ලන්සා රනිල්ට කවපු ලණුව!
ධම්මික රනිල් සාකච්ජාවේ වෙච්ච දේ!
ජනපතිගේ කතාවට අමෙරිකානු තානාපතිවරිය නොසතුටින්!
එනවා කියපු 21 තාම නෑ! අයින් වෙනවා කියපු අයත් තාම ඇමැතිකම්වල!
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව පත්වන විට තිබූ උනන්දුව මේ වන විට ඇති බවක් දැකගන්නට නැත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරය භාරගත්තේම එළියේ සිටින අරගලකරුවන් ඉල්ලා සිටින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරන බවට රටටම පොරොන්දුවක් දෙමිනි. එමෙන්ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද එම ධුරය භාරගනිමින් කියා සිටියේ විධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම ඉදිරිපත් කොට සම්මත කරගන්නා බවකි. නොඑසේ නම් තමන් එම තනතුරේ නොසිටින බවද විජයදාස රටටම ඇහෙන්න කියා සිටියේය. එපමණක් නොව සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට ඇමැතිකම් ගෙන එක්වූ හරීන් ප්‍රනාන්දුත්, මනුෂ නානායක්කාරත් මාධ්‍ය හමු පවත්වමින් කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තම මූලික අරමුණ බවත්, එසේ නොකරන්නේ නම් තමන් ඇමැතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බවත්ය. නමුත් මේ වන විට රනිල්ලා, විජයදාසලා, හරීන්ලා, මනුෂලා ඇමැතිකම් ගෙන කැබිනට් මණ්ඩල රැස්වීම් පහක අසුන්ගෙන තිබුණත් තවමත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සම්මත කොට නොමැත. අඩුම තරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නොමැත. නමුත් වැඩේ කියන්නේ අද රනිල්ලා, විජයදාසලා, හරීන්ලා, මනුෂලා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක් හෝ කතා නොකර කසාය බිව් ගොලුවන් සේ සිටීමය.
21ට වෙලා තියෙන්නේ මොකද්ද?
ඇත්තටම 21 වැනි සංශෝධනයට සිදුවූයේ කුමක්ද? අප පසුගිය සතිවලදීත් මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයන් කිහිපයක්ම කරමින් කියා සිටියේ විධායක බලතල ලබාගැනීම සඳහා අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට යම් යම් යෝජනා සිදුකරමින් පැවැතියත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට යම් විරෝධයක් එල්ල වෙමින් පවතින බවකි. විශේෂයෙන්ම පොහොට්ටුව පාර්ශ්වයෙන් දැඩි විරෝධයක් ඊට එල්ල වෙමින් තිබීම රහසක් නොවේ. තවමත් පවතින්නේ පොහොට්ටුවේ බහුතරයකින් යුත් ආණ්ඩුවක් වීම නිසා ඔවුන්ගේ විරෝධයද මේ වන විට තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති බවක් දැකගන්නට ඇත.
ලන්සා රනිල්ට කවපු ලණුව!
ඒ කෙසේ වෙතත් 21 හරහා රනිල්ගේ බලතල වැඩි කරගත හැකි බවටත්, ඊට අවශ්‍ය මන්ත්‍රී සහාය ලබාදෙන බවටත් වූ දේශපාලන ලණුව රනිල්ට කැව්වේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේම සිටින ප්‍රබලයකු වූ නිමල් ලන්සාය. පසුගිය කාලය පුරා පොහොට්ටුවේ ප්‍රධානියා වූ බැසිල්ගේ හොඳම විශ්වාසවන්තයකු වී සිටි ලන්සා පසුව බැසිල්ව එළිපිට විවේචනය කරන්නට පටන් ගත්තේය. ඒ හරහා රනිල්ගේ ළඟට කිට්ටු වූ ලන්සා කියා සිටියේ තමන් සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටින බවත්, රාජපක්ෂවරුන්ට 40 දෙනකු තබා අනෙක් සියලු මන්ත්‍රීවරුන් රනිල් ළඟට ගෙන ඒමට තමන්ට හැකි බවත්ය. ඒ අනුව ලන්සාගේ මේ වචන විශ්වාස කළ රනිල්ද අගමැති ධූරය භාරගත්තේම විශාල සද්දයක් දාගෙනය. නමුත් ලන්සාගේ කතාව වාගේ කෙරුවාව සිද්ධ වූයේ නැත. වුණු එකම දේ වූයේ ලන්සා සිය හොඳම පාර්ලිමේන්තු ගජයා වූ නලින් ප්‍රනාන්දු හට රනිල්ගෙන් වෙළෙඳ ඇමැති ධුරය ලබාගැනීමය. අනෙක් අතට ලන්සා දැක්වූ බැසිල් විරෝධයද බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමත් සමග අහෝසි වී ගිය නිසා දැන් ලන්සාගේ හඬට ආණ්ඩුව ඇතුළේ වැඩි තැනක් නැත. එමෙන්ම ලන්සා රනිල්ගේ ඩීල්කාරයකු බව හෙළිදරව් වීමත් සමග පොහොට්ටුවද දැන් ලන්සා තඹයකට මායිම් නොකරන තත්ත්වයකට පත්ව ඇත.
මහින්ද එළියට එයි!
ඒ අතර පසුගිය සතියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කලකට පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වා තිබිණ. එහිදී මහින්ද, ජනාධිපතිවරයාගේ බලතල අඩුකළ යුතු බවත්, අගමැති පුටුව පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කළ යුතු බවත් කියා සිටියත් ඊට තවත් වැදගත් වගන්තියක්ද එකතු කිරීමට පියවර ගත්තේය. ඒ, අගමැතිවරයාගේ බලය ශක්තිමත් කළ යුතු වුවද වත්මන් අගමැති රනිල්ට එම බලය ලබාදිය නොහැකි බවය. ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ රනිල් යනු මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නායකයකු නිසා ඔහුට විධායක බලතල දැරීමේ සදාචාරාත්මක අයිතියක් නොමැති බවය. ඒ අනුව මැතිවරණයකින් පත්වන ඊළඟ අගමැතිවරයාට බලය හිමිවන ආකාරයට එය සිදුවිය යුතු බව මහින්දගේ තර්කය වී තිබිණි. පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතාද පසුගිය සතියේ ප්‍රකාශයක් කරමින් ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
ජනපති 21න් බලය තියාගන්න යයි!
මේ පසුබිමේ තවත් සිදුවීම් කිහිපයක්ද සිදුවිය. විජයදාසලා හරීන්ලා 21 පිළිබඳ සද්දයක් නැතිව සිටියද ජනාධිපතිවරයා ඍජුවම 21 සම්බන්ධයෙන් තම ස්ථාවරය අවස්ථා ගණනාවකදීම එළිදක්වා තිබීම එක් සිදුවීමකි. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ ජනාධිපති ධුරයේ බලතල අහෝසි වන කිසිදු සංශෝධනයක් තමාගේ පළමු වාරයේ ක්‍රියාත්මක නොකරන බවත්, ඒ සියලු සංශෝධන නව ජනාධිපතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වන ලෙස සම්මත කළ යුතු බවත්ය. එමෙන්ම අගමැතිවරයා ඉවත් කිරීම, කැබිනට් අමාත්‍යාංශ පවරා ගැනීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම ආදී බලතල ජනාධිපතිවරයා සතුවිය යුතු බවද හෙතෙම අවධාරණය කොට තිබිණි. කෙසේ වෙතත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද විරුද්ධත්වයක් නොවීය. නමුත් ඒ කිසිදු කරුණක් සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව ඇතුළේ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද සඳහන් කළ යුතුය. රනිල්ලා, හරීන්ලා, විජයදාසලා මේ වන විට සද්ද වහගෙන සිටින්නේද ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරය නිසාය.
ජනපතිගේ කොන්දේසියට රනිල්-විජයදාස එකග වෙලා!
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලට අනුව නම් රනිල් සහ විජයදාසද මේ වන විට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසිවලට නිල නොවන වශයෙන් එකඟතාව පළකොට ඇති බව ආරංචිය. නමුත් එය ප්‍රකාශයට පත් නොකර සිටින්නේ අරගල භූමියෙන් සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් ඔවුන්ට එල්ලවනු ඇති බවට වූ බිය හේතුවෙන් බව වාර්තා වේ. එපමණක් නොව විමල් ඇතුළු ස්වාධීන කණ්ඩායම්ද මේ වන විට 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් රනිල් ඇතුළු කණ්ඩායම ඉලක්ක කරගෙන විවේචන එල්ල කිරීම ආරම්භ කොට තිබේ. පොහොට්ටුවද රනිල්ලා ඉලක්ක කරගෙන දැනටමත් ප්‍රහාරාත්මක වැඩපිළිවෙළකට යොමුව ඇති ආකාරයක් මේ හරහා දැකගන්නට ඇත.
නියම 21 ආවේ සජබෙන්!
21 වැනි සංශෝධනය මේ වන විට ආණ්ඩුව පැත්තෙන් කැබිනට් මණ්ඩලයට තවමත් ඉදිරිපත්ව නැතත් 21 වැනි සංශෝධනය යනුවෙන් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ගැසට් වී තිබෙන්නේ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයය. එය සම්පූර්ණයෙන්ම සකසා ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටය. ඒ හරහා පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් නිර්මාණය වී ඇති අතර, ස්වාධීන කොමිෂන් සභාද ඒ යටතේ ක්‍රියාත්මකය. මේ වන විට එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විභාගයක්ද දියත් වෙමින් පවතින අතර, ආණ්ඩුව අලුතෙන් 21ක් ඉදිරිපත් කළේ ඒ අතරවාරයේදීය.
අමෙරිකානු තානාපතිනිය ගෝඨා හමුවෙයි!
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ තවත් අතිශය තීරණාත්මක හමුවක් සිදුවිය. ඒ, ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිවරිය වන ජුලි චන්ග් මහත්මිය සහ ජනාධිපතිවරයා අතරය. තමාට ජනාධිපතිවරයා හමුවී අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවට ඇමෙරිකානු තානාපතිවරිය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සඳහා වේලාව වෙන්කර තිබිණි. තානාපතිවරිය මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමටද එක් විශේෂ හේතුවක් බලපෑවේය. ඒ, ඇය මේ සති අන්තයේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යෑමට සූදානමින් සිටීමය. එමෙන්ම මේ සති අන්තයේ වොෂින්ටනයේ සිට ඇමෙරිකානු මහා භාණ්ඩාගාරයේ සහ මුල්‍යායතනවල ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත අතර, ඔවුන් ලංකාවේ රැඳී සිටින දින කිහිපය තුළ මෙරට ආර්ථිකය පිළිබඳ කිසියම් තක්සේරුවක් සිදුකිරීමටද නියමිතය. මේ සිදුවීම් දෙකම හේතුවෙන් ජනාධිපතිවරයාද වහාම තානාපතිවරියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දිවා භෝජන සංග්‍රහයක්ද සහිත සාකච්ඡාවක් සංවිධාන කිරීමට පියවර ගත්තේය.
එළියෙදි ගහගත්තට චීන තානාපතිවරයාත් මුණගැහෙයි!
මෙම සාකච්ඡාවට ප්‍රථම ඇමෙරිකානු තානාපතිවරිය තවත් විශේෂ හමුවකටද සහභාගි වූවාය. ඒ, මෙරට චීන තානාපතිවරයා වන චී චෙන්හොන් මහතා සමග සාකච්ඡාවකටය. මෙම සාකච්ඡාවේ දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේ චීනයත්, ඇමෙරිකාවත් ජාත්‍යන්තරයේ මුහුණට මුහුණ ප්‍රසිද්ධ සටනක නිරතව සිටියත්, ලංකාවේ සිදුවූ මෙම හමුවේදී ඔවුන් දෙදෙනාම ඉතා සුහදශීලී ආකාරයට සාකච්ඡා පැවැත්වීමට පියවර ගැනීමය. මෙහිදීද සාකච්ඡාවේ මාතෘකාව වී තිබුණේ ලංකාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳවය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලංකාවට ලබාගැනීමට නම් දැනට ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය බවට කොන්දේසියක් ඇතුළත් කොට තිබීම නිසා මෙම සාකච්ඡාවේදී එයද දීර්ඝ වේලාවක් කතාබහට ලක්විය. විශේෂයෙන්ම දැනට චීනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවට දැනුම්දීම හේතුකොට ගෙන එය අයි.එම්.එෆ්. සාකච්ජා කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවට මත පළව තිබීමද මෙම සාකච්ඡාව පැවැත්වීමට තවත් හේතුවක් වී තිබිණි.
21 ගැන අහයි!
කෙසේවෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකානු තානාපතිවරිය ගියේ ජනාධිපතිවරයා මුණගැසීමටය. දෙදෙනා අතර පැවැති මෙම සාකච්ඡාවද ඉතා සුහදශීලී බවක් ඉසිලීම විශේෂ සිදුවීමක් විය. එහිදී දෙදෙනා අතර, දැනට රට තුළ මතුව ඇති ආර්ථික ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් එම සාකච්ඡාව අවසානයේදී ඇමෙරිකානු තානාපතිවරිය කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට පියවර ගත්තාය. ඉන් පළමුවැන්න වූයේ 21 වැනි සංශෝධනයය. වොෂින්ටනය ලංකාවේ සිදුවන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉතා සමීපව නිරීක්ෂණය කරන බව මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන් ඇමෙරිකානු තානාපතිවරිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයාට දැනුම්දී සිටියාය.
ජනපති පරිස්සම් වෙයි! තානාපතිවරිය සෑහීමකට පත් නොවෙයි!
සාකච්ජාවේදී ජනාධිපතිවරයාද වචන භාවිත කළේ ඉතා සීරුමාරුවෙන් යුක්තවය. තමන්ද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන බව කියා සිටි ජනාධිපතිවරයා ප්‍රායෝගිකව ගැටලු කිහිපයක් මතුව ඇති බවත්, ඒ හේතුව මත පක්ෂ අතර එකඟතාවක් ගොඩනගාගත නොහැකි වී ඇති බවත් තානාපතිවරියට පෙන්වා දුන්නේය. තමන්ට ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාව දැවැන්ත ජනවරමක් හිමිවූ බව කියා සිටි ජනාධිපතිවරයා ඒ යටතේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදුකිරීමට තමන් සූදානම් බවද කියා සිටියේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම අදහස්වලට ඇමෙරිකානු තානාපතිවරිය සාවධානව ඇහුම්කන් දුන් නමුත් අපට ඇති ආරංචිවලට අනුව කියැවෙන්නේ ඇය මෙම සාකච්ඡාවෙන් පසු ස්ථාන කිහිපයකදීම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන් පිළිතුර පිළිබඳ 100%ක් සෑහීමකට පත් නොවූ බව සඳහන් කොට ඇති බවකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරය වෙත කැඳවා ඇති බවද දැනගන්නට ඇත.
රනිල් ජෝන්ට දුන් කොන්ත්‍රාත්තුව!
ඒ අතරවාරයේ රනිල්ද මේ වන විට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යම් වගන්තියක් ඇතුළත් කරගැනීම සඳහා ආණ්ඩුවේ සිටින ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මහතා හට දේශපාලන කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම දේශපාලන කොන්ත්‍රාත්තුව වී ඇත්තේ කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීම තවත් මාස හයකින් කල් දමාගැනීමය. ඒ අනුව එම යෝජනාව පසුගිය සතියේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ජෝන් සෙනෙවිරත්න රටට දැනුම් දී සිටීමටද පියවර ගත්තේය.
විරෝධතාවක් අත ළග!
කෙසේ වෙතත් මේ ආකාරයට තවත් මාස හයකින් මහ මැතිවරණය කැඳවීම කල්දමා ගැනීමේ යෝජනාවක් මීට පෙර කිසිදු පාර්ශ්වයකින් යෝජනාවී තිබුණේ නැත. එවැන්නක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කොට තිබුණේද නැත. දැනට පවතින ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන්නේ වසර දෙකහමාරකට පසුවය. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව තුළ ඒ විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ ලබන මාර්තු මාසයේදීය. නමුත් ජෝන් කරන යෝජනාවට අනුව එය සම්මත වුවහොත් තවත් මාස හයක කාලයක් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලා සිටීමට සිදුවනු ඇත. නමුත් දැනටමත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අවධාරණය කර සිටින්නේ වහාම මහමැතිවරණයක් කැඳවා ලෝකයට පිළිගත හැකි ආණ්ඩුවක් පත්කරගැනීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවකි. එපමණක් නොව, පොහොට්ටුවේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල්ද ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලැබෙන පළමු අවස්ථාවේදීම එය විසුරුවා හරින ලෙසටය. එමෙන්ම ඉදිරි මාස කිහිපය ඇතුළත මහ මැතිවරණයක් ඉල්ලා විපක්ෂයේ කණ්ඩායම් විසින් ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයක් රට පුරා ආරම්භ කිරීමටද මේ වන විට සැලසුම් කර තිබේ.
රනිල්ගේ ගේම වෙන එකක්!
නමුත් රනිල්ගේ සැලසුම වී ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණය තෙක්ම මේ පාර්ලිමේන්තුව කෙසේ හෝ ගැටගසාගෙන ඇදගෙන යෑමටය. හීන් සීරුවේ තවත් මාස හයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය දීර්ඝ කිරීම හරහා රනිල්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ තව කොටි කාලයකට හෝ අගමැති ධූරයේ සිටීමටය. අනෙක් අතට මහමැතිවරණයකට මේ අවස්ථාවේ ඉදිරිපත් වුවහොත් ඉකුත් වතාවේදී මෙන්ම මෙවරද පරාජයට පත්වන බව වටහාගෙන සිටින රනිල් කෙසේ හෝ එය කල් දමාගැනීම සඳහා මේ ආකාරයේ මෙහෙයුම් කිහිපයක්ම දියත් කොට ඇති බවක් ආරංචිය. ජෝන් ලවා සිය අදහස ජනාධිපතිවරයාට දැනුම් දීමට රනිල් පියවර ගෙන තිබුණේ එ අනුවය.
ආණ්ඩුවේ ප්‍රබලයෙක් සජිත් හමුවන්න එයි!
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්තරා ප්‍රබල පුද්ගලයකු හදිසියේම විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. ඒ, වෙන කවුරුවත් නොව, ජනාධිපතිවරයා බලයට ගෙන ආ වියත් මගේ නිර්මාතෘවරයා මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයකු ලෙස සැලකෙන ආචාර්ය නාලක ගොඩහේවාය. සිවිල් සංවිධාන නියෝජිතයන් සමග විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ගොඩහේවා, සජිත් සමග පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය.
ජනාධිපති ගොඩහේවා ෂුවර් නෑ කියලා!
කෙසේ වෙතත් නාලක ගොඩහේවා මෙසේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සජිත් මුණගැසුණු බවට වූ පුවත කාටත් කලින් රටට අනාවරණ කළේ අප ‘මව්රටනිව්ස්‘ වෙබ් අඩවිය මගින්ය. එහිදී අපි ඡායාරූපයක්ද පළකරමින් මෙම කරුණ රටට අනාවරණ කර සිටීමට පියවර ගත්තෙමු. ඒ සමගම ආණ්ඩුව ඇතුළේ ගොඩහේවා සම්බන්ධයෙන් යළිත් වතාවක් ප්‍රබල කතාබහක් මතුවන ආකාරයක් දැකගත හැකි විය. අප එසේ කියන්නේ මීට සති දෙකකට පමණ ඉහතදීද ගොඩහේවා සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ දීර්ඝ කතාබහක් මතුව තිබීම හේතුකොට ගෙනය. මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා සමග පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් සහභාගි වී සිටි අතර, එහිදී දැනට පොහොට්ටුවේ නොසෙල්වී සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කෙටි කතාබහක්ද මතුව තිබිණි. එහිදී මන්ත්‍රීවරුන් එම කණ්ඩායම් පිළිබඳ එකින් එක නම් අනාවරණ කරද්දී නාලක ගොඩහේවාගේ නමද කියැවිණි. ඒ සැණින් සාකච්ඡාවට මැදිහත් වූ ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ, ‘ඕගොල්ලන්ට ගොඩහේවාව හොඳටම ෂුවර්ද?’ යැයි කියාය. ඊට මන්ත්‍රීවරුන් ගොඩහේවා විශ්වාස බව සඳහන් කරද්දී නැවත ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් ගොඩහේවා සමගි ජන බලවේගයත් සමග ගනුදෙනු කිරීම ආරම්භ කර ඇතැයි කියාය.
එයා සජබෙට යන්න ඉන්නේ!
‘නෑ.., මට ලැබෙන ආරංචි අනුව නම් ගොඩහේවා සජිත් එක්ක සාකච්ඡා ආරම්භ කරලයි තියෙන්නේ. මට පේන හැටියට එයා ඊළඟ ඡන්දෙදි සජබෙන් ඉල්ලන්නයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි එයා කණ්ඩායමකුත් අරන් ගිහින් සජිත් එක්ක එකතු වෙනවා කියලා තමයි ආරංචිය…’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී එහි සිටි මන්ත්‍රීවරුන් කිසිවකුත් ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ කතාව විශ්වාස කළේ නැත.
පොහොට්ටුව කලබල වෙයි!
කෙසේ වෙතත් අප ගොඩහේවා විපක්ෂ නායක කාර්යාලයට පැමිණි පුවත වාර්තා කිරීමත් සමගම කලබලයට පත්වූ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේ සිටි පොහොට්ටු මන්ත්‍රීවරයකු මේ පිළිබඳ විමසා බැලීමට පියවර ගත්තේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ ගොඩහේවා සජිත් සමග සහභාගී වී තිබුණේ දේශපාලන සාකච්ජාවකටද යන්න තහවුරු කරගැනීමටය. එහිදී එම මන්ත්‍රීවරයාටද එකී සාකච්ඡාව සිවිල් සංවිධාන සමග පැවැති එකක් බව දැනගන්නට ලැබිණි. නමුත් එහි තිබූ වැදගත්ම කාරණාව වූයේ ගොඩහේවා සම්බන්ධයෙන් බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කොට තිබූ තොරතුරු අතිශය නිවැරැදි ඒවා ව තිබීමය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසීම් කරද්දී වහාම නාලක ගොඩහේවාද ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ නිර්දේශපාලනික රැස්වීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් තමන්ට ලැබුණු ආරාධනාවක් මත මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත්, එහි කිසිදු දේශපාලන කරුණක් සාකච්ඡා නොවූ බවත්ය.
මාර්තු ජන්දය අනිවාර්යයි!
ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග පැවැති එම සාකච්ඡාවේදී තවත් විශේෂ කරුණු කිහිපයක්ම සාකච්ඡා වී තිබිණි. ඉන් එක් කරුණක් වූයේ මැතිවරණ සම්බන්ධ මාතෘකාවය. එහිදී ජනාධිපතිවරයාගේ කටින් කියැවුණේ ලබන මාර්තුවලට පෙරාතුව පළාත් පාලන ඡන්දය නියත වශයෙන් පැවැත්විය යුතු බවත්, එය නැවත වතාවක් කල් දැමීමේ නීතිමය බලයක් නොමැති බවත්ය.
‘අපිට අනිවාර්යෙන්ම ලබන මාර්තු මාසෙට කලින් පළාත් පාලන ඡන්දෙ තියන්න වෙනවා. ඒ නිසා මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන්ම තියලා ඒකට සූදානම් වෙන්න. මේක කල් දාන්න බැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයත් මට එනවා. මම ඒ ගැනත් තීන්දුවක් ගන්නවා…’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
යළිත් පොහොට්ටුවේ අගමැතිවරයෙක්?
මෙහිදී මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයාට වැදගත් කාරණාවක් දැනුම් දී සිටියේය. ඒ, පොහොට්ටුවට ලක්ෂ 68ක ජනවරමක් ලැබී තිබියදී පොහොට්ටුවේ අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය නොකරන්නේ මන්ද යන කාරණාවය. රනිල්ව අගමැති කිරීමෙන් පසු පොහොට්ටුවේම මන්ත්‍රීවරයකු වූ නිමල් ලන්සා හරහා රනිල් පොහොට්ටුව කැඩීමට උත්සාහ කරන බවත්, රනිල්ව අගමැති කිරීම විකෘතියක් බවත් එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
ජනාධිපතිත් හිත හදාගනී!
එහිදී ජනාධිපතිවරයාද ඊට ලබාදුන්නේ මන්ත්‍රීවරුන් තරමක් සැනසෙන ආකාරයේ පිළිතුරකි.
‘මං දන්නවා මෙතන සමහරුන්ට බැසිල් එක්ක ප්‍රශ්න තිබ්බා. හැබැයි දැන් බැසිල් නෑ. අපිත් දැන් පොහොට්ටුවෙ දේශපාලනය කරන්න පටන් ගන්න ඕනෙ. විමල්ලා, ගම්මන්පිලලා වුණත් දැන් මගෙත් එක්ක ආයෙමත් සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙන්නේ. අපිත් බලන්න ඕන කොහොමද ඉස්සෙල්ලා තිබුණා වගේ ආණ්ඩුවක් හදන්නේ කියලා. අපි බලන් ඉමු ඉස්සරහට යහපත් දෙයක් වේවි කියලා….‘ යනුවෙන් නව අගමැතිවරයකු පිළිබඳ යම් ඉඟියක් දුන් ජනාධිපතිවරයා 21 වන සංශෝධනය ගැනද කිසියම් අදහසක් පළ කළෝය.
‘මම එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනෙ. ඒ, මේ ගේන්න යන 21න් ජනාධිපතිවරයාගෙ බලතල අඩු කරන්න කටයුතු කළත්, ඒ හැම එකක්ම මගේ නිල කාලයෙන් පස්සේ ක්‍රියාත්මක වෙනවා කියන එක…’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
පොහොට්ටුව සක්‍රිය වෙයි!
මේ හරහා එකක් පැහැදිලිය. ඒ, පොහොට්ටුවේ සියලු දෙනාම එකඟ විය හැකි ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සැලසුම් කරමින් සිටින බවකි. ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණයට සැරසෙන බවකි. පොහොට්ටුවට ඒ සඳහා සූදානම් වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන්නේද ඒ අනුවය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු පසුගිය කාලය පුරා මැලවී ගොස් තිබුණු බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලය හිටි හැටියේම වෙනස් වී ගිය ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම පොහොට්ටු කාර්යාලයේ දිවා රාත්‍රිය නොබලා සාකච්ඡා පැවැත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවා ගම් මට්ටමේ බිම් මට්ටමේ තත්ත්වය පිළිබඳවත්, එහි සංවිධාන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ ඇතැම් සාකච්ඡාවලට බැසිල්ද සහභාගි වී සිටීම විශේෂ සිදුවීමක් විය.
සජබය සිවිල් සංවිධාන එක්ක ලොකු ගේමක!
මේ පසුබිම යටතේ සමගි ජන බලවේගයද පසුගිය සතියේ එක්තරා විශේෂ වැඩකට අතගැසුවේය. ඒ, රට වටා සිටින සිවිල් සංවිධාන එකතු කොට දැවැන්ත සමාජ – දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යොමු වීමය. ඊට සිවිල් සංවිධාන ප්‍රධානීන්ට අමතරව රටේ සිවු කොනම නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ද සහභාගි වී සිටීම විශේෂ සිදුවීමකි. ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටියේ ආචාර්ය නාලක ගොඩහේවාය. ඒ, සජිත් කළ විශේෂ ඉල්ලීමකට අනුවය. ඒ අනුව මෙම දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ මහලේකම් කාර්යාලයක්ද විවෘත වීමට නියමිතය.
ආණ්ඩුවේ පිරිසකුත් සජිත් ගාවට!
මේ අතරවාරයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් විශේෂ මන්ත්‍රීවරු පිරිසක්ද පසුගිය බ්‍රහස්පතින්දා සවස් වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඒ අනුව එම පිරිසද ඉදිරි දින දෙක තුන ඇතුළත විපක්ෂ නායකවරයා සමග කරළියට ඒමට නියමිතව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
සජබෙත් ජන්දෙට සූදානම් වෙයි!
කෙසේ වෙතත් මේ වන විට සමගි ජන බලවේගයද සූදානමින් සිටින්නේ ජනාධිපතිවරයා ලබාදුන් ඉඟියට අනුව පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමටය. ඒ අනුව ඉකුත් සතියේම පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ අපේක්ෂකයන් තෝරා ගැනීමේ නිල සාකච්ඡා ආරම්භ කිරීමටද සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණි.
ධම්මිකගේ පාර්ලිමේන්තු ගමන!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටින ආකාරය පිළිබඳවත්, එම තොරතුරු වාර්තා වූ වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය කලබලයට පත්වී ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් පවා විමසීමට කටයුතු කළ ආකාරයත් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා අගමැතිවරයාට යම් අනතුරු ඇඟවීමක්ද සිදුකළ බවකි. ඒ, තමන් 20 වැනි සංශෝධනය යටතේ අගමැති වූ බවට සිහියේ තබාගන්නා ලෙස අගමැතිවරයාට ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බව වාර්තා කරමිනි. ඉන් අනතුරුව අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ධම්මික පෙරේරා ඉලක්ක කරගෙන නීතිමය තර්කයක් ඉදිරියට රැගෙන ආ ආකාරයත්, පසුව ජනාධිපතිවරයා මැදිහත්ව එය සමතයකට පත්කළ ආකාරයත් අපි එහිදී ලියා තැබුවෙමු.
රනිල් පිළ කැළඹෙයි!
කෙසේ වෙතත් අවසානයේදී ධම්මික පෙරේරාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කිරීමත් සමග නියත වශයෙන්ම ධම්මික පෙරේරා පාර්ලිමේන්තු එන බව වටහාගත් මෙම පිරිස එතැන් සිට ධම්මික සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග වෙනස් කිරීමට පියවර ගත් බවත් දැකගන්නට ලැබිණි.
ගේ ඉදිරිපිට විරෝධය කළේ කව්ද?
ඒ අනුව පසුගිය ඉරිදා දිනයේදී හදිසියේම ධම්මිකගේ නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කෙරිණි. ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ එම උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිස අරගල භූමියේ සිට පැමිණියා යැයි කියාය. එමෙන්ම ඊට විශාල ප්‍රචාරයක් ලබාදී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් උද්ඝෝෂණය සිදුකෙරෙද්දී ධම්මික සිටියේද නිවෙසේමය.
මේ ආකාරයට උද්ඝෝෂණය දියත් වෙද්දී එක් උද්ඝෝෂකයකුට ලැබුණු ඇමතුමකින් කියැවුණේ ඔහුගේ පවුලේ ඥාතියකු ගෑස් පෝලිමක සිටියදී මියගොස් ඇති බවකි. ඒ අනුව මොහොතකින් උද්ඝෝෂණය අවසන් කෙරුණු අතර පිරිස විසිර යන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
කාන්තාවකගෙන් ප්‍රබලයකුට ඇමතුම් 3ක්!
කෙසේ වෙතත් මේ සියල්ල අතරතුර කිසිවකුටත් නොදැනුණු තවත් විශේෂ සිදුවීමක්ද විය. ඒ, උද්ඝෝෂණයේ සිටි එක්තරා කාන්තාවක් විසින් යම් ප්‍රබල පුද්ගලයකුට දුරකතන ඇමතුම් තුනක් ඒ කෙටි කාලය ඇතුළත ලබාගෙන තිබීමය. මේ සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටි ආරක්ෂක අංශ මේ වන විට මෙම ඇමතුම් ලැබුණු ප්‍රබල පුද්ගලයා කවරෙක්ද යන්න හඳුනාගෙන ඇති අතර, ඉදිරියේදී ඒ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත. එමෙන්ම එම ඇමතුම්වලදී කතාබහ කළ කරුණු සියල්ල මේ වන විට අනාවරණ කරගෙන අවසන් බවද ‘රාජ්‍ය රහස්’ තීරණයට ආරංචිය. ඒ අනුව මෙම පිටස්තර පුද්ගලයාගේ නම අනුව ඔහු හා අගමැතිවරයා අතර යම් සබඳතාවක් තිබේද, මෙම උද්ඝෝෂණය සඳහා අගමැතිවරයාගේ යම් අනුදැනුමක් තිබේද යන්න සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා තුළ යම් සැකයක් මතුව ඇති ආකාරයක්ද දකගන්නට ඇත.
රනිල් ධම්මිකට පණිවුඩයක් යවයි! කපුවා දිනේෂ්!
කෙසේ වෙතත් ධම්මිකගේ පාර්ලිමේන්තු ගමන තහවුරු වීමත් සමග අර කපන්න බැරි අත සිඹිනවා කීවා සේ රනිල් කළේ කෙසේ හෝ ධම්මික හා තමන් අතර සාකච්ඡාවක් සංවිධාන කිරීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කිරීමය. ඒ සඳහා රනිල්, ධම්මිකට බලපෑම් කළ හැකි හිතවතුන් දෙතුන් දෙනකුම යොදවා ගැනීමට කටයුතු කළේය. ඉන් එක් අයකු වූයේ දිනේෂ් වීරක්කොඩිය. මේ දිනේෂ් වීරක්කොඩි යනු රනිල් විසින් මහ බැංකු අධිපතිවරයා වූ අචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කොට ඒ වෙනුවට නව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත යෝජනා කළ තැනැත්තාය. ඒ අනුව රනිල්ගේ දැනුම්දීමට අනුව දිනේෂ්, ධම්මික මුණගැසී රනිල් ඔහු හමුවිමට සූදානමින් සිටින බවත්, සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස දැනුම් දී සිටීමටත් පියවර ගත්තේය. දැඩි පෙරැත්ත කිරීමකින් පසු අවසානයේදී ඊට එකඟතාව පළකිරීමට ධම්මික කටයුතු කළේය.
ධම්මික සියල්ල ජනපතිට කියයි!
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද ධම්මික පියවර ගත්තේය. තමන්ට රනිල් හමුවන ලෙස බලපෑම් කළ සහ පණිවුඩ රැගෙන ආ සියලු පුද්ගලයන් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද ධම්මික කටයුතු කළේය. පසුව ජනාධිපතිවරයාද ධම්මිකට රනිල් සමග සාකච්ඡා කිරීම සඳහා එකඟතාව ලබාදුන් අයුරු දැකගත හැකි විය.
කතාබහ සාමාන්‍ය විදිහට!
ඒ අනුව පැවැති රනිල්-ධම්මික සාකච්ඡාවට ඒ දෙදෙනාට අමතරව දිනේෂ් වීරක්කොඩිද එක්ව සිටියේය. ජනාධිපතිවරයා සමග කුමන මතගැටුම් තිබුණද රනිල් ඒ කිසිවක් සාකච්ඡාවේදී එළියට දැමීමට කටයුතු කළේ නැත. එමෙන්ම ජනාධිපතිවරයා සමග ගැටුමක් පවතින බවක් පෙන්නුම් කළේද නැත. ඒ වෙනුවට ධම්මිකගේ ආර්ථිකය ගොඩනගන සැලසුම් සහ තමන්ගේ ආර්ථිකය ගොඩනගන සැලසුම් පිළිබඳ ධම්මික සමග සාකච්ඡා කිරීමට රනිල් පියවර ගත්තේය.
දිව්රුම සුබ නැකතින්!
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා හා ධම්මික අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී රනිල් සමග පැවැති සාකච්ඡාවේ සියලු කරුණු ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට ධම්මික කටයුතු කළේය. එමෙන්ම ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත අමාත්‍යාංශ පිළිබඳවද, එහි ආයතන පිළිබඳවද, ඇමැතිකමේ දිවුරුම් දීමෙන් පසුව සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. එමෙන්ම දිවුරුම් දීම සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහක් සිදුව තිබේ. ඒ අනුව දැනටමත් කිහිප දෙනකු විසින් ධම්මිකගේ පත්වීමට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇති බැවින් ලබන අඟහරුවාදා (21) දිනයේදීම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට තීන්දු විය. එමෙන්ම එදින හෝ බ්‍රහස්පතින්දා (23) දිනයේ සුබ නැකතින් අමාත්‍ය ධුරයේ දිවරුම් දීමටද ධම්මික මේ වන විට සියලු කටයුතු සැලසුම් කර අවසානය.