අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 48ක් නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ යටතේ පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා ඇත.
එමෙන්ම භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බවට ද අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් නියෝග කර තිබේ.
එසේ කොන්දේසිවලට යටත් කර ඇති භාණ්ඩ අතර සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වියළි මිරිස් සහ සීනි ආදී ආහාර ද්‍රව්‍ය ඇතුළත්ය.
එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති, ගඩොල්, වැලි, වානේ, මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආදිය ද අදාළ ගැසට් නිවේදනය මගින් කොන්දේසිවලට යටත් කර තිබේ.










