පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් යන මහත්වරුන් කැදවීමට පියවර ගෙන ඇති බව සතිඅන්ත අරුණ පුවත්පත වාර්තා කොට ඇත.
එම පුවත්පත පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යෝජනා කළ ජන සභා පිහිටුවීම කරු ජයසූරිය සහ වික්ටර් අයිවන් යන මහත්වරුන්ට පවරා ඇති බවකි.
ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට පෙර ඔවුන් දෙදෙනා ජනසභා පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද පුවත්පත වාර්තා කොට ඇත.
ජනාධිපතිවරයා ජන සභා පිහිටුවීමට සැලසුම් කර ඇති පුවත අප ඉකුත් 9 වැනි දින වාර්තා කළේ මෙසේය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයට පෙර පවත්වා අවසන් වීමට නියමිතව තිබියදී පළාත් පාලන මැතවරණ පනත සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙතෙක් තනි පුද්ගලයකුට හිමිව ඇති විධායක බලතල සභාපතිවරයාද සමන්විත වන කමිටුවකට පැවරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.
එමෙන්ම පළාත් පාලන ආයතනවල සාමාජිකයන් සංඛ්‍යාව 8000 සිට 4000ක ප්‍රමාණයක් දක්වා අඩු කිරීමටත්, ජන සභා පිහිටුවීමටත් ජනාධිපතවරයා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ හරහා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක් ආණ්ඩුවේ ප්‍රධානීන් තුළ ඇති බව පෙනෙන්නට ඇති බවකි.
දැනට පවතින තත්ත්වය යටතේ ලබන මාර්තු මාසයට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසමද පෙන්වා දී ඇත.
ඉකුත් පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණද එය තවත් වසරකින් කල් දැමීමට එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයතු කළේය.
ලබා දී ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නැවත වරක් කල් දැමීමේ හැකියාවක් නොමැත.
එමෙන්ම සමගි ජන බලවේගයද මීට සති කිහිපයකට ඉහතදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී වහාම මැතිවරණය පවත්වන ලෙසට ලිපියක්ද බාර දීමට පියවර ගෙන තිබිණ.