හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා විසින් පසුගිය 28 වැනිදා තමන් වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30)දිනයේ පිළිතුරු ලිපියක් යැවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
මංගල සමරවීර මහතාගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව සිය ලිපිය මගින් පෙන්වා දෙන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බවත් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව පෙන්වා දෙන ජයසුන්දර මහතා නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් අමාත්‍යවරයා මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිවරයා කනස්සල්ල පළ කරන බව ද කියා සිටී.












