දෙවතාවක් කල් ගිය මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පවත්වන බව මැතිවරණ කොමිසම රටට නිල වශයෙන් දැනුම් දුන්නේ පසුගිය බදාදා (10දා) දිනයේදීය. දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනාද, මාධ්‍යයද බොහෝ දුරට සිතා සිටියේත්, අදහස් පළ කළේත් ජූලි 25 හෝ අගෝස්තු 01, 08, 15 යන සෙනසුරාදා දිනයන්ගෙන් එකක මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කරනු ඇති බව වුවත් අවසානයේදී සියල්ලන්ම පුදුමයට පත්කරමින් මහින්ද දේශප්‍රිය බදාදා පැවැති මාධ්‍ය හමුවේදී අගෝස්තු 05 වැනි බදාදා මැතිවරණය පැවැත්වීමට කොමිසම තීන්දු කර ඇති බව ප්‍රකාශ කර සිටියේය.
සිරිකොතේ ගාලගෝට්ටිය

මේ ආකාරයට මැතිවරණයට දින නියම කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එජාපය ඇතුළේ ගිනිවිජ්ජුම්බරයක් සිදුවූයේ පසුගිය සඳුදා දිනයේදීය. ඒ සඳුදා දින එජාපය සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබූ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිතිවල විධායක සභා රැස්වීමේදී පක්ෂ නායක රනිල්ට එරෙහිව බරපතළ විරෝධයක් මතුවීමත් සමඟය. එජාප ප්‍රබලයන් පක්ෂ සාමාජිකයන්ගෙන් මෙවැනි විරෝධයක් මතුවනු ඇති බවක් හීනෙන්වත් නොසිතූ බවක් දැකගන්නට ලැබුණේ ඊට දින කිහිපයකට පෙර පැවැති රැස්වීමකදී සිදුවූ සිදුවීමක් හරහාය. මෙම රැස්වීමට රනිල්, අකිල, ආශු ඇතුළු ප්‍රබලයන් පිරිසක්ම සහභාගිව සිටි අතර එහිදී ආශු රනිල්ට කියා සිටියේ මේ වන විට රට ඇතුළේ රනිල්ට විශාල ඉල්ලුමක් මතුවෙමින් පවතින බවත්, රනිල්ගේ ජනප්‍රියත්වය මේ වන විට සජිත්ලාට සාපේක්ෂව ඉහළ යමින් පවතින බවත්, එම නිසා කිසිදු බියකින් තොරව රටේ වටේම මහජන රැස්වීම් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් දැන් උදාවී ඇති බවත්ය. පසුගිය කාලය පුරාම එජාප සාමාජිකයන්ගෙන් රනිල්ට එල්ල වූ දැඩි විරෝධය නිසාම ප්‍රසිද්ධ මහජන රැස්වීම් පැවැත්වීම එජාපය විසින් තාවකාලිකව අත්හිටුවා තිබුණත් ආශුගේ මේ පැහැදිලි කිරීම මත රනිල්ද අකිලට කියා සිටියේ එසේ නම් සිරිකොතේ රැස්වීමක් සංවිධාන කරන ලෙසය. අකිල වෘත්තීය සමිති විධායක සභාව කැඳවූයේ ඒ අනුවය. ඊට එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමය, ජාතික අධ්‍යාපන, වතු කම්කරු සංගමය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන නිලධාරීන් 400කට අධික පිරිසක් එක්ව සිටියහ.
රනිල්ට එරෙහිව විරෝධය උත්සන්න වෙයි
ඒ අනුව රැස්වීම ආරම්භ කොට මුල්ම කතාව කළේ මාධ්‍ය ලේකම්වරයා වන සුනිල් සිල්වාය. සුනිල්ගෙන් පසු කතා කළේ රංගෙ බණ්ඩාරය. රංගෙගෙන් පසු කතාව ආරම්භ කළේ රනිල්ය. ඒ අනුව රනිල් සිය කතාවේදී කියා සිටියේ මෙවර තරගය පවතින්නේ එජාපයත්, පොහොට්ටුවත් අතර යැයි කියාය. වැරැදි තීන්දු, තීරණ හේතුකොටගෙන ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය පරාජයට පත්වූ බව කී රනිල් මෙවර ජනාධිපතිවරණයේදී අලුත් විදිහකින්, අලුත් ආකාරයකින් ගමන ආරම්භ කරන බවද කියා සිටියේය.
කෙසේ වෙතත් ගැටුම ආරම්භ වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බැවින් රනිල් සිය කතාව අවසන් කොට වේදිකාවෙන් බැස යෑමට සූදානම් වීමත් සමඟය. ඒ සමඟම නැඟී සිටි වෘත්තීය සමිති නායකයක් විශාල පිරිසක් එක දිගට රනිල්ට විරෝධය පළ කරමින් කෑකෝ ගසන්නට පටන් ගත්හ.එම තත්ත්වය කෙතරම් දුරදිග ගියාද කියනවා නම් රනිල් වහාම එතැනින් නික්ම ගියේ ඊට පසු දින සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසට ඔවුන්ට දැනුම්දෙමිනි. විරෝධතාවය මැදට පැමිණ රංගෙ බණ්ඩාර තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළද ඔහුටද එය පාලනය කළ හැකි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව රංගේද එම ස්ථානයෙන් පිටව ගිය අතර එතැනින්ම රැස්වීම අවසන් කිරීමට පිරිස කටයුතු කළහ.
රනිල් අකිලගේ ඇගට ගොඩවෙයි
මේ ආකාරයට කලකට පසු පක්ෂ මූලස්ථානය ඇතුළේ පැවැත්වූ පළමු රැස්වීමේදීම තමන්ට එරෙහිව පාක්ෂිකයන්ගෙන් විරෝධයක් මතුවීම සම්බන්ධයෙන් රනිල් සිටියේ දැඩි කෝපයට පත්වය. ඒ අනුව පක්ෂ මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයට ගිය වහා අකිලගේ ඇඟට ගොඩවූ රනිල් විමසා සිටියේ මෙච්චර සෙනඟක් ගෙනාවේ කුමකටදැයි කියාය. අකිලටද ඊට දීමට අපූරු උත්තරයක් තිබිණ. ඒ අනුව අකිල කියා සිටියේ “ඉතින් සර්නෙ කිව්වෙ මට ලොකු රැස්වීමක් සිරිකොත ඇතුළෙ සංවිධාන කරන්න කියලා. එදා ආශු මාරසිංහ කිව්වනෙ දැන් රට ඇතුළේ සර්ට පිළිගැනීමක් තියෙනවා, එළියෙ ප්‍රශ්නයක් නෑ, ඒ හින්ද ලොකු මීටින් තියන්න පුළුවන් කියල. ඒ හින්දනෙ මෙහෙම මීටින් එකක් ඕගනයිස් කළේ. දැන් මට බනින්න එපා සෙනඟ ගෙනාව කියල” යැයි කියාය.
නවීන් පියදාස එක්ක හැප්පෙයි
ඉන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැති අතර, එහිදී පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විනය කමිටුව නම් කිරීමට පියවර ගත්තේය. එමෙන්ම සමඟි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන පළාත් පාලන නියෝජිතයන් පිළිබඳව කඩිනම් තීන්දු තීරණ ගැනීමටත්, කණ්ඩායම් නායකයන් වෙනස් කිරීමටත් තීරණය කෙරිණ. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ රැස්වීම අතරමගදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන නවීන් හා කේ.කේ. පියදාස අතර විශාල මතගැටුමක් සිදුවීමය. ඊට හේතු වූයේ වළපනේ ආසනය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසට රනිල් පියදාසට කළ දැනුම්දීමය. පියදාස යනු නවීන්ගේ පියා විසින් දේශපාලනයට ගෙන එනු ලැබූ චරිතයක් වූ අතර, වයසින් ගත් කලද නවීන් සිටින්නේ පියදාසගේ පුතකු ආකාරයටය. නමුත් රනිල් වළපනේ ආසනය පියදාසට භාරදීමට පියවර ගැනීමත් සමඟ සියල්ලන්ම පුදුමයට පත්කරමින් නවීන් පියදාසට බැනගෙන බැනගෙන යන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඊට මුල්ව තිබුණේ නුවරඑළියේ මනාප ප්‍රශ්නයක්ය. මන්දයත් නුවරඑළියේ දිගම්බරම් සජිත් සමඟ එක්වීමත් සමඟ මේ වන විට නවීන් නුවරඑළියේ බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. තමාගේ පියා මෙන් සිටින කේ.කේ. පියදාසට නවීන් නොසෑහෙන ලෙස එහිදී බැනවැදුණේ වළපනේ මනාප ඡන්ද තමන්ට නොලැබෙනු ඇති බවට නවීන්ගේ සිතේ මතුව තිබූ සැකය නිසා විය යුතුය. එහිදී නවීන් කෙතරම් තදින් පියදාසට බැනවැදුනේද කියනවා නම් රනිල්ද සිටියේ කිසිවක් සිතාගත නොහැකිව පුදුමයට පත්වය.
කපිල පුංචිමාන්නගේ










