• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

මහින්දගේ ගිණුමෙන් ‌උදිත් කෝටි 3ක් ඇද්ද හැටි හෙළිවෙයි! ‌දොස්තර හිලාලි එංගලන්තයේ ඉඳන් ඇවිත් මහින්දට දීපු ඉන්ජෙක්ෂන් එක! චන්ද්‍රිකාගේ පවුලම යළි එක්වුණේ දේශපාලන ගේමකටද? සජිත් ගොවියන්ට පොරොන්දුවක් දෙයි! (රාජ්‍ය රහස්)

January 30, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 19 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

උතුරේ සම්බන්ධන්ලා කැලඹෙයි! තරීක්ගේ මුහුණටම කෑ ගහයි!

ඉන්දියාව සල්ලි දීපු හේතුව එළියට!

රාජාසන කතාවෙන් උතුර කැළඹෙයි!

ලොකුබණ්ඩාරට දුන් ඩියුටි ෆ්‍රී වාහනයට මොනවා වෙයිද?

එක්සත් රාජධානියේ දකුණු ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා පසුගිය සතියේ දින තුනක සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය. මාධ්‍ය මගින් එළියට ආවේ මෙම සංචාරය අතරතුරදී තරික් අහමඩ් ජනාධිපතිවරයා මුණගැසී පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් පමණි. නමුත් මේ තෙදින සංචාරය අතරතුරදී තරික් අහමඩ් මහතා ජනාධිපතිවරයා පමණක් නොව, අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එපමණක් නොව ත්‍රිකුණාමලයේ සහ යාපනයේ සංචාරය කරමින් දෙමළ පක්ෂ නායකයන්ද මුණගැසී ඔවුන් සමගද අදහස් හුවමාරු කරගැනීමට තරික් අහමඩ් පියවර ගත්තේය.

බ්‍රිතාන්‍යයම කැළඹූ ප්‍රවෘත්ති නිවේදනය!

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ හමුවෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය මගින් ඉතා ධනාත්මක නිවේදනයක් නිකුත්වූ අතර එහි සඳහන් වූයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව තරීක් අහමඩ් සාමිවරයා පැවැසූ බවකි. තවදුරටත් එය ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟාවිය හැකි ක්‍රමවේදයක් හරහා ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කරගත හැකි වනු ඇති බව ඒ මහතා පෙන්වා දුන් බවද එම නිවේදනයේ සඳහන්ව තිබිණි. ඒ අනුව මෙම නිවේදනයට මෙරට මාධ්‍ය මගින් විශේෂ ප්‍රචාරයක් ලබාදෙන ආකාරයක්ද දැකගත හැකි විය.

උතුරේ සම්බන්ධන්ලා කැලඹෙයි! තරීක්ගේ මුහුණටම කෑ ගහයි!

කෙසේ වෙතත් දකුණේ මේ ප්‍රවෘත්තියට වැඩි අවධානයක් යොමු නොවුණත් උතුරේ නම් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබිණි. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවේ නිජබිම වශයෙන් සැලකෙන මහා බි්‍රතාන්‍යයේ අමාත්‍යවරයකු ලංකාවට පැමිණ මානව හිමිකම් සම්බන්ධයෙන් සහ සංහිඳියාව සම්බන්ධයෙන් ආණ්ඩුවට හොඳ චරිත සහතිකයක් ලබාදීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය සිටියේ මහත් කැලඹීමකට පත්වය. මේ කැලඹීම එළියට පැන්නේ තරික් අහමඩ් සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡාවේදීය. ඊට සම්බන්ධන් සහ සුමන්තිරන් සහභාගි වී සිටි අතර සාකච්ඡාවේදී සම්බන්ධන් සිය දැඩි කෝපය සහ අප්‍රසාදය තරික් අහමඩ්ට කෙළින්ම පළකර සිටීමට පියවර ගත් බවක් දැකගන්නට ලැබිණ. එහිදී සම්බන්ධන් කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් තරික් අහමඩ් විසින් ගුණ වර්ණනා කර ඇති බවත්, එසේ කීමට කිසිදු යුතුකමක් බි්‍රතාන්‍යයට නැති බවත්ය.

තරීක් නිකුත් කළ ට්විටර් පණිවුඩය!

සම්බන්ධන්ගේ මේ ප්‍රතිචාරයෙන් තරික් අහමඩ් කිසියම් පුදුමයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව තරික් කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එය වැරැදි ආකාරයට අර්ථකථනය කොට ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් තමන්ට ලන්ඩනයෙන් පවා පණිවිඩයක් ලැබී තිබුණු බව කී තරික්, තව සුලු මොහොතකින් ඒ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කරමින් තමන් නිවේදනයක් නිකුත් කරන බවද සම්බන්ධන්ට කියා සිටියේය. කෙසේවෙතත් එම සාකච්ඡාවෙන් පසු තරික්ව මුණගැසුණු සුමන්තිරන් සම්බන්ධන්ගේ කෝපාවිශ්ඨ හැසිරීම සම්බන්ධයෙන් තරික්ට පෞද්ගලිකවම කනගාටුව පළකිරීමට කටයුතු කළේය. අදාළ ප්‍රකාශය පිළිබඳ සම්බන්ධන් තුළ තිබූ කෝපය සහ සම්බන්ධන්ගේ වයස මුල් කරගෙන එවැන්නක් සිදුවූ බවද සුමන්තිරන් පැහැදිලි කර දුන්නේය.

කෙසේ වෙතත් තරික් කී ආකාරයෙන්ම විනාඩි කිහිපයක් ඇතුළත සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් මානව හිමිකම් සහ සංහිඳියාව සම්බන්ධ ගැටලුවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සමග ශ්‍රී ලංකාව යහපත් සබඳතාවක් පවත්වාගත යුතු බවත්, එහි නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතු බවත් සටහන් කිරීමට පියවර ගත්තේය. ජිනීවා කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද තරික්ගේ ට්විටර් පණිවුඩයේ සටහන්ව තිබිණි.

මහකොමසාරිස් කාර්යාලයෙනුත් නිවේදනයක්!

කෙසේවෙතත් ශ්‍රී ලංකා සංචාරය නිමවා බි්‍රතාන්‍යයට යෑමෙන් පසුව වුවද තරික්ගේ මෙම ප්‍රශ්නය නිමාවී තිබුණේ නැත. ඒ අනුව බි්‍රතාන්‍ය ආණ්ඩුවද මේ සම්බන්ධයෙන් තරික්ගෙන් කරුණු විමසා සීටීමට පියවර ගත්තේය. එය කොතරම් දුරදිග ගියාද කියනවා නම් අවසානයේදී තරික්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙරට පිහිටි බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් නිල නිවේදනයක් නිකුත් කරන තරමට එම අර්බුදය ඔඩුදුවා ඇති ආකාරයක් දැකගත හැකි විය. බි්‍රතාන්‍ය විදේශ අමාත්‍යාංශය මගින් කළ දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එම නිවේදනය නිකුත් කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් ප්‍රශ්නය එයි!

නමුත් එතැනින්ද එම ප්‍රශ්නය නිමාවූයේ නැත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංහිඳියාව සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ ස්ථාවරය වහාම පැහැදිලි කරන ලෙස බොහෝ පාර්ශ්වයන්ගෙන් එරට ආණ්ඩුවට බලපෑම් එල්ල වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ එළැඹෙන මාර්තු මාසයේදී ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාව සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය රජය ගැනීමට සූදානමින් සිටින තීන්දු තීරණ පිළිබඳ නිල ප්‍රකාශයක් එරට පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමය. එය සිදුකොට තිබුණේ බි්‍රතාන්‍යයේ සිටින විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ අමාත්‍ය ඇමන්ඩා මිලින්ග් මන්ත්‍රීවරියය.

සම්බාධක පනවන සූදානම හෙළිකරයි!

ඇය එහිදී පවසා තිබුණේ එළැඹෙන මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස්වලට එරෙහිව සම්බාධක පැනවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි්‍රතාන්‍ය රජය බලාපොරොත්තුවෙන් සිටින බවකි. එම සම්බාධක පිළිබඳ දැන් තියා කරුණු හෙළි නොකරන බවත්, එසේ හෙළිකළහොත් ඊට බලපෑම් එල්ලවිය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සමීපව ගනුදෙනු කිරීමට බි්‍රතාන්‍යය සූදානමින් සිටින බවද ඇය සඳහන් කර සිටියාය.

ලංකාවට අහිතකර තත්ත්වයක්!

ඒ අනුව ඇමන්ඩා මිලින්ග් මන්ත්‍රීවරියගේ ප්‍රකාශය හරහා බරපතළ කාරණාවක් පළමු වරට එළියට ආවේය. ඒ, ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමේ සූදානමක් පවතින බවය. ඒ හරහා ලබන මාර්තු මාසයේදී ජිනීවාවල පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩල රැස්වීම ලංකාවට ලේසි නොවනු ඇති බව ඉතා පැහැදිලිය. මීට අමතරව යම් හෙයකින් බි්‍රතාන්‍යය ලංකාවට එරෙහිව එවැනි දැඩි තීන්දුවක් ගනු ලැබුවහොත් ඒ අනුව යමින් සෙසු යුරෝපා රටවල්ද ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දුවලට යාම නොවැළැක්විය හැකි වනු ඇත. එසේ වුවහොත් ලංකාවේ ආයෝජනවලට, සංචාරක කර්මාන්තයට සහ ගුවන් ගමන් ක්ෂේත්‍රයට බරපතළ අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ඉන්දියාව උදව් කරපු හේතුව එළියට!

මෙම මානව හිමිකම් අර්බුදය මැද මේ වන විට ආර්ථික අතින්ද රට පවතින්නේ බරපතළ අර්බුදයකට මැදිවය. විශේෂයෙන්ම ඩොලර් හිඟය හේතුකොට ගෙන මේ වන විට ආණ්ඩුව හැකි සෑම තැනකින්ම ණය පහසුකම් ලබාගැනීමේ මාර්ගයකට ප්‍රවේශ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් ඉල්ලීම් කිහිපයක්ම සිදුකර තිබූ අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. මෙහිදී ස්වැප් පහසුකම යටතේ ඩොලර් මිලියන 500ක මුදලක් ලබාදීමට මීට සති දෙකකට ඉහතදී ඉන්දියාව එකඟ වී තිබූ අතර තවත් ඩොලර් මිලියන 400ක මුදලක් ලබාදීමටද එකඟවී තිබිණි. මීට අමතරව ආහාර සහ ඉන්ධන ලබාගැනීම සඳහා තවත් ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමටද ඉන්දියාව එකඟතාව පළකොට තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාව මේ ආකාරයෙන් ලංකාවට මුදල් අතින් නිර්ලෝභීව උදව්පදව් කරද්දී ඉන්දියාවද පෙරළා ලංකාවෙන් කිසියම් දෙයක් බලාපොරොත්තු වීම නොවැළැක්විය හැකිය. මන්ද ජාත්‍යන්තරයේ ඕනෑම රටක් තවත් රටකට උදව් උපකාර කරන්නේ කිසියම් දෙයක් පෙරළා බලාපොරොත්තුවෙන්ය. ඒ අනුව ඉන්දියාවද ලංකාවට උදව් පදව් කිරීමේදී ලංකාවෙන්ද අරමුණු කිහිපයක් ඉටුකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී. ඉන් පළමුවැන්න වී ඇත්තේ උතුරු නැගෙනහිර වාසය කරන දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමය. ඉන්දියාව ආණ්ඩුවට මේ ආකාරයන් මුල්‍ය උපකාර කළද, ලංකාවේ දෙමළ ජනතාව තරහ කරගත නොහැකි බැවින් ඔවුන් සෑම විටම ආණ්ඩුව ඉදිරියට දැම්මේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමය. පසුගිය මාස කිහිපය පුරා ඉන්දියාව ඒ පිළිබඳ ප්‍රබල මැදිහත් වීමක් කරමින් උතුරු නැගෙනහිර පමණක් නොව වතුකරයේ සහ දකුණේ සිටි දෙමළ පක්ෂ නායකයන් සමගද සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවලදී අවසන් එකඟතා ගණනාවක් ඇතිකර ගැනීමට දෙමළ සන්ධානය එහිදී දැඩිව පෙන්වා දී තිබුණේ 13 වැනි ව්‍යවස්ථාව ඉක්මවා ගිය බලය බෙදීමක් උතුරු නැගෙනහිරට අවශ්‍ය යැයි කියාය. එසේ නොමැති නම් සාකච්ඡා සම්බන්ධයෙන් මෝදිට භාරදීම සඳහා සකස් කරන ලිපියට අස්සන් තැබිය නොහැකි බවද දෙමළ සන්ධානය, මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ට දැනුම්දී තිබිණි. ඒ අනුව අදාළ ලිපියට 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් අවශ්‍ය බවට යෝජනාවක්ද ඊට ඇතුළත් කෙරිණි. සම්බන්ධන් එම ලිපියට අස්සන් තැබූයේ එම යෝජනාව ඊට ඇතුළත් කළ පසුවය. ඒ අනුව එම ලිපිය නරේන්ද්‍ර මෝදිට යොමුකිරීමට පවා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබිණි.

ජනාධිපතිවරයාගෙන් කටින් ගන්න හිටපු දේ!

එළියේ සිටින සියලු දෙනාට දකින්නට ලැබුණේ මෙවැනි සිදුවීම් පෙළක් වුවද මෙම සිදුවීමේ යටි පෙළ ඊට තරමක් වෙනස් විය. මන්ද යත් මෙම සිදුවීම් දාමය හරහා ඉන්දියාවට සහ දෙමළ ජාතික සන්ධානයට අවශ්‍යව තිබුණේ පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාවේදී බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සෑහීමකට පත්වන ප්‍රකාශයක් ජනාධිපතිවරයා ලවා ප්‍රකාශ කරවාගැනීමටය. අදාළ සාකච්ඡාවට මැදිහත් වූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් පවා දෙමළ පක්ෂවලට සහතිකයක් දී තිබුණේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදී දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතා සාධනීය ප්‍රතිචාරයක් ඉදිරිපත් වනු ඇතැයි කියයා. ඊට යම් උත්තේජනයක් දක්වමින් ඉන්දියාව ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමද මුදාහැරීයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකිරීමට පැය කිහිපයක් තබාය. රාජ්‍ය බැංකු සිරවී තිබුණු ගෙවීම් රැසක්ම සිදුකිරීමට හැකි වූයේ ඉන්දියාවෙන් ලැබුණු මෙම පහසුකම හරහාය.

කතාවේ මොනවත් නෑ! සම්බන්ධන් බැසිල්ට කියපු කතාව!

කෙසේ වෙතත් ඉන්දියාව සහ දෙමළ පක්ෂ නොඉවසිල්ලෙන් බලා සිටියද ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදී බලය බෙදීම හෝ සංහිඳියාව පැත්තෙන් එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් වූයේ නැත. ඒ හරහා බරපතළ අර්බුදයකට මුහුණ දුන්නේ දෙමළ ජාතික සන්ධානයය. ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් ඔවුන් කෙතරම් සෑහීමකට පත් නොවුණාද කියනවා නම් එදිනම පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී ඊට ප්‍රතිචාර දැක්වීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේය. එහි ක්ෂණික ප්‍රතිචාරය වූයේ රාජාසන කතාව අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තු ලොබියේදී සම්බන්ධන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සිදුවූ වචන හුවමාරුවය. මෙහිදී සම්බන්ධන් තරමක උස් ස්වරයෙන් බැසිල්ගෙන් විමසා සිටියේ ‘කෝ සංහිඳියාව? කෝ බලය බෙදීම?’ යැයි කියාය. නමුත් ඊට කිසිදු පිළිතුරක් නොදුන් බැසිල් සිනාසෙමින් එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරයක් දැකගන්න ලැබිණි. දෙවැනි ප්‍රතිචාරය වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති තේ පැන් සංග්‍රහය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කිරීමය.

තුන් කොන් සටනක් ඇරඹෙන ලකුණු!

එම තත්ත්වයත් සමග උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතරද ඉන්දියාව සමග කිසියම් මතගැටුමක් හටගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණි. ඔවුන්ගේ චෝදනාව වූයේ රටට ලෝකයට පේන්නට සාකච්ඡා පවත්වා ලිපිවලට අස්සන් ගත්තද ආණ්ඩුව පාර්ශ්වයෙන් බලය බෙදීම හා සංහිඳියාව සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳ ඉන්දියාව වගකීම භාරගත යුතු යැයි කියාය. ඒ අනුව මේ වන විට උතුරේ ප්‍රශ්නය මුල් කරගෙන දෙමළ ජාතික සන්ධානය, ආණ්ඩුව සහ ඉන්දියාව අතර තුන්කොන් අර්බුදයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන.

මහින්ද ගැන එක සතියට කතා දෙකක්!

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගෙන මහත් ආන්දෝලනාත්මක පුවත් දෙකක් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. ඉන් එක් පුවතක් වූයේ මහින්ද ළඟම සිටි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උදිත් ලොකුබණ්ඩාර විසින් මහින්දගේ පෞද්ගලික බැංකු ගිණුමක තිබූ විශාල මුදලක් අවභාවිත කොට ඇති බවට වූ පුවතය. දෙවැන්න වූයේ මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කොට තිබීමය. එහි සඳහන්ව තිබුණේ මහින්දගේ අසනීප තත්ත්වයක් හේතු කොටගෙන හදිසියේම රෝහල්ගත කර ඇති බවත්, ඔහු හදිසි ශල්‍යකර්මයකට බඳුන්කොට ඇති බවත්ය. මේ පුවත් දෙක සම්බන්ධයෙන් විවිධ කටකතා සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය මගින් පළකොට තිබුණද එම සිදුවීම් දෙකේ සත්‍ය කතාව ඒ කිසිදු මධ්‍යයක පළව නොතිබීම විශේෂත්වයකි. එහෙත් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය හරහා පළමු වතාවට මෙම සිදුවීම් දෙකේ තිරය පිටුපස සිදුවූ ඇත්ත කතාව රටට හෙළිකිරීමට අප සූදානම්ය.

පරණ එකවුන්ට් එකක් හිටිහැටියේ මතක් වෙලා!

මෙහිදී පළමුවෙන්ම මහින්දගේ පෞද්ගලික ගිණුමේ තිබූ මුදල් අතුරුදන් වීම පසුපස ඇත්තේද අපූරු කතාවකි. ලංකා බැංකුවේ පැවැති එම ගිණුමට මහින්ද මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරද්දී ලැබුණු වැටුපත්, විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් කටයුතු කරද්දී ලැබුණු විශ්‍රාම වැටුපත්, වත්මන් වැටුපත් වසර ගණනාවක් පුරා බැරවී තිබිණ. පසුගිය කාලය පුරාම මහින්දට මෙම ගිණුම සම්බන්ධයෙන් එතරම් මතකයක් නොතිබුණද, හිටි හැටියේම එම ගිණුම සම්බන්ධයෙන් මතකයට පැමිණි පසු මහින්ද තමන් සමීපයේ සිටි ඥාති පුත්‍රයකුට දැනුම්දී තිබුණේ එම ගිණුමේ සැලකිය යුතු මුදලක් ඇති බවත්, එම මුදල් ගෙන යම් යම් අවශ්‍යතා ඇති පුද්ගලයන් හට බෙදාදෙන ලෙසත්ය. තමන් එම ගිණුමෙන් කිසිදු මුදලක් වසර ගණනාවක් ලබාගෙන නොමැති බවද මහින්ද එහිදී සිය ඥාති පුත්‍රයාට දැනුම්දී සිටියේය.

කියපු තරම් සල්ලියක් තිබ්බෙ නෑලු!

මහින්දගේ එම දැනුම්දීමට අනුව එම ඥාති පුත්‍රයාද පාර්ලිමේන්තුවෙන් මහින්දගේ ගිණුම පිළිබඳ විමසා සිටිද්දී බැංකුවෙන් දැනුම් දී තිබුණේ ඉතා සුළු මුදලක් පමණක් එම ගිණුමේ ඇතැයි කියාය. ඒ අනුව මහින්ද කී ආකාරයට මන්ත්‍රී වැටුප, ජනපති, අගමැති විශ්‍රාම වැටුප, වත්මන් වැටුප හෝ එම ගිණුමට බැරවී නැති බවක් එම ඥාති පුත්‍රයාට දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම මහින්දට ඒ බව දැනුම් දුන් එම ඥාති පුත්‍රයා අදාළ ගිණුමේ සුළු මුදලක් පමණක් පවතින බවත් මහින්දට දැනුම්දී සිටියේය.

මහින්දගෙන් රත්වත්තේට ඇමතුමක්! දීපු උත්තරෙන් යකා නැගලා!

මෙම පිළිතුරත් සමග මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘නෑ කීයටවත් ඒක වෙන්න බෑ. මම ඔය එකවුන්ට් එකෙන් අවුරුදු ගාණකින් සත පහක් අරගෙන නෑ. පහුගිය කාලෙ මට හම්බවෙච්ච පඩියයි පෙන්ෂන් එකයි ඔය එකවුන්ට් එකට තමයි ගියේ. ඒක කීයටවත් වෙන්න බෑ…’ යැයි කියාය. නමුත් එය එසේ නොවන බව මෙම ඥාති පුත්‍රයා පැහැදිලි කිරීමෙන් පසු මහින්ද කළේ වහාම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේට දුරකතන ඇමතුමක් ගැනීමය. එසේ ඇමතුමක් ගත් මහින්ද සිය ඉතිරිකිරීමේ ගිණුම පිළිබඳ ඔහුගෙන් විමසා බැලීමට පියවර ගත්තේය. කාංචනද වහාම තොරතුරු විමසා බලා මහින්දට නැවත ඇමතුමක් ගෙන පවසා සිටියේ එම ගිණුමෙහි මහින්ද කියන තරම් විශාල මුදලක් නැතැයි කියාය. කාංචනගේ මේ පිළිතුරෙන් මහින්දට යකා නැග්ගේය. මන්ද යත් වසර ගණනාවක් තිස්සේ තමන්ට ලැබුණු වැටුප එකතු වූ ගිණුමක ලොකු මුදලක් නොමැති බව කීම මෙම කෝපයට හේතුවිය. ඒ අනුව කාංචනටද බැණවැදුනු මහින්ද කියා සිටියේ බැංකුවට කොතැනක හෝ වැරැදී ඇති බවත්, තමන් එම ගිණුම ලංකා බැංකුවෙන් ඉවත් කොට මහජන බැංකුවේ විවෘත කිරීමට කටයුතු කරන බවත්ය. මහින්ද කෝපයට පත්ව ඇති බව වටහා ගත් කාංචන කියා සිටියේ කලබල නොවන ලෙසත්, ගිණුමෙහි තිබූ මුදල්වලට සිදුව ඇති දේ තමන් සොයා බලා දැනුම්දීමට කටයුතු කරන බවත්ය.

නයිට් ක්ලබ්වලට, ඩියුටි ෆ්‍රී විස්කිවලට වියදම් කරලා!

ඒ අනුව කාංචන කළේ වැටුප පැවැති බැංකුවේ කළමනාකරුට කතා කොට මහින්දගේ ගිණුමේ සවිස්තර බැංකු වාර්තාවක් ලබාගැනීමය. එසේ ලබාගැනීමෙන් පසු මහින්දගේ ගිණුමේ රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් තිබී ඇති නමුත් කාලයක් තිස්සේ එම ගිණුමෙන් වරින් වර සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව කාංචනට දැකගත හැකි විය. ඇතැම් මුදල් කටුනායක ගුවන් තොටුපළේ තීරුබදු රහිත වෙළෙඳසැල්වලින් මත්පැන් ලබාගැනීම සඳහා වැයකොට ඇති බවත්, ඇතැම් අවස්ථාවල සිනමන් ලේක් හෝටලයේ පවතින රාත්‍රී සමාජ ශාලාවටත්, ෆ්ලෙමින්ගෝ රාත්‍රී සමාජ ශාලාවටත් වියදම් කොට ඇති බවත් කාංචනට දැකගත හැකි විය. ‘ඩෙබිට්’ කාඩ්පතක් (හරපතක්) උපයෝගී කොට ගෙන මෙම මුදල් වියදම් කොට ඇති ආකාරයද කාංචනට දැකගත හැකි විය. ඒ අනුව වහාම මහින්දට කතා කළ කාංචන මේ ආකාරයෙන් මහින්දගේ ගිණුමෙන් තීරුබදු රහිත මත්පැන් ලබාගැනීමටත්, රාත්‍රී සමාජශාලාවල වියදම් පියවීමටත්, විවිධ වියදම් සඳහාත් භාවිත කොට ඇති බව දැනුම් දීමත් සමග මහින්දට තවත් යකා නැග්ගේය.

මිලියන 44න් මිලියන 33ක්ම ඇදලා!

‘පිස්සුද අයිසේ… මම කවද්ද ඩියුටි ෆ්‍රී ගිහිල්ලා අරක්කු ගත්තේ? මම නයිට් ක්ලබ් ගානේ ගිහින් තියෙනවද? මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා. වහාම මේක ගැන හොයලා මට කියන්න…’ යනුවෙන් මහින්ද කෝපයෙන් යුතුව පවසද්දී කාංචන කියා සිටියේ ඩෙබිට් කාඩ්පතක් මාර්ගයෙන් කිසිවකු විසින් මෙම වියදම් සිදුකර ඇති බවකි. එමෙන්ම එම ගිණුමේ රුපියල් මිලියන 44ක මුදලක් (කෝටි හතරහමාරකට ආසන්න) තිබී ඇති බව කී කාංචන, ඉන් මිලියන 33ක මුදලක් විවිධ අවස්ථාවලදී ඩෙබිට් කාඩ්පත මගින් ලබාගෙන ඇති බවත් කියා සිටියේය. එහිදී මහින්ද කියා සිටියේ තමන් කෙදිනකවත් එම ගිණුමට ඩෙබිට් කාඩ්පතක් ලබාගෙන නොතිබූ බවකි.

ගේම ගැහුවේ ලොකුබණ්ඩාර බව හෙළිවෙයි!

ඒ අනුව වහාම අරලියගහ මන්දිරයෙන් මහින්දගේ ගිණුමෙන් මුදල් වියදම් කළ පුද්ගලයා පිළිබඳ සොයාබැලීමේ මෙහෙයුමක් දියත් වන ආකාරයක් දැකගත හැකි විය. පැය භාගයකට ආසන්න මෙහෙයුමකට පසු මහින්දගේ ගිණුමේ තිබූ මුදල්වලට සිදුව ඇති දේ සොයාගැනීමට පිරිසට හැකි විය. ඒ අනුව මහින්දගේ ගිණුමට ලැබෙන චෙක්පත් භාරව සිටියේ මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන උදිත් ලොකුබණ්ඩාර බවත්, මීට කලකට ඉහතදී ඔහු මහින්දගෙන් අස්සනක් ලබාගෙන ඒ හරහා බැංකුවෙන් ඩෙබිට් කාඩ්පතක් ලබාගෙන ඇති බවත් පිරිසට අනාවරණ කරගත හැකි විය. එමෙන්ම උදිත් මෙම ඩෙබිට් කාඩ්පතින් කර ඇති වියදම් සහ එසේ කර ඇති ආයතන ලැයිස්තුව දෙස බැලූ විට මහින්ද පුදුමයටත්, කෝපයටත් පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.

කව්ද මේ ලොකුබණ්ඩාර!

උදිත් ලොකුබණ්ඩාර යනු හිටපු කතානායක මෙන්ම එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වූ විජමු ලොකුබණ්ඩාරගේ පුත්‍රයාය. උදිත් මහින්ද ළඟ 2010න් පසු කාලයේ සිට සිටියත් මහින්ද උදිත්ව තම සමීපයට ගත්තේ 2015න් පසුවය. එදා සිට මහින්දගේ සියලු පෞද්ගලික කටයුතු ඔහු සමීපයේ සිට සිදුකරනු ලැබුවේ උදිත්ය. කෙසේ වෙතත් මාධ්‍ය සමග සිදුවූ යම් මතගැටුමකින් පසු වරෙක මහින්ද මාධ්‍ය ඉදිරියේම උදිත්ට ‘මෝඩ යකා’ යැයි කියමින් බැණවැදීම නිසා එවක ඔහු සමාජ මාධ්‍ය ඉදිරියේ විශාල අපහසුතාවකට පත්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය. එම සිද්ධියෙන් පසු මහින්ද උදිත්ව තරමක් ඈත් කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් මෑතකදී සිය පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන් යළිත් වතාවක් උදිත්ව තම සමීපයට ගැනීමට මහින්ද කටයුතු කර තිබුණද ඔහු පිළිබඳ විවිධ පැමිණිලි රැසක් මහින්දට ලැබී ඇති ආකාරයක්ද දැකගත හැකි විය.

ලක්ෂ 25 උදිත් අරන් ඇවිත් බාර දෙයි!

කෙසේ වෙතත් මහින්දගේ ගිණුමකින් කෝටි ගණනක මුදල් නැතිවී ඇති බවට පුවත සමාජ මාධ්‍ය ජාලවලින් හෙළිවීමත් සමග උදිත්ද කලබලයට පත්විය. ඒ අනුව වහාම මහින්දව හමුවීමට පැමිණි උදිත් තමන් අතින් වැරැද්දක් සිදුවූ බව පිළිගෙන, ගිණුමෙන් ලබාගත් මුදල්වලින් ලක්ෂ 25ක් යළි බාරදීමට පියවර ගත්තේය. එමෙන්ම ඉතිරි මුදල්ද ලබාදීමට කටයුතු කරන බව කී උදිත් තමන්ට හිරිහැරයක් නොකරන ලෙසද මහින්දගෙන් ඉල්ලා සිටියේය. උදිත් එවැනි ඉල්ලීමක් කළද මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන යෝෂිත රාජපක්ෂ වහාම උදිත්ව මහින්දගේ පාර්ලිමේන්තු ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ සමගම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගත් ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව නාමල්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් එම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්වී නැතැයි කියාය.

එතකොට ඩියුටි ‌ෆ්‍රී වාහනයට මොකද වෙන්නේ!

මීට අමතරව උදිත් සම්බන්ධයෙන් මේ වන විට රාජපක්ෂ පවුල ඇතුළේ තවත් බරපතළ ගැටලුවක් මතුව තිබේ. ඒ, රාජපක්ෂවරුන්ට හිමිව තිබූ තීරුබදු රහිත වාහන බලපත්‍රයකින් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් උදිත්ගේ භාවිතයට ලබාදී තිබීමය. වසර ගණනාවක් තිස්සේම උදිත් භාවිත කර තිබුණේ මෙම සුඛෝපභෝගී රථයය. ඒ අනුව මෙම රථය යළි ලබාගන්නා ආකාරය පිළිබඳවද රාජපක්ෂ පවුල ඇතුළේ කිසියම් සාකච්ඡාවක් සිදුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මහින්ද ගැන ගිය දෙවැනි කතාව!

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය අවසන් වී මොහොතක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවූ පුවතකින් කියැවුණේ මහින්ද හදිසියේම අසනීප වී රෝහල්ගත කළා යැයි කියාය. මහින්දට හදිසි ශල්‍යකර්මයක් සිදුකොට ඇතැයි කී සමාජ මාධ්‍ය එක් ස්ථානයක කියා තිබුණේ මහින්දගේ මුඛයේ ශල්‍යකර්මයක් සිදුකොට ඇතැයි කියාය. තවත් තැනක කියැවුණේ කොන්දේ ශල්‍යකර්මයක් සිදුකොට ඇතැයි කියාය. ඒ අනුව ඇත්තටම මහින්දට සිදුවූයේ කුමක්ද? සමාජ මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට මහින්දට ශල්‍යකර්මයක් සිදුකළාද? කළා නම් ඒ කොහේද? මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් ඊට සම්බන්ධ පසුබිම් කතාවද රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

ගිය පාර ප්‍රයිවට් ජෙට් එකකින් ආ දොස්තර!

මහින්දට කාලයක් තිස්සේම කොන්දේ යම් වේදනාවක් තිබූ බව සියලු දෙනාම දන්නා කාරණයකි. ඊට මහින්ද කාලයක් තිස්සේ විවිධ ප්‍රතිකාරද ලබාගත් බව නොරහසකි. වරෙක බි්‍රතාන්‍යයේ සිටින ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වූ හිලාලි නූර්දින් මහතා මීට වසරකට පමණ පෙර විශේෂ යානයකින් ලංකාවට පැමිණ මහින්දට ප්‍රතිකාර කළ බවද වරෙක මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී මහින්දට විශේෂ එන්නතක් ලබාදුන් බවත්, එම එන්නත හේතුවෙන් මහින්දගේ පිටකොන්දේ ආබාධය සුවවූ බවත් එකල මාධ්‍ය වාර්තා කොට තිබිණි.

හිලාලි මාස 3කට කලින් ඇවිත් දුන් උපදෙස!

කෙසේ වෙතත් පසුගිය කාලයේදීද මහින්දට යළිත් වතාවක් මේ පිටකොන්දේ ආබාධය වේදනා දුන් බවක් දැකගන්නට ලැබිණි. ඒ අනුව නැවත වතාවක් මහින්ද වෛද්‍ය හිලාලිට කතාකොට ඒ පිළිබඳ දැනුම්දී ප්‍රතිකාර අවශ්‍ය බව සඳහන් කර සිටියේය. වෛද්‍ය හිලාලිව ලංකාවට ගෙන්වා ගැනීම දුෂ්කර වුවත්, මීට මාස 3කට ඉහතදී කෙසේ හෝ ලංකාවට පැමිණ මහින්දව නිරීක්ෂණය කළ වෛද්‍ය හිලාලි උපදෙස් දුන්නේ යළිත් වතාවක් එන්නතක් ලබාදිය යුතු බවත්, ඒ සඳහා මහින්දගේ සිරුරේ බර අඩු කළ යුතු බවත්ය. හිලාලිගේ මෙම උපදෙසට අනුව පසුගිය පෝෂණවේදය සම්බන්ධ වෛද්‍යවරුන් තිදෙනකු මාස තුනක් තිස්සේ මහින්ද සමීපයේ සිට උපදෙස් දෙමින් සැලකිය යුතු ප්‍රමාණයකින් ඔහුගේ බර අඩුකිරීමට පියවර ගෙන තිබිණි. පසුව ඒ සියලු තොරතුරු වෛද්‍ය හිලාලිට යැවීමටද මහින්දගේ වෛද්‍ය කණ්ඩායම කටයුතු කර තිබිණි. මෙම තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසු වෛද්‍ය හිලාලි මහින්දට දැනුම්දී සිටියේ එසේ නම් 24 වැනි සඳුදා මහින්දට එම එන්නත ලබාදීමට හැකියාව ඇති බවකි. ඒ සඳහා තමන්ගේ නිර්වින්දන වෛද්‍යවරයා සමග එදින ලංකාවට පැමිණෙන බවද වෛද්‍ය හිලාලි මහින්දට දැනුම්දී සිටියේය.

නවලෝකය වටේ මහා ආරක්ෂාවක්!

ඒ අනුව ප්‍රතිකාර සිදුකිරීම සඳහා මහින්ද තෝරාගත්තේ කොළඹ නවලෝක රෝහලය. කලින් කළ දැනුම්දීමකට අනුව සඳුදා සවස මහින්ද නවලෝක රෝහලට ඇතුළත්වීමට පියවර ගත්තේය. වෛද්‍ය හිලාලිද සිය නිර්වින්දන වෛද්‍යවරයා සමග සාමාන්‍ය මගී ගුවන් යානයක එදින දහවල් කාලයේ ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් ප්‍රශ්නය වූයේ සඳුදා සවස් වරුවේ සිට නවලෝක රෝහල ඇතුළත සහ පිටත ප්‍රදේශයේ විශාල ආරක්ෂක භට පිරිසක් යෙදවීමට සිදුව තිබීමය. ඒ අවට මාධ්‍ය ආයතන ගණනාවක් මෙන්ම ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන රැසක්ම පිහිටා තිබීම නිසා සියලු දෙනා උනන්දුවෙන් සොයා බලන්නට වූයේ මේ අයුරින් දැඩි ආරක්ෂක රැකවල් නවලෝක රෝහල වටා යොදවා ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නය. ඒ අනුව සමාජ මාධ්‍ය ජාලවල විවිධ පුවත් මෙන්ම කටකතාද පැතිර යෑමට පටන්ගත් අතර මහින්ද රෝහල්ගත කර ඇති බවත්, ඔහුව ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවත් එම මාධ්‍යවලින් වාර්තා කර තිබිණි.

එන්නත දෙයි! 100%ක් සාර්ථකයි!

ඒ අනුව සැලසුම් කළ පරිදි වෛද්‍ය හිලාලි මහින්දගේ කොන්දට මෙම එන්නත ලබාදීමට පියවර ගත් අතර, එය 100%ක්ම සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව එදිනම රාත්‍රියේ සිය නිර්වින්දන වෛද්‍යවරයා සමග බි්‍රතාන්‍ය බලා යෑමටද හිලාලි පියවර ගත්තේය. මහින්දද නියමිත කාලවේලාව රෝහලේ ගත කිරීමෙන් පසු යළි අරලියගහ මන්දිරය බලා ගියේ ඊට පසු දින යොදාගත් රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට සහභාගි වීම සඳහාය. ඒ අනුව මහින්ද අඟහරුවාදා දින පෙරවරුවේ විදේශීය තානාපති කාර්යාල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමටද පියවර ගත්තේය. එහි ඡායාරූප අගමැති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය වෙත නිකුත් කිරීමටද පියවර ගෙන තිබිණි.

හිලාලිගේ සොයුරිය තියපු සටහන!

මෙම සිදුවීම මෙසේ සිදුවෙද්දී වෛද්‍ය හිලාලි නූර්දීන්ගේ සොහොයුරිය වන කයිරියා කාදර් සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තැබීමටද පියවර ගෙන තිබිණි. එහිදී ඇය සඳහන් කර තිබුණේ අගමැතිවරයාගේ සැත්කම සාර්ථකව අවසන් කිරීමට සිය සහෝදරයා වන මහාචාර්ය හිලාලි නූර්දීන් කටුතු කළ බවත්, තමන් ඒ පිළිබඳ සතුටට සහ ආඩම්බරයට පත්වන බවත්ය. එමෙන්ම අල්ලා දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම සිය සහෝදරයාට ලැබෙන බවද ඇය එහිදී සඳහන් කර තිබිණි.

උඩ යන යට යන චන්ද්‍රිකා!

දේශපාලනයෙන් විශ්‍රාම ගත්තද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වරින් වර දේශපාලනයේ විවිධ පෙරළි සිදුකරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. වරෙක චන්ද්‍රිකා දේශපාලන කරළියේ එළිපිට පෙරළි කළද, තවත් කලෙක කිසිදු හැලහොල්මනක් නැතිව නිහඬව සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. චන්ද්‍රිකා එසේ උඩට එන්නේ කිසියම් දේශපාලන මෙහෙයුමක් දියත් කරන කාල වකවානුවලය. යට යන්නේ දේශපාලන කටයුතුවලින් නිදහස්ව නිසොල්මනේ ගතකරන කාල වකවානුවලදීය. 2010 මහින්දගේ ජයග්‍රහණයෙන් පසු එසේ යට ගිය චන්ද්‍රිකා යළි උඩට ආවේ 2015 මහින්දට එරෙහි මෛත්‍රිපාල කරළියට ගෙන එමින්ය. නමුත් 2015න් පසුව යළිත් වතාවක් චන්ද්‍රිකා යට ගියේ මෛත්‍රිලා දුන් පොරොන්දු රටට ඉටු නොකිරීම හේතුකොට ගෙනය. මෙසේ කාලයක් නිහඬව සිටි චන්ද්‍රිකා හිටි හැටියේම මීට සති දෙකකට ඉහතදී යළි කරළියට පැමිණියේ ආන්දෝලනාත්මක පොත් දෙකක් ප්‍රකාශයට පත්කරමිනි. ඉන් එකක් සිය සැමියා වූ විජය සම්බන්ධ පොතකි. අනෙක ඇය පිළිබඳවම ලියවුණු ‘චන්ද්‍රිකා’ නමැති පොතය. ‘චන්ද්‍රිකා’ නමැති පොත එළිදැක්වීමේදී තවත් ආන්දෝලනාත්මක චරිතයක් කරළියට ගෙන එමින් චන්ද්‍රිකා, හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකට උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබිණි. ඒ අනුව බොහෝ දෙනා කියන්නට වූ කාරණාවක් වූයේ ඊළඟ පොදු අපේක්ෂිකාව බොහෝ දුරට ශිරාණි විය හැකි යැයි කියාය. නමුත් ඒවාට කිසිදු පිළිතුරක් ලබා නොදුන් චන්ද්‍රිකා ඉන් අනතුරුව මහත් ඉහළින් සිය පියාගේ ගුණානුස්මරණයද සිදුකිරීමට පියවර ගත්තාය.

බණ්ඩාරනායක පවුල එක්වෙයි!

මේ සියලු කටයුතු එළිපිට සිදුවද්දී චන්ද්‍රිකාගේ පැත්තෙන් කිසිවකුත් නොදැන සිටි සිදුවීම් කිහිපයක්ද පසුගිය කාලයේදී සිදුවිය. එළිපිට පෙනෙනවාට වඩා බණ්ඩාරනායක පවුල ඇතුළේ තීරණාත්මක වන්නේ මෙවැනි පිටට නොපෙනෙන විවිධ සිදුවීම්ය. එසේ එළිපිට නොපෙනුණු සිදුවීම් දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ චන්ද්‍රිකාගේ දියණිය වූ යශෝධරා කුමරතුංග දීර්ඝ කාලයකට පසු සිය දරුවන් තිදෙනා සමග ලංකාවට පැමිණීමය. එසේ පැමිණි යශෝධරා මාසයකට ආසන්න කාලයක් චන්ද්‍රිකා සමග හොරගොල්ල නිවෙසේ ගත කළ අතර දින කිහිපයක් සිය මව සමග නුවරඑළියේ සංචාරයක නිරත වීමටද පියවර ගෙන තිබිණි. මේ ආකාරයට යශෝධරාගේ නිවාඩු කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ලන්ඩනයේ සිටින විමුක්තිද ලංකාවට පැමිණීම ට පියවර ගත්තේය. ඒ, ඔහුටද ලැබී තිබූ නිවාඩු කාලය උපයෝගී කරගෙනය.

විමුක්ති එනවිට යශෝධරා ගිහින්!

නමුත් විමුක්ති එන විට යශෝධරාගේ නිවාඩුව අවසන්ව තිබූ බැවින් ඇය නැවත ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණි. එසේ පැමිණි විමුක්තිද චන්ද්‍රිකා සමග තවත් මාසයකට ආසන්න කාලයක් හොරගොල්ලේ විවේකීව ගතකිරීමට කටයුතු කර තිබිණි. වෙනදා නම් ලංකාවට පැමිණෙන විමුක්ති හුදෙකලාව සිට යළි යන්ඩනය බලා පිටත්ව ගියද, මෙවර විමුක්තිගේ කාලසටහනේ වෙනසක් දැකගන්නට ලැබිණි. ඒ, මෙවර විමුක්ති ලංකාවේ සිටින සිය පාසල් හිතවතුන් රැසක් මෙන්ම ලන්ඩන් සරසවියේ අධ්‍යාපනය ලබා මෙරට සිටින යහළුවන් රැසක්ම මුණගැසී සතුටු සාමීචියේ යෙදීමට පියවර ගෙන තිබීමය. එසේ කණ්ඩායම් කිහිපයක්ම මෙවර හොරගොල්ලට පැමිණ විමුක්ති සමග කතාබහ කරමින් කල් ගතකළ ආකාරයක් දැකගත හැකි විය. මීට අමතරව විමුක්ති හොරගොල්ල ඉඩමේ පදිංචිව සිටින සේවකයන්ගේ පවුල් සමගද කතාබහ කරමින් ඔවුන් සමගද දීර්ඝ වේලාවක් ගතකිරීමට පියවර ගෙන තිබිණි.

කට්ටිය අහද්දි විමුක්ති දීපු උත්තරේ!

මෙම සාකච්ඡාවලදී සියලු දෙනාම පාහේ විමුක්තිගෙන් එක් ප්‍රශ්නයක් විමසීමට අමතක නොකළහ. ඒ, විමුක්ති දේශපාලනයට පැමිණෙන දිනය සම්බන්ධයෙනි. මෙහිදී ඒ ඒ කණ්ඩායම්වල විමුක්තිද අපූරු උත්තර කිහිපයක් දී ඇති බව ‘රජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී එක් කණ්ඩායමකට විමුක්ති කියා ඇත්තේ තරුණ කාලයේ දේශපාලනයට පැමිණ අවුරුදු 20ක් 30ක් දේශපාලනය කොට ඉහළ තැනකට පැමිණිය යුතු යැයි කියා නියමයක් නොමැති බවය. මවගේ පියා වූ බණ්ඩාරනායකයන් සහ ජේ.ආර්. ද බුද්ධියෙන් පැසුණු අත්දැකීම් සහිතව සිටියදී දේශපාලනයේ ඉහළ තැන්වලට පැමිණි බව ඔවුන්ට කියා සිටි විමුක්ති එසේ සමාජ අවබෝධයක් සහිතව දේශපාලනය කළ යුතු බවද කියා සිටියේය. මේ හරහා තමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ලබාදීමට එහිදී විමුක්ති කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
මීට අමතරව තවත් කණ්ඩායමකට විමුක්ති දී තිබූ පිළිතුරෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ජාතිවාදය, කුලවාදය බරපතළ ලෙස මුල් බැසගෙන ඇති බවත්, එවැනි වටපිටාවක දේශපාලනයට පැමිණ කිසිවක් කළ නොහැකි බවත්ය.

එමෙන්ම තවත් කණ්ඩායමකට විමුක්ති කියා ඇත්තේ වත්මන් දේශපාලනය මෙන්ම දැනට දේශපාලනයේ නියුතු කණ්ඩායම් පිළිබඳවද තමන්ට පැහැදීමක් නොමැති බවත්, මේ අවස්ථාවේ දේශපාලනයට පැමිණෙනවාට වඩා වැදගත් ප්‍රතිපත්ති සහිත හොඳ කණ්ඩායමක් සිටියදී දේශපාලනට පැමිණීම වැදගත් බවත්ය. ඒ අනුව විමුක්තිගේ මෙම පිළිතුර හරහා දැකගන්නට ඇති ප්‍රධානම කාරණාව වන්නේ කොයිම අවස්ථාවකවත් තමන් දේශපාලනයට පැමිණීමේ අදහස ප්‍රතික්ෂේප කර නොමැති වීමය.

චන්ද්‍රිකා යළිත් උඩට මතුවන්නේ මෙවැනි පසුබිම් කාරණා ගණනාවක් අවසානයේදීය. නැතහොත් සිය පවුලේ උදවිය හොරගොල්ලේදීම හමුවීමෙන් පසුවය. ඒ අනුව මෙවර චන්ද්‍රිකා පවුලේ අයත් මුණගැසී, ශිරාණිවත් එළියට රැගෙන කරන්නට යන දේ පිළිබඳ බලා සිටිය යුතුව ඇත.

සජිත් ගොවි ප්‍රතිපත්තිය එළියට දමයි!

හදිසියේම ආණ්ඩුව සිදුකළ රසායනික පොහොර භාවිතය අත්හිටුවීම හේතුවෙන් පසුගිය කන්නයේ වී වගාව පමණක් නොව තේ වගාව, එළවළු, පලතුරු වගාව, මල් වගාවද අනෙකුත් සුළු භෝග වගාවන්ද මේ වන විට ඇත්තේ විශාල පසුබෑමකට ලක්වය. විපක්ෂයේ දේශපාලන පක්ෂත්, ගොවීනුත් එක්ව මේ හේතුවෙන් පසුගිය මාස කිහිපය තිස්සේම ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් පළකරමින් කියා සිටියේ වගාවට අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව ලබාදෙන ලෙසටය. නමුත් මේ වන විට අලුත් කන්නය ආරම්භව ඇතත් තවමත් ඊට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ගොවි ජනතාවට ලබාදී ඇති බවක් දැකගන්නට නැත.

බාරදුන්නේ නලින් බණ්ඩාරට!

මේ තත්ත්වය යටතේ පසුගිය මාස කිහිපය පුරාම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ගොවි ප්‍රශ්නය විසඳාගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරමින් සිටියේය. එහිදී සජිත් අනාගත සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගොවි ප්‍රශ්න නිට්ටාවටම විසඳන ආකාරය පිළිබඳ කිසියම් යෝජනාවලියක්ද සැකසීමට පියවර ගත්තේය. ඒ අනුව එය තවත් ඉදිරියට රැගෙන යෑම සඳහා නලින් බණ්ඩාරට භාර කළ සජිත් එම යෝජනාවලිය මත පිහිටා ඉදිරි ආණ්ඩුවකදී ගොවි ප්‍රශ්නය විසඳන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නලින්ට කියා සිටියේය. ඒ අනුව නලින් ද කළේ කෘෂිකර්මය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් සමග සාකච්ඡා කොට සජිත්ගේ යෝජනාවලිය නිල ලියවිල්ලක් බවට පත්කිරීමය. සමගි ගොවි ජන ප්‍රකාශනය නමින් සෙනසුරාදා දිනයේදී රටට එළිදැක්වීමට නියමිතව ඇත්තේ ගොවීන්ගේ ප්‍රශ්න විසඳන එම ප්‍රායෝගික වැඩපිළිවෙළය.

ඊළඟ ප්‍රශ්නය පැනනැගුණේ මෙම සමගි ගොවිජන ප්‍රකාශනය ජනගත කරන්නේ කුමන ස්ථානයක සිටද යන්න සම්බන්ධයෙනි. එහිදී සජිත්ගේ මතය වූයේ ගොවි ජනතාවට මෙන්ම ගොවි සංස්කෘතියට උරුමකම් කියන ඓතිහාසික ස්ථානයක සිට මෙම කටයුතු සිදුකළ යුතු යැයි කියාය. ඒ අනුව අවසානයේදී පිරිස තීන්දු කළේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසබඩදී මෙම සමගි ගොවිජන ප්‍රකාශනය සජිත්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමටය. ඒ හරහා සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගොවීන් මුහුණපාන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන ආකාරය රටට හෙළිදරව් කිරීමට සජබෙ නායකයන් කටයුතු කරනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

තවත් ඉහළ නිලධාරියෙක් ඉවත් කරන්න සියල්ල ලෑස්තියි!

Next Post

රසායනික ‌පොහොර තහනම ඉවතට! පොහොර සහනාධාරය යළිත්! වගාවට සහතික මිලක්! පරාක්‍රම සමුද්‍රයේදී සජිත් හෙළිකරපු ගොවිජන ප්‍රකාශනය මෙන්න!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.