තමන් සජබය අතහැර ආණ්ඩුවට එක් නොවන බවත්, ඇමැතිකම් ගන්නා බවට යළිත් ප්‍රකාශ නිකුත් නොකරන බවත්, එසේම ඇමැතිකම් නොගන්නා බවත් රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය ඇමැතිකම දෙන්නේ නම් ආණ්ඩුවට එක්වන බවට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සදහා ඊයේ දින පක්ෂයේ විනය කමිටුව වෙත රාජිත සේනාරත්න මහතා කැදවා තිබූ අතර එහිදී හෙතෙම මේ බව ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙම විනය කමිටුව රැස්වීමට රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක සහභාගී වී සිටියහ.
නමුත් ඊට ඊයේ දින සරත් ෆොන්සේකා මහතා සහ තලතා අතුකෝරල මහත්මිය සහභාගී වී සිටියේ නැත.
කෙසේවෙතත් විනය කමිටුව රාජිත සේනාරත්න මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඒ මහතා කියා ඇත්තේ තමන් මින්පසු එවැනි ප්‍රකාශ සිදු නොකරන බවත්, ආණ්ඩුවට එක්වී ඇමැතිකම් නොගන්නා බවත්, කිසිසේත්ම පක්ෂය හැර නොයන බවත්ය.
ඒ අනුව මෙම කරුණු ඇතුළත් කොට පැය 24ක් ඇතුළත නිවේදනයක් නිකුත් කිරීමට තමන් සූදානම් බවද රාජිත සේනාරත්න මහතා විනය කමිටුවට දැනුම් දීමක් කොට ඇත.
ඒ අනුව අවසානයේදී විනය කමිටුව තීන්දු කොට ඇත්තේ අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද විමර්ශනය කොට රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම විපක්ෂනායකවරයා වෙත පැවරීමටය.
මේ අතර පෙරේදා දින පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් සියල්ලම පැමිණ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මුණගැසී රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දැනුම් දීමක් කොට ඇති බවද වාර්තා වේ.










