මුදල් ඇමතිවරයාගේ අභිමතය පරිදි මැතිවරණ කාලය තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය බව අද පැවැති නිදහස් ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
රටේ ජනගහනයෙන් 90%ක ජනතාවක් දැනටමත් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බව කී ඒ මහතා මැතිවරණ කොමිසන් සභාවේ අවංක උත්සාහය රජය විසින් විනාශ කළ බව පෙන්වා දුන්නේය.
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනී යන්නේ වක්‍ර ලෙස ඡන්දය කල් දැමීමට ගන්නා උත්සාහයට සහාය පළ කරන බවත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ආණ්ඩුකම ව්‍යවස්ථාව මුළු මුළුමනින්ම බැහැර කර ඇති බවත්, එතුමාගේ ක්‍රියා පටිපාටියට විරුද්ධව නීතියට යන බවත් පීරිස් මහතා කියා සිටියේය.
එමෙන්ම දැනට පවතින මැතිවරණ කොමිසන් සභාව වෙනුවට වෙනත් කොමිෂන් සභාවක් ආදේශ කිරීම කිසිසේත් අනුමත නොකරන බව කී පීරිස් මහතා ජාත්‍යන්තර ආයෝජන සමාගම් අප රට අතහැර දමා යෑම ආර්ථිකයට ප්‍රබල ප්‍රහාරයක් වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටකට විදේශ ආයෝජන නොලැබී යන බවත් සදහන් කළේය.
IMF මූල්‍ය ආධාර හිමිවන්නේ ස්ථාවර ආණ්ඩුවකට පමණක් බව ද පෙන්වා දුන් මහාචාර්යවරයා වර්තමාන ආණ්ඩුවට කිසිම ජනමතයක් නොමැති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සදහන් කළේය.










