යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමත් සමග ඊයේ (08) රාත්‍රියේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
සිසුන්, දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ දැඩි නොසන්සුන්කාරී හැසිරීම ඊයේ (08) රාත්‍රියේම පාලනය කල බවට කෝපායි පොලීසිය පවසයි.
මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යැයි පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල භූමිය තුළ ඉදිකොට තිබූ යුද ස්මාරකය ඊයේ (08) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් යොදා සම්පූරණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ සහ ආරක්ෂක අංශවල මෙහෙයවීම මත මෙලෙස ඊයේ (08) රාත්‍රියේ කිසිවෙකුටත් නොදන්වාම යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පවසමින් පළමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවය ප්‍රකාශ කරමින් නොසන්සුන්කාරීව හැසිර තිබුණි.
අනතුරුව අදාළ ස්ථානයට දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැමිණ දැඩි නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් කෝපායි පොලීසිය තත්වය පාලනය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට පියවර ගන්නා ලදි.
අනතුරුව විශ්වවිදයාල භූමියට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකිවන පරිදි ආරක්ෂාව යෙදවූ අතර නොසන්සුන් තත්වය පාලනය කිරීමටද ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග විරෝධතාකරුවන් විසින් විශ්වවිද්‍යාලයේ දොරටුව ඉදිරියේ ඇති මාර්ගයේ හිඳ විරෝධතාවය පළ කර සිටියේය.
මෙම විරෝධතාවයන්ට දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වී විරෝධතාවය පල කරමින් කියා සිටියේ යුද්දයේදී දෙමළ ජනතාව මිය ගිය ආත්මයන් සිහි කිරීම සඳහා තිබූ සංකේතයන්ද මෙලෙස කඩා දැමීමෙන් දෙමළ ජනතාවගේ අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් හෙයින් මෙම යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම දැඩි ලෙසින් හෙලා දකින බවටය.
අද (09) උදෑසන වන විටද යාපනය විශ්වවිද්‍යාල භූමිය අවට ආරක්ෂාව තර කොට ඇති බවටත්, අදාළ නොසන්සුන්කාරීව කටයුතු කළ අය සම්බබන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවටත් කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.









