් සාමකාමී විරෝධතාවයන් වලට සහභාගි වීම තවත් කෙනෙකුට ගැටලුවක් වන්නේ කෙසේද,එය මාගේ සහ මාගේ දරුවන්ගේ මූලික අයිතිවාසිකමකි,
මගේ නමට සහ මාගේ ප්‍රතිරූපයට කැලලක් ගෙන ඒමට උත්සාහ කරන සමහර අයට ඔවුන්ගේ අභිමතය පරිදි එසේ කිරීමට හැකියාවක් ඇතිමුත් එවැනි පහත් මඩ ප්‍රචාරණ තුළින් සහ ඒක පාර්ශ්වීයව සිදු කරන පදනම් විරහිත අසත්‍ය චෝදනා තුළින් මාගේ චරිතයට හෝ ප්‍රේමදාස නාමයට කිසිවක් කළ නොහැක.
තවද එදින සිදුවූ සිදුවීම් පිළිබඳව මා කිසිවෙකුටත් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන නමුත් ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමට මා හට අයිතියක් ඇත .
එබැවින් එදින සිදුවූ සිදුවීම සැකෙවින් පහතින් සඳහන් කරමි.
මම පස්වෙනි පටුමග ඉදිරිපිට පදිකවේදිකාවේ සිටගෙන අගමැතිතුමාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කළෙමි ,ඊට මොහොතකට පෙර අප හට දැඩි ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල විය,කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ අපි එයින් බේරීම සඳහා ආරක්ෂිත ස්ථාන කරා යොමු වුණා.
පසුව මම නැවතත් පදිකවේදිකාව වෙත ගොස් තරුණ අරගලකරුවන් දෙස බලා සිටියෙමි ,ඒ අවස්ථාවේදී පොලිසියේ නිලධාරියෙක් පැමිණ මා හට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පැවැසුවේය.
නමුත් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කරමින් එම ස්ථානයේ රැඳී සිටීමට මා හටද අයිතියක් ඇති බව ඔහුට ප්‍රකාශ කරමින් එම ඉල්ලීම මා විසින් ප්‍රතික්ෂේප කලෙමි,
ඊට මද වෙලාවකට පසු පොලිසියත්,පොලිස් විශේෂ කාර්ය බලකායක් එකතුවී ජල හා කදුලු ගෑස් එල්ලකරමින් හරිම ආක්‍රමණශීලීව හැසිරෙන්නට පටන් ගත්තා.ඒ අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි සියලු දෙනා විසිරී ගිය අතර මම තර්ස්ටන් විද්‍යාලය තුළ මාගේ ආරක්ෂාව වෙනුවෙන් සුළු මොහොතක් සැඟවී රැඳී සිටියෙමි.
ඒ අවස්ථාවේ දී පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මාර්ගයේ රැඳී සිටි විරෝධතාකරුවන් හට පහර දී තිබූ අතර බොහෝ දෙනෙක් ඉන් තුවාල ලබා තිබුණි,
මේ මොහොත වන විට අපි තර්ස්ටන් විද්‍යාලය තුළ සිටි නිසා මේ සිදුවීම අපිට හරියටම නිරීක්ෂණය කර ගන්නට හැකියාවක් නොලැබුණි.
ඉන් විනාඩි කිහිපයකට පසුව එනම් රාත්‍රී අටට පමණ අපි එම ස්ථානයෙන් පිටත්ව නිවෙස් බලා පැමිණියහ.
ඊට පසුව සිදුවුන දෙය අප වෙත ආරංචි වුණා ,
කිසිවෙකුගේ නිවසක් ගිනි තැබීම සහ කිසිවෙකුට හානි කිරීම මා ද ඇතුළුව සිහි බුද්ධිය ඇති කිසිවෙකුත් අනුමත නොකරන ක්‍රියාවකි,
අගමැතිතුමාගේ නිවස ගිනි ගත් බව ඇසීමෙන් මා ඉමහත් කම්පනයට සහ කම්පාවට පත් වීමි,එවැනි පහත් ක්‍රියාවක් අපි කිසිලෙසකත් කිසි විටෙකත් අනුමත නොකරමි.
මාගේ අභිප්‍රාය වන්නේ සියලුම ආගම් ජාතීන් සමඟ එක්ව ජීවත් වීමයි,
වර්තමාන අප රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වන්නේ ජීවත් වීමේ අරගලය ජය ගන්නයි .
එහිදී ඔවුන්ට තම දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය ආහාර පාන,ඇඳුම් පැළඳුම් ඖෂධ ,ළමයින්ගේ අධ්‍යාපනය,නිදහසේ තම ජීවන වෘත්තීන් කරගෙන යෑමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම වනු ඇත,
සියල්ලට කලින් ජනතාව ජීවත්ව සිටිය යුතුයි,ජනතාව ජීවත් කරවීමේ වගකීම ආණ්ඩුව සතුයි ,රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොහැකි ආණ්ඩුව මෙහි වගකීම ගත යුතුයි.ඉතාමත් ඉක්මනින් ම ජනතාවට සහන සැලසීමට නොහැකි ආණ්ඩුවක් බලයේ රැඳී සිටීමෙන් ඵලක් නැත.එමනිසා වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුය.
එසේම ඉදිරියට පැමිණෙන අනාගත රජයක් තුළදී වුවද ජනතාවගේ ප්‍රශ්න සිතුම් පැතුම් ඉටු කිරීමට නොහැකි නම් ජනතාව පීඩාවට පත් නොකොට ජනතාව පාරට බැසීමට පෙර ඔවුනුත් ගෞරවාන්විතව ඉල්ලා අස් විය යුතුය,
තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මාගේ ප්‍රතිරූපයට හානි කරමින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්නට දේශපාලන නායකයන් සහ පක්ෂ කීපයක් කටයුතු සිදු කරමින් පවතින බව නොරහසකි,
එනමුත් පදනම් විරහිත චෝදනා තුළින් සහ අසත්‍ය කතා කතා ප්‍රචාරණය තුළ ඒ කරුණු විශ්වාස නොකොට බුද්ධිමත්ව සිතා බලා විචාරාත්මකව මේ ගැන සිතා බලන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යුතුය,
ඔබ සියලු දෙනාටම ආශිර්වාදාත්මක දිනයක් වේවා !!!
දුලාංජලී ජයකොඩි










