ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා නවදිල්ලි නුවර ඛනිජතෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේදී අද (01) හමු විය.
ඛනිජතෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය ධුරයට අමතරව හර්දීප් සිං පූරි මහතා නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ධුරයද දරයි.
දේශපාලනයට පිවිසීමට ප්‍රථම කීර්තිමත් වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා 1984-1988 කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේද සේවය කොට තිබේ.
අමාත්‍ය පූරි මහතා ඉතා උණුසුම් ලෙස මහකොමසාරිස් මොරගොඩ මහතා පිළිගත් අතර ඉන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී, ඛනිජතෙල් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් හා පුළුල් කළ හැකි මාර්ග ඇතුළු බලශක්තිය පිළිබඳ කරුණු රාශියක් අමත්‍යවරයාගේ හා මහකොමසාරිස්වරයාගේ අවධානයට ලක් විය.
මහකොමසාරිස් මොරගොඩ මහතා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන ” ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය 2021/2023″ ලියැවිල්ලේ පිටපතක්ද අමාත්‍ය පූරි මහතා වෙත පිරිනැමීය.











