බොහෝදෙනාගේ අවධානය උතුරු ප්‍රදේශයට යොමුවන සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. ඒ කිලිනොච්චියේ නිවෙසක සිදුවන බෝම්බ පිපිරීමක සිදුවීමකි.
මෙම නිවසේ සිටි කාන්තාවක ගුරුවරියක් වන අතර මෙම පිපිරවීම සිදුකළ නිවෙස් හිමි පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ලෙස සිට පසුව පුනරුත්ථාපනය වූ පුද්ගලයෙක් බව තොරතුරු අනාවරණය වේ. පරීක්ෂණවලදී හෙළිවන්නේ මෙම පුද්ගලයා බෝම්බයක් අත්දහා බැලීමට යෑමේදී මෙම පිපිරීම සිදුව ඇති බවය. එම ප්‍රදේශයෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වුවත් ඔහු නිෂ්පාදනය කරන මෙම පීඩන බෝම්බය සඳහා ඔහු යොදාගන්නේ සැමන් ටින් එකක් හා රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා භාවිතා කරන වෙඩිබෙහෙත් වීම ආරක්ෂක අංශවල දැඩි සැකයට තුඩුදී තිබේ.
යාපනයේදී මෙවැනිම ආකාරයේ බෝම්බයක් පිපිරී යෑමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තුවාල ලැබූ පුවතක් වාර්තා වන්නේ මීට මාස දෙකකට පමණ පෙරදීය. වැලි ජාවාරමේ නිරත පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී තුවාල ලබා තිබිණ. එහිදී පුපුරා යන බෝම්බය හා
පසුගියයදා කිලිනොච්චියේ නිවෙසක් තුළ පුපුරා යන බෝම්බය එක හා සමානම වර්ගයේ බෝම්බ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳව කරගෙන යන විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ නිවෙසක් තුළ බෝම්බය පිපිරීමෙන් මියගිය පුද්ගලයා මෙහෙයවා ඇත්තේ ප්‍රංශයේ සිටින පුද්ගලයන් කණ්ඩායමක් විසින් බවය.
පහුගිය කාලය තුළ කොටි සංවිධානය නැවැත නැඟී සිටීමක් ගැන කතාබහ වන පසුබිමක මෙවැනි පිපිරීම් සිදුවීම ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමුවී තිබේ. පසුගිය දිනවල සිදුකළ ආයුධ අත්අඩංගුවට ගැනීම්වලට අදාළ විමර්ශන කණ්ඩායම් සොයාගෙන තිබෙන්නේ එම පුද්ගලයන්ට විදේශ රටවල් හා දුරකතන මඟින් සබඳතා පවත්වා ඇති බවයි. ප්‍රංශයේ සිට පැමිණි බොහෝ දුරකතන සංවාද සිදුවී ඇත්තේ ‘ඉමෝ’ හා ‘වට්ස්ඇප්’ යන ජංගම දුරකතන ඇප් හරහා බවද එහිදී තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව දැන් පෙනී යන්නේ මේ සඳහා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සහයෝගයක් ඔවුන් සඳහා ලැබී ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ ඩයස්පෝරාව මුදල් වියදම් කොට ලංකාව තුළ යම් යම් සිදුවීම් ඇතිකරන්න සූදානමක් ඇති බවයි.










