ලබන සැප්තැම්බර් මස අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 74 වැනි සම්මේලනයට සහභාගී නොවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාා තීන්දු කර ඇති බව ජනපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි.
2015 බලයට පත්වීමෙන් පසු පැවැති සෑම එක්සත් ජාතීන්ගේ සම්මේලනයකටම සහභාගි වූ ජනාධිපතිවරයා මෙවර සහභාගි නොවීමට තීන්දු කර ඇත්තේ පසුගිය කාලවකවානුව පුරා ජාත්‍යන්තරයෙන් ඒ මහතාට ලැබුණු පිළිගැනීම සහ සැලකිල්ල අහිමි වී ගොස් ඇති නිසාවෙන් බව දැනගන්නට ඇත.
විශේෂයෙන්ම ඉකුත් ඔක්තෝබර් මාසයේදී ව්‍යවස්ථා විරෝධීව පැවැති රජය පෙරළා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය තුළ තිබූ පිළිගැනීම විශාල වශයෙන් අහිමි වී ගිය අතර ප්‍රධාන පෙළේ රටවල් ජනාධීපතිවරයා මුණගැසීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව තිබිණි.
මේ තත්ත්වය මත සිය නිල කාලයේ අවසන් මාස කිහිපය ගත කරන ජනාධිපතිවරයා මෙවර එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගී නොවීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව මෙවර ජනාධිපතිවරයා සමග අමෙරිකා යාමට බලාගෙන ඇදුම් පැළදුම් පවා සූදානම් කරගෙන සිටි ජනපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් බොහෝ විස්සෝපයට පත්ව සිටින බවද දැනගන්නට ඇත.