මහින්දානන්ද අලුත්ගමගේ කියන්නෙ කවුද?
මම මහින්දානන්ද අලුත්ගමගේ. මගේ පියා එම්.එස්. අලුත්ගමගේ. මගේ පියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. 1958 ඉඳල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමත් එක්ක ගම්සභාපතිවරයෙක් විදිහට නිතරගයෙන් අවුරුදු 24ක් හිටපු කෙනෙක්. ඊට පස්සෙ 1970 ඉඳල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. මගේ පියාගෙන් පස්සෙ 1993 දේශපාලනයට ඇවිල්ල අද වෙනකම් දේශපාලනයේ ඉන්නව.
ඔබේ මුල්ම රැකියාව මොකක්ද?
මම මුලින්ම රැකියාව කළේ ද ෆිනෑන්ස් සමාගමේ. මම කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරල ඊට පස්සෙ ද ෆිනෑන්ස් සමාගමේ වැඩ කළා. ඒ රාජකාරි කරන අතරතුරේ තමයි මුලින්ම මම පළාත් සභා මැතිවරණයට තරග කරන්නෙ.
ඇයි ද ෆිනෑන්ස් සමාගමෙන් අයින් වෙලා දේශපාලනයට එන්න හිතුවෙ?
මම 1987 ඉඳල 1993 වෙනකම් ද ෆිනෑන්ස් සමාගමේ වැඩ කළේ. මම අයින් වෙනකොට කළමනාකරුවෙක් හැටියට කටයුතු කළේ. 1993 පළාත් සභා මැතිවරණය වෙනකොට නාවලපිටිය ආසනයට සහ මහනුවර දිස්ත්‍රික්කයට පළාත් සභා මැතිවරණයට තරග කරන්න අපේ පක්ෂයෙන් කවුරුවත් හිටියෙ නෑ. ඒ නිසා සිරිමාවො මැතිනිය මගෙ අම්මට කතා කරල කිව්ව මහනුවර දිස්ත්‍රික්කයට අලුත්ගමගේ පවුලෙන් කවුරුහරි තරග කරන්න ඕනෙ කියල. මම ද ෆිනෑන්ස් සමාගමෙන් අයින් වෙලා මගේම කියල ව්‍යාපාර ආරම්භ කරන්න පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තමයි මේ යෝජනාව ආවෙ. ඉතින් මගේ මෑණියන් මගෙන් ඉල්ලීමක් කළා අපි සිරිමාවෝ මැතිනිය ඉල්ලීමක් කරනකොට බෑ කියන්න බෑ කියල. ඒ නිසා ඔයා මේක බාරගන්න කියල. ඒ වෙලාවෙ මට හිතන්න වුණා ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යනවද, අප්පච්චි වෙනුවෙන් මේ තීරණය ගන්නවද කියල.
ඔබ පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සෙල්ලාම එන්නෙ?
1994 මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරල පරදිනව. මට ඡන්ද 112ක් මදි වෙනව පාර්ලිමේන්තු මැතිවරණයෙදි. ඊට පස්සෙ මම 2000 වෙනකන් පළාත් සභාවෙ සෞඛ්‍ය අමාත්‍යවරය විදිහට වැඩ කරනව. 2000 තමයි මම පාර්ලිමේන්තුවට මුලින්ම එන්නෙ.
කොළඹ රෝයල් ඇවිල්ල ඇයි නාවලපිටියෙන් ඡන්දෙ ඉල්ලන්න හිතුවෙ?
මගෙ ගම එහෙ. මගෙ අප්පච්චි එහෙ. මගෙ ඥාතියො ඔක්කොම එහෙ. ඒ නිසා උපන් දිස්ත්‍රික්කය, ඥාතියො, මිත්‍රයො, හිතවතුන් ඔක්කොම ඉන්න දිස්ත්‍රික්කය නිසා තමයි මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළේ. මම කොළඹ රෝයල් එකට ආවෙ මගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට පත්වුණාට පස්සෙ.
2000 පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කාලෙ තොරතුරු මොනාද?
2000 පාර්ලිමේන්තුවට එනකොට චන්ද්‍රිකා මැතිනියගෙ පාලන කාලෙ තිබුණෙ. එතුමිය ජනාධිපතිවරිය. මම පත්වෙනවත් එක්කම මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයත් මට හම්බුණා. ඒක තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ල මුලින්ම හම්බුවෙච්ච තනතුර.
2000 – 2005 බොහෝම දේශපාලන පෙරළි සිදුවුණු කාලයක්. එස්.බී. දිසානායක මහත්තය පක්ෂය කඩාගෙන යනව. රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙනව. ජේ.වී.පී.එකත් එක්ක ආණ්ඩු හදනව. මේ කාලෙ ඔබතුමාගෙ හැසිරීම මොන වගේද?
2000 – 2005 කාලෙ මම ක්‍රියාකාරී දේශපාලනයෙ හිටියෙ නෑ. මොකද අපි ඒ වෙනකොට පාර්ලිමේන්තුවට නවකයො. ඒ කාලෙ වෙනකොට මංගල සමරවීර, ලක්ෂ්මන් කදිරගාමර්, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තෙ, එස්.බී. දිසානායක වගේ ජ්‍යෙෂ්ඨයො ගොඩක් හිටිය. දේශපාලන පොරපිටියෙ තීන්දු තීරණ සියල්ල ගනු ලැබුවෙ ඒ නායකයො. අපි ගොඩක් වෙලාවට දෙන දේ කාගෙන, වෙන දේ බලාගෙන තමයි ඒ කාලෙ හිටියෙ.
එස්.බී. ඇමැතිතුමා යනකොට ඔබතුමාට කතා කළේ නැද්ද එකම දිස්ත්‍රික්කයෙ හින්ද?
කවුරු කතා කළත් නැතත් මට ප්‍රතිපත්තියක් තියෙනව මම නායකයත් එක්ක ඉන්නව, පක්ෂයත් එක්ක ඉන්නව කියල. මගේ අප්පච්චි මට කියල දීල තියෙන දේශපාලනය කරද්දි පක්ෂයත් එක්ක ඉන්න, නායකයත් එක්ක ඉන්න කියල. ඒ නිසා මට මොන වරප්‍රසාද ලැබුණත් මම මගේ ප්‍රතිපත්තියත් එක්ක ඉන්නව කියන ස්ථාවරයෙ තමයි මම ඉන්නෙ.
චන්ද්‍රිකා මහත්මිය ජේ.වී.පී. එකත් එක්ක හැදුව ආණ්ඩුව ගැන අද වන විට ඔබට මොකද හිතෙන්නෙ?
මං හිතන්නෙ ඒක හොඳ දෙයක්. මම අදත් පාර්ලිමේන්තුවෙ ජේ.වී.පී. නියෝජනය ගැන කැමැත්තක් දක්වනව. මම ඉන්නෙ ජේ.වී.පී. එක පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ කියන තැන. හැබැයි ජේ.වී.පී. එකට තේරෙන්නෙ නෑ තමන්ගෙ තත්ත්වය ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තුවෙ ස්ථාවරත්වය තියාගෙන ඉන්න. ජේ.වී.පී. එක අපිත් එක්ක ආණ්ඩුව කරපු කාලෙ අපි දැක්ක රටට හොඳක් වුණා. ඒ වැඩපිළිවෙළ හොඳයි ඇත්තටම.
ඊට පස්සෙ එන 2005 ජනාධිපතිවරණයෙ කදිරගාමර් මහත්තය අගමැති කරමු කියන ස්ථාවරයෙ හිටියෙ. මංගල සමරවීර, ශ්‍රීපති සූරියආරච්චි වගේ ටීම් එකක් තමයි මහින්ද රාජපක්ෂ අගමැති කරමු කියන තැන හිටියෙ. හැබැයි ඔබ හිටියෙ චන්ද්‍රිකා මැතිනිය නියෝජනය කරපු අනෙක් කණ්ඩායමේ නේද?
මම හැමදාම නායකත්වයත් එක්ක හිටියෙ. චන්ද්‍රිකා මැතිනියගෙ අවසාන කාලෙ 2003, 2004 වෙනකොට අපිත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධතාවක් ඇතිකර ගත්ත. ඒ වෙලාවෙ අපි එතුමියත් එක්ක නොහිටියා නම් එතුමිය මීට වැඩිය ලොකු ඩැමේජ් එකක් මහින්ද රාජපක්ෂ මහත්තයට කරනව. අපි ඒ වෙලාවෙදි කළේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මැතිවරණ ව්‍යාපාරයට චන්ද්‍රිකා මැතිනිය හරහා අවම ඩැමේජ් එකක් වෙන විදිහට කටයුතු කරපු එක. මොකද ඒ වෙනකොට චන්ද්‍රිකා මැතිනිය දැඩි වෛරයකින් හිටියෙ. ඒ මැතිවරණයෙදි මට තිබුණෙ චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද මහත්තයත් එන රැස්වීම් කෝඩිනේට් කරන එක. ඒක බෝම්බයක් ඔළුවෙ තියාගෙන යනව වගේ වැඩක්. අපිට මහින්ද මහත්තයත් එක්ක එකඟතාවයක් තිබුණ. අපි සියලු දෙනාම ඒ වෙලාවෙ එතුමිය දාල ගියා නම් බොහෝ වෙලාවට ඒ වෙලාවෙ එතුමිය එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න තිබුණ. මහින්ද මහත්තය දැනගෙන හිටිය එතුමගෙ ජයග්‍රහණයට අපි වළ කපන්නෙ නැතුව අපේ දිස්ත්‍රික්කවල අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි වැඩ කළ බව. රටට සේවයක් කළ නායිකාවක් හැටියට අවසාන කාලෙත්, කවුරුත් නැති වෙලාවෙත් අපි එතුමියත් එක්ක හිටිය.

මං අහල තියෙනව සමහර වෙලාවෙ මැතිවරණ වේදිකාවෙදි පවා චන්ද්‍රිකා මහත්මිය හා මහින්ද මහත්තය අතර ගැටුම් ඇතිවුණා කියල?
මට මතකයි රත්නපුර වේදිකාවට මහින්ද රාජපක්ෂ මහත්තය ආපු වෙලාවෙ වාසුදේව නානායක්කර මහත්තය වෙනම වේදිකාවට දැම්ම කියල ලොකු යුද්ධයක් ඇතිවුණා. පස්සෙ අපි තීන්දු කළා දෙන්න වෙලාවල් දෙකකට ගේන්න. මුලින් චන්ද්‍රිකා මැතිනිය ඇවිල්ල කතා කරල යනව. පස්සෙ මහින්ද මහත්තය එනව. මහින්ද රාජපක්ෂ මහත්තයට ඒ වෙලාවෙ පක්ෂයෙන් උදව් කළේ නෑ කියල ලොකු හිත් වේදනාවක් තිබුණ. හැබැයි අපිට පුළුවන් වුණා ඇතුළත ගින්දර තිබුණට ඒක එළියට යන්නෙ නැතුව ඒක සමථයකට පත්කරගන්න.
මොකද හිතෙන්නෙ එදා මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ජයග්‍රහණය ගැන?
මං හිතන්නෙ ඒක තමයි මේ රටේ හැරවුම් ලක්ෂ්‍යය. එදා මහින්ද රාජපක්ෂ මහත්තය ජයග්‍රහණය නොකළ නම් මේ රටට මොකක්ද වෙන්නෙ කියල බලාගන්න තිබුණ. මං හිතන්නෙ ඒක ඉතාම ඓතිහාසික තීන්දුවක්. ඒක රටක් වශයෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්.
ඔබ චන්ද්‍රිකා පිලේ හිටිය කියල මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපති වුණාට පස්සෙ කැපිල්ලක් ආවෙ නැද්ද?
මහින්ද මහත්තය ගාව හිටිපු අයට වඩා හොඳ ඇමැතිකමක් මට දුන්නෙ. මට දුන්නෙ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැතිකම. මොකද අපි චන්ද්‍රිකා මැතිනිය ළඟ හිටියත් අපි කරපු කාර්යභාරය එතුම දැනගෙන හිටිය. ඒ වගේම එතුම අපේ දක්ෂතාවය හඳුනගෙන හිටිය. මං හිතන්නෙ චන්ද්‍රිකා මැතිනියට වඩා අපිට සැලකුවෙ මහින්ද මහත්තය.
ඔබතුමා හිටිය කාලෙ නේද නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරය පටන්ගන්නෙ?
චන්ද්‍රිකා මැතිනියගෙ ආණ්ඩුව කාලෙ නොරොච්චෝලෙ බලාගාරය සඳහා ආයෝජකයො ආපු වෙලාව අපි දැක්ක සරත් අමුණුගම ඇමැතිතුමා ඒ ආයෝජකයන්ට හොඳටම බැනල යන්න කියල තිබුණ. ඒ වෙලාවෙ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිතුමා මාවයි, විදුලිබල ඇමැති ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමාවයි හම්බවෙලා කිව්ව මේක හොඳ ආයෝජනයක් ඔබතුමාල මැදිහත් වෙලා මේක නවත්තගන්න කිව්ව. ඒ වෙලාවෙම මම ජනාධිපතිතුමියව හමුවෙලා කිව්ව ආයෝජකයො හමුවෙන්න ඔබතුමියට පුළුවන් නම් වෙලාවෙක් දෙන්න කියල. ඊට පස්සෙ ඒගොල්ලො යන්න කලින් ඇවිල්ල චන්ද්‍රිකා මැතිනිය හම්බුවෙලා ඒගොල්ලන්ගෙ ප්‍රොපෝසල් එක දුන්න. එතුමිය කිව්ව මේක හොඳ වැඩක්. මං හිතන්නෙ ඒ ගැටගහපු ගැටගැහිල්ල තමයි අපිට පළමු වතාවට නොරොච්චෝලෙට විදුලි බලාගාරයක් ලැබුණෙ. හැබැයි අපි මේක හදන්න තීන්දු කළාම මේ රටේම ඒකට විරුද්ධව විරෝධතාවක් මතුවුණා. හලාවත මුහුදු තීරයම විරුද්ධ වුණා. ඒ වෙලාවෙ චන්ද්‍රිකා මැතිනිය මට කතා කරල ඇහුව මොකද කරන්නෙ කියල. ඊට පස්සෙ මේකට විරුද්ධ වෙච්ච ගොවියො, සිවිල් සංවිධාන ඔක්කොම අරගෙන මම චීනෙ ගියා. එයාපෝට් එකෙන් යනකොට ඒ ඔක්කොම කිව්වෙ මොන තාක්ෂණය තිබ්බත් නොරොච්චෝලෙ හදන්න අපි ඉඩ දෙන්නෙ නෑ කියල. හැබැයි අපි චීනෙට ගිහිල්ල ඒ සියලු දේවල් පෙන්නල අවසානෙ චීනෙන් එනකොට ඒ සියලු දෙනා පොරොන්දු වුණා මේ බලාගාරෙ හදන්න දෙනව කියල. මම අද නිහතමානීව සතුටු වෙනව ඒ බලාගාරෙ හදපු නිසා. මේ හදපු බලාගාරෙට අපි කරපු ආයෝජනය වගේ තුන්ගුණයක් අපි හම්බුකරල තියෙනව. මට මතකයි මේකට මහින්ද මහත්තය මුල්ගල තියන්න එනකොට මුළු වෙරළ තීරයෙම කළුකොඩි දාල. මට අද වගේ මතකයි මමයි ද.මු. දසනායකයි කිලෝමීටර් හතරක් පයින් ගිහින් කළු කොඩි කැපුව. ආපහු බලනකොට පාන්දර හතරට ආපහු කළු කොඩි දාල. පස්සෙ කතා කරල ජනාධිපතිතුමාව උඩින් ගෙනල්ල තමයි මුල්ගල තිබ්බෙ. 2005 මැතිවරණය වෙලාවෙ මම ඒ වෙලාවෙ එතුමට කිව්ව මේ බලාගාරෙ හදන්න අපි තීන්දු කළොත් මේ පළාතෙම කතෝලික ඡන්ද අපිට හම්බුවෙන්නෙ නෑ කියල. ඒ වෙලාවෙ මට එතුම කිව්වෙ ජාතික ප්‍රශ්නවලට දේශපාලනේ ගාවගන්න එපා කියල. මම පැරදුනත් කවදහරි මේක රටට තියෙනව කිව්ව. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ මේක කරන්න කිව්ව. එතුමගෙ ඒ තීන්දුව නිසා කතෝලික ඡන්ද ලක්ෂයක් විතර අපිට නැති වුණා. ඒ අතින් එතුම හැම වෙලාවෙම රට පැත්ත හිතල හොඳ තීන්දු ගත්ත නායකයෙක්.
හැබැයි ජනතාව අතර මතයක් තියෙනව නේද පරණ එකක් ගෙනල්ල හයි කළා කියල?
ඒක සම්පූර්ණයෙන් මිත්‍යාවක්. දැන් අවුරුදු 13ක් වෙනව තාමත් බලාගාරෙ දුවනවනෙ. අපි කරපු ආයෝජනය වගේ තුන්ගුණයක් ඒකෙන් අපි හොයල තියෙන්නෙ. දැන් බලාගාරෙ ගලවල යකඩවලට දුන්නත් පාඩුවක් නෑ.
මේකෙන් ඔබතුමාට කොච්චර විතර කොමිස් මුදලක් හම්බුවෙන්න ඇද්ද?
රාජ්‍යයන් අතර ගනුදෙනු කිරීමේදී අපිට කොමිස් මුදල් හම්බුවෙන්නෙ නෑනෙ. කොමිස් මුදල් හම්බු වෙනව නම් හොඳයි ඉතින්. මම ඒ අමාත්‍යාංශයෙ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා. මට මතකයි පහුගිය ආණ්ඩුව ඊමේල් එකක් පෙන්නල මහින්දානන්ද යූ.එස්. මිලියන 25ක් හම්බුවුණයි කියල කිව්ව. මට ඒ වගේ ගානක් හම්බුවුණා නම් මමත් ලොකු මිනිහෙක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න සී.අයි.ඩී.ය මාව හය පාරක් අරගෙන ගියා. හැබැයි නොරොච්චෝලෙන් කොමිස් ගත්ත කියල මට එක නඩුවක්වත් දාගන්න බැරි වුණා.
කාටද දන්නෑ කොමිස් ගියේ?
කොමිස් මුදලක් ලැබුණද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. මේ රටට එන ව්‍යාපෘතිවලට කොමිස් මුදලක් තියෙනවයි කියල කියනව. ඒක සමහර වෙලාවට රාජ්‍ය නිලධාරීන්ට යනව, සමහර වෙලාවට දේශපාලනඥයන්ට යනව. සමහර ඒවගෙ කොමිස් දෙන්නෙ නෑ. මම එවකට ආණ්ඩුවෙ බොහොම පොඩි මිනිහෙක්.
මහින්ද මහත්තය ජයග්‍රහණය කරන 2010 ජනාධිපතිවරණය කොහොමද ඔබතුමා දකින්නෙ?
ඒ ජයග්‍රහණය යුද ජයග්‍රහණයකින් පසුව ලබන සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ වෙනකොට රටේ සියලු දෙනාම එතුමව වීරයෙක් විදිහට හඳුනගෙන තිබුණ. රනිල් තරග කරන්නත් ඒ වෙලාවෙ බය වුණා. ඒ වෙලාවෙදි රටම එතුමත් එක්ක හිටගත්ත.

යුද්ධෙට සමාන අයිතිවාසිකමක් තිබ්බ සරත් ෆොන්සේකා තමයි ඒ වෙලාවෙ එතුමගෙ ප්‍රතිවාදියා විදිහට එන්නෙ. ඒ ගැන ඔබ කොහොමද දකින්නෙ?
යුද ජයග්‍රහණයත් එක්ක අපි දැක්ක ජාත්‍යන්තර බලවේග රාජපක්ෂවරුන්ට එරෙහිව දිගටම හිටියා. මේක පිටිපස්සෙ බටහිර බලවේග හිටිය. මහින්ද මහත්තයත් එක්ක ඩයස්පෝරාවට කැමැති දේ කරගන්න බෑ කියල ඒගොල්ලො දැනගත්ත. ඒගොල්ලන් හිතුව යුද්ධයට සම්බන්ධ තව කෙනෙක් දාගත්තම මේක නවත්තගන්න පුළුවන් කියල. හැබැයි රටේ මිනිස්සු ඊට වැඩිය බුද්ධිමත් වුණා.
2012 ඔබට ලැබෙන ක්‍රීඩා ඇමැතිකමෙන් ඔබ මොනාද ක්‍රීඩාව සම්බන්ධයෙන් කළේ?
මට කැබිනට් ඇමැතිවරයෙක් හැටියට ලැබිච්ච පළමුවෙනි ඇමැති ධුරය තමයි ඒක. මට ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු දැනුමක් තිබුණෙ නෑ. හැබැයි මම හිතනව ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන්න පුළුවන් සියලු යුතුකම් මම කළා කියල. අපිට ක්‍රීඩා ප්‍රතිපත්තියක් තිබ්බෙ නෑ. ජාතික සැලැස්මක් අපිට තිබ්බෙ නෑ. අපිට පුළුවන් වුණා මේ සියලු කටයුතු කරන්න. ක්‍රීඩාවෙ යටිතල පහසුකම් ගමට අරන් ගියා. මගේ පෞද්ගලික සංකල්පයක් අනුව ලංකාවෙ ග්‍රාමසේවා වසම් 14,193ට, ක්‍රීඩාංගණ 14,193ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 363ට ක්‍රීඩාංගණ 363ක්, දිස්ත්‍රික්ක 25ට ක්‍රීඩාංගණ 25ක්, පළාත් 9ට ක්‍රීඩා සංකීර්ණ 9ක් හදන්න හොඳ යෝජනාවක් හදල ජනාධිපතිතුමාට දුන්න. අපිට බිලියන 5ක් සල්ලි දුන්න. අද වෙනකොට අපි පළාත් නවයට ක්‍රීඩාංගණ නවය හදල ඉවරයි. දිස්ත්‍රික්ක 25ට ක්‍රීඩාංගණ 25 හදල ඉවරයි. ක්‍රීඩාවෙ තිබ්බ මාෆියා එක අපි නැතිකළා. ක්‍රිකට් ක්‍රීඩාවෙ මාෆියා එක තිලංග සුමතිපාල මහත්තයට තිබුණෙ. තිලංග අපේ පිලේ හිටියට මම ඇමැතිවරය හැටියට තිලංගට නාමයෝජනා දුන්නෙ නෑ. ඒ වගේම මනිලාල් ප්‍රනාන්දු පාපන්දු එකේ හිටපු ලොක්ක. හැබැයි අපි මනිලාල්ව පාපන්දුවලින් ගැලෙව්ව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ පුද්ගලික ලේකම් කෙනෙක් හිටිය පාලිත ප්‍රනාන්දු කියල මලල ක්‍රීඩා එකේ. මං එතුමට දුන්නෙ නෑ නාමයෝජනා. මොකද එයා මලල ක්‍රීඩාව විනාශ කරල තිබුණ. ක්‍රීඩාව අරක් ගත්ත මාෆියාකාරයො ටික නැති කරල සුදුස්සන්ට ක්‍රීඩාවට එන්න පසුබිම අපි හැදුව. තරග පාවාදීමේ පනත හැදුව, ක්‍රීඩා ප්‍රතිපත්තිය, ජාතික සැලැස්ම මේ ඔක්කොම හැදුවෙ මගේ කාලෙ. මගෙ කාලෙ තමයි පළමුවැනි ටී-20 එක දින්නෙ. මගෙ කාලෙ තමයි ඒෂියා කප් එක දින්නෙ. මම හිතනව මගේ වගකීම ඒ අවුරුදු තුන ඇතුළෙ ක්‍රීඩාව වෙනුවෙන් මම කළා කියලා.
දැන් කතාවක් යනව අලුත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යනව කියල. ඒ මේ මොහොතෙ අවශ්‍යද රටට?
මං දන්නෑ බන්දුල ගුණවර්ධන මහත්තය මොකක් හරි මොළේ අමාරුවකට කිව්වද කියල මේ කතාව. මේ වෙලාවෙ ක්‍රීඩාංගණ රටට අවශ්‍ය නෑ. මං හිතන්නෑ රජය සත පහක්වත් දෙයි කියල එවැනි ක්‍රීඩාංගණයක් හදන්න.
2014 ඔබතුමාගෙ බිරිඳ ඔබට වන්දි නඩුවක් දානව. ඇයි ඔබ හිටපු බිරිඳගෙන් වෙන් වෙන්න තීරණය කළේ?
ඇය නෙවෙයි දික්කසාද නඩුව දාන්නෙ. මමයි දාන්නෙ නඩුව. අපි දෙන්න ගැළපුණේ නෑ. ඒ හින්ද මගෙ දරුවොත් එක්ක කතා කරල ඒ තීරණය ගත්තෙ. මම නඩුව දැම්මට පස්සෙ මගේ බිරිඳට රවි කරුණානායක මහත්තය කතා කරල ගෙදරට එන්න කියල, මහින්දානන්දට ගහන්න ඕනෙ කියල, මඩ ගහල නඩුව වණ කරන්න ගියා. අවසානෙ අධිකරණයට ඇවිල්ල ඇය ඒ සියල්ල තේරුම් අරගෙන නඩුව සමථයකට පත්කරල දික්කසාදය දුන්න.
ඔබට ලොකු වන්දියක් ගෙවන්න වුණා නේද මේකට?
කිසිම වන්දියක් ගෙවල නෑ. මිලියන 500ක් වන්දි ගෙව්වයි කියල කියනව. ඇය හිටපු නිවස මම ඇයට දීල තියෙනව. ඒක තමයි මම ඇයට දීල තියෙන්නෙ.
ඒක මිලියන 500ක් වටිනව?
නෑ. මිලියන 500ක් වටින ගෙයක් තියෙනව නම් මොනව කරන්න බැරිද. ඇයට ජීවත් වෙන්න මම කරෙගෙන ගිය ව්‍යාපාරයක් දීල තියෙනව. ගෙයක් දීල තියෙනව. එච්චරයි.
ඇයි රවි කරුණානායක මහතා ඔබතුමාගෙ ඒ වගේ පෞද්ගලික ප්‍රශ්නයකට මැදිහත් වෙන්නෙ?
මං හිතන්නෙ නෑ ලංකා දේශපාලන ඉතිහාසයෙ මං තරම් දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච කෙනෙක් ඉන්නව කියල. මට තුන්පාරක් වෙඩි තියල තියෙනව. 99 බෝබ්ම ගැහුව. 2000 වෙඩි තිබ්බ. 2001 මට වෙඩි තිබ්බ. කිසිම චෝදනාවක් නැතුව නඩු 7ක් දාල තියෙනව.
ඔබ දෙවැනියට විවාහය සඳහා දි.මු. ජයරත්න මහත්තයගෙ දියණිය තෝරගන්නෙ ඇයට රාජ්‍ය යෝගයක් තියෙනව කියන නිසාද?
දැන් යාළුවෙලා නම් අවුරුදු 8ක් වෙනව. මට තාම නම් පේන්නෙ නෑ එහෙම යෝගයක් තියෙනව කියල. ඒක අහම්බෙන් වෙන සිද්ධියක්. දවසක් ඩිලාන් කෝල් කරල කියනව අපි නුවරින් දානව කෙල්ලක් උඹව පරද්දන්න කියල. මං කිව්ව මට ප්‍රශ්නයක් නෑ කියල. ඒ වෙලාවෙ එයාට දුරකතනය දුන්නහම ඒ කතා කළේ සේනානි. ඒ වෙලාවෙ අයියෙ ඩිලාන් අයිය විහිළු කරන්නෙ කියල දුරකතනය තිබ්බ. අවසානෙදි අපි දෙන්නම දික්කසාදෙට එකම නීතිඥයෙක් හම්බුණේ. එහෙම තමයි සේනානි මට හම්බුණේ. එයා හම්බුවෙනකොට දේශපාලනයෙ මට එන්න ඕනෙ තැනට මම ඇවිල්ල තිබුණෙ. අගමැති සිහින, ජනාධිපති සිහින මට නෑ. මගේ දිස්ත්‍රික්කෙ අසරණ දුප්පත් මිනිසුන්ට උදව් කරල දේශපාලනයෙන් සමුගන්න තියෙනව නම් මට ඒ ඇති.
2015 ජනාධිපතිවරණයට මහින්ද මහත්තයට විරුද්ධව මෛත්‍රිපාල සිරිසේන මහතාගෙ ඉදිරිපත්වීම ඔබ දකින්නෙ කොහොමද?
2015 මහින්ද මහත්තය පරාජය කරන්න බෑ කියන එක ජාත්‍යන්තරය, යූ.ඇන්.පී.ය හඳුනගත්ත. ඔවුන් පළමුවෙන්ම කළේ පක්ෂය දෙකට කඩන එක, දෙවනුව කළේ එතුමගෙ ප්‍රතිරූපය විනාශ කරන එක. මේක පිටිපස්සෙ ඇමෙරිකාව හිටිය, ජාත්‍යන්තර බලවේග හිටිය. විශාල මුදල් මේවට ආව. එදා මෛත්‍රිපාල මහත්තයත් එක්ක අපෙන් ගිය ඔක්කොමල සිංගප්පූරුවට ගිහිල්ල බැංකුවට සල්ලි දාගෙන තමයි එදා මෛත්‍රිපාල මහත්තය ගාව හිටගත්තෙ. ඔවුන්ට දැනුණ මේ කලාපයේ කන්ට්‍රෝල් නැති නායකයෙක් හැදෙනව කියල. ඒ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තය ජයග්‍රහණය කරන්නෙ.
මෛත්‍රිපාල සිරිසේන මහත්තය ජනාධිපති වුණාට පස්සෙ ඔබතුමාගෙ ළඟ ඇසුරක් තිබුණ නේද එතුමත් එක්ක?
ජනාධිපති වුණාට පස්සෙ මගෙ කිසි ඇසුරක් තිබ්බෙ නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපති අපේක්ෂකය වුණාට පස්සෙ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කහු කරගන්න ලොකු උත්සාහයක යෙදුණ. මම දැනගත්ත මේ බෙදීම අපිට අවාසි කියල. ඉතින් අපේ පාර්ශ්ව දෙක එක්කහු කිරීම සඳහා මම ලොකු කාර්යභාරයක් කළා. හැබැයි මම කැරම් බෝඞ් ගෙනාව කියල විශේෂ අධිකරණයෙ නඩුවක් දැම්මෙත් එතුම තමයි.
හැබැයි මෛත්‍රිපාල සිරිසේන මහතා ඔබතුමාව කෝප් කමිටුවෙ සාමාජිකයෙක් කරනවනෙ?
මාව කෝප් කමිටුවෙ සාමාජිකයෙක් කරන්නෙ විපක්ෂය. කෝප් කමිටුවෙ සාමාජිකයො නම් කරන්නෙ පක්ෂය. අපි ගියෙ අපේ කෝටා එකෙන්.
මං අහල තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වෙද්දි එතුමගෙ කෝටා එකෙන් ඔබතුමාව දැම්ම කියල?
ඒ වෙනකොට බැඳුම්කර වංචාව එළියට ඇවිල්ල නිසා රනිල් වික්‍රමසිංහ තනිකර විරුද්ධ වුණා මම කෝප් එකට එනවට. අපේ පක්ෂයෙන් මාව නම් කළේ කෝප් එකට. මාව දාන්න බෑ කිව්ව රනිල්. නමුත් අපි සටන් කරල අපේ කෝටා එක අපි ගත්ත.
ඔබතුමාල ඒ කාලෙ ‘ටොප් ටෙන්’ කියල හොරු දහයක් ගැන වාර්තාවක් දැම්ම අල්ලස් හෝ දූෂණ කොමිෂන් එකට. ඒකට මොකද වුණේ?
මම 2005 ඉඳල හොරකමට විරුද්ධව හිටපු කෙනක්. 2005 යූ.ඇන්.පී. එකට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් එකට යන්න මට මුලින්ම උදව් කළේ මංගල සමරවීර ඇමැතිතුමා. හොරකම නවත්තන්න කියල ජනවරමක් ගත්ත එක්සත් ජාතික පක්ෂය මාසයක් යන්න කලින් මහ බැංකුව කැඩුව. මේකට විරුද්ධව හඬක් නඟන්න ඕනෙ කියල තමයි අපි ඒ ආණ්ඩුවෙ හොරකම් හොයල ෆයිල් හදල ‘ටොප් ටෙන් යහපාලන කම්බ හොරු’ කියල ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තෙ. ඒ අනුව අපි එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරු 19 දෙනකුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් එකටත්, සී.අයි.ඩී. එකටත් පැමිණිලි කළා.
‘ටොප් ටෙන්’ හොරු අල්ලන්න දැම්මෙ ඔබතුමාට තියෙන චෝදනා යටපත් කරගන්න කියල මතයක් තියෙනව?
ඔවුන් 2015 දිනල අපිට නඩු දාද්දි ඒ නඩු වැටුණ අය හැංගුණා. හැබැයි නඩුපිට නඩු දාද්දි ආණ්ඩුවට විරුද්ධව සංවිධානය කරපු හයිඞ්පාක් රැලියෙ කමිටුවෙ සභාපති මම. මහනුවර පාගමන තනියෙන් ඇද්දෙ මගේ සල්ලිවලින්. නඩු දාන්ඩ දාන්ඩ ගහන්න ගහන්න කෙළින් හිටිය නම් ඒ හිටියෙ මහින්දානන්ද. මම හැමදාම වැරැදි දේට කෙළින් හිටිය. ඒ හින්ද පෞද්ගලික බද්ද වෛරයක් රනිල්ට මාත් එක්ක තිබුණ. මට දැම්ම හැම නඩුවක්ම රනිල් පෞද්ගලිකව හොයලා බැලුව.
පහුගිය ආණ්ඩුව ආවෙ හොරු අල්ලන්න කියල. හැබැයි එහෙම නොවුණ එක පහුගිය ආණ්ඩුව පරදින්න බලපෑව. ඔබතුමාලත් මේව මේ අවුරුදු පහේ කළේ නැත්නම් ඔබතුමාලටත් ඒකම වෙයි නේද?
හොරුන්ට දඬුවම් දෙන්න ඕනෙ කියන තැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවෙ සියයට අනූවක් ඉන්නව. අපි දාපු නඩුවල කිසිම වගවිභාගයක් කරල නෑ පහුගිය අවුරුදු පහේ. ඒ නිසා මේ සියලු විමර්ශන ආයෙත් පටන් ගන්න වෙනව. ඒකට ටික කාලයක් යයි. රනිල් වික්‍රමසිංහගෙ ඉඳල සියලු දෙනාට ඉදිරියෙදි නීතිය ක්‍රියාත්මක වෙයි.
ඔබතුමාල කොහොමද යහපාලන ආණ්ඩුව පෙරළන්න කටයුතු කළේ?
මහින්ද මහත්තයගෙ හිටපු බය නැති ටීම් එක අපිට ලොකු හයියක් වුණා ඒ වෙලාවෙ. අපිත් එක්ක හිටිය මරාගෙන මැරෙන 15ක් විතර. අපි ලංකාව වටේ ගිහිල්ල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කළා. ඊට පස්සෙ අපි හරි කෙනා තෝරගත්ත.
මහින්ද මහත්තයල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩල වෙන පක්ෂයක් හදපු එක ගැන ඔබතුමාගෙ මතය මොකක්ද?
මම කිසිසේත් පොහොට්ටුවත් එක්ක එක්කහු වෙන්නෙ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූ.ඇන්.පී. එකත් එක්ක එකතු වුණේ නැත්නම්. එක්සත් ජාතික පක්ෂයත් එක්ක මට තියෙනව ජම්මාන්තර වෛරයක්. එක්සත් ජාතික පක්ෂය මේ රටට කරපු විනාශයත් එක්ක ඔවුන් එක්ක එකතු වෙන්න මම මේ ආත්මෙ නෙමෙයි මතු ආත්මෙකවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මෛත්‍රිපාල ජනාධිපතිතුමා හතර පාරක් කතා කරල කිව්ව ඉල්ලන ඕනෙම ඇමැතිකමක් දෙන්නම් කියල. පක්ෂයෙ පාට සහ ලකුණ විතරයි අපි ළඟ නැත්තෙ. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්ති සහ පාක්ෂිකය ඉන්නෙ අපිත් එක්ක. ඒ නිසා මම බය නැතුව එතන හිටගන්නව.
හැබැයි පොහොට්ටු පක්ෂය නාවලපිටිය නගර සභාව පරදිනව?
නාවලපිටිය ආසනයම අපි ජනාධිපතිවරණයෙ පරදිනව. පරදින්න හේතුව මගේ ආසනයෙ 42%ක් තියෙන්නෙ සුළු ජාතික ඡන්ද. අපිට දෙමළ සහ මුස්ලිම් ඡන්ද ලැබුණෙ නෑ.
හැබැයි ඔබතුමා පහුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය මහත්තයට ඡන්ද අරන් දෙන්න මුස්ලිම් ජනතාවට පොරොන්දු වගයක් දුන්න. ඒකට මොකද වුණේ?
දෙමළ, මුස්ලිම් සියලු ඡන්ද ගන්න අපි විශාල කැපකිරීමක් කළා. හැබැයි අන්තවාදී මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ අන්තවාදය වපුරල ඒ මිනිස්සුන්ගෙ ඔළු හේදුව.
ඇයි මේ පාර ඔබතුමාට ඇමැතිකමක් හම්බුණේ නැත්තෙ?
මේ පාර කැබිනට් මණ්ඩලය 15කට සීමා කරපු නිසා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට හයිය දෙන්න අපිට කරන්න පුළුවන් දේ අපි කළා.
ඒ කියන්නෙ ඔබ ගෝඨාභය පිලේ?
අපිට පිල් නැහැ. වර්තමාන ජනාධිපතිවරය කියන්නෙ අපිට සම්පතක්. මේ වගේ නායකයෙක් අපිට කවදාවත් හම්බුවෙන්නෙ නෑ. එවැනි නායකයෙක් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි.
ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගෙන් පසුව මේ රටේ අනාගත නායකය කවුද?
දැනට පේන්නෙ නෑ එහෙම නායකයෙක්.
මහ මැතිවරණයෙන් පසුව දූෂිත අය ගෝඨාභය රාජපක්ෂ මහත්තට සහයෝගය දෙන්න ආවොත් ඔබ මොකද කරන්නෙ?
වගකීමකින් කියනව දූෂණ චෝදනා තියෙන කිසිවෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තය එතුමගෙ ආණ්ඩුවට ගන්නෙ නෑ. එහෙම කෙනෙක් ඒ ආණ්ඩුවට ගත්තොත් ඒ ආණ්ඩුවෙ අපිත් නෑ.
තුනෙන් දෙකේ බලය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය අවශ්‍ය වුණොත් මොකද කරන්නෙ?
අපිට තුනෙන් දෙකේ බලය ගන්න එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය නෑ. ජනතාව ඒක අපිට ලබාදෙනව. මං වගකීමෙන් කියනව සජිත් ප්‍රේමදාස මහත්තය ගන්නෙ නෑ ආසන 40ක්වත්. රනිල් වික්‍රමසිංහ මහත්තයි දෙගොල්ලොම එකතු වුණොත් 60ක් ගනී. අද ගමේ එක්සත් ජාතික පක්ෂය පුදුම විදිහට දියවෙලා. එක්සත් ජාතික පාක්ෂිකය ඡන්ද පොළට යන්නෙ නෑ. ඒ නිසා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ වැඩිම බහුතර බලය ලබන ආණ්ඩුව බවට පත්වෙනව.
විරුද්ධ පක්ෂයෙන් චෝදනා තියෙනව නේද මිලිටරි ආණ්ඩුවක් තියෙන්නෙ කියල?
ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවලත් හමුදාවෙ කට්ටිය ඉඳල තියෙනව. හමුදාවෙ එක්කෙනෙක් දෙන්නෙක් රාජ්‍ය පාලනයට සම්බන්ධ කළා කියල ඒක මිලිටරි පාලනයක් වෙන්නෙ නෑ.
ඔබේ අනාගතය කුමක් වෙයිද දේශපාලන වශයෙන්?
මගේ ලොකු බලාපොරොත්තු නෑ. අන්තිම කාලෙ දරුවො ටිකත් එක්ක බොහොම සතුටෙන් විශ්‍රාම යන්න තමයි බලාපොරොත්තුව.
දරුවො එන්නෙ නැද්ද දේශපාලනයට?
මගේ දරුවො එක්කෙනෙක්වත් දේශපාලනයට එන්නෙ නෑ.
සාකච්ජා කළේ ශාන්ත බණ්ඩාර ජයවර්ධන
සකස් කළේ ඉන්දික වික්‍රමරත්න










