මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර ධීවර කර්මාන්තය මගින් රටේ දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් ලබාදී ඇති දායකත්වය සියයට එකකි. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ප‍්‍රයෝජන ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් එහිදී පෙන්වා දුන්නේ විසිතුරු මත්ස්‍ය වර්ග 700 කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇති බවකි. මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් කර ඇත.
ලොව විශාල ඉල්ලූමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.












