සෘජු විදේශ ආයෝජන මත ශ්‍රී ලංකාවේ නිපදවන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපකරණ, දේශිය හා විදේශිය වෙළඳපොළට නිකුත් කිරීම තුළින් දේශිය වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමටත්, අපනයනය තුළින් ආර්ථීක සංවර්ධනයත් ඇති කරගත හැකි බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
“Made in Sri Lanka” ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරගම පිහිටුවා ඇති වෛද්‍ය පරිභෝජන උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ටෙක්නොමෙඩික්ස් ෆ්ලෙක්සිකෙයා ආයෝජන පුද්ගලික සමාගමේ නිලධාරින් සමඟ ඊයේ (23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
ටෙක්නොමෙඩික්ස් – ෆ්ලෙක්සිකෙයා ආයතනයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයසිංහ මහතා සඳහන් කර සිටියේ එක්සත් රාජධානිය මඟින් මේ සඳහා ඩොලර් මිලියන 15කට වැඩි ආයෝජනයක් සිදු කර ඇති බවයි.
මේ වන විට කර්මාන්තශාලාව නිෂ්පාදන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් කර ඇති අතර තවත් මාසයකින් පමණ පළමු බහාලුම් අපනයනය සඳහා අවසර ලබාගැනීමට හැකි බවද ඒ මහතා පැවසුවේය.
එමෙන්ම මෙම කර්මාන්තශාලාව කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා රජයෙන් විශාල සහයක් ලැබුණු බවත් එසේම නිෂ්පාදනය කරන සියලු උපකරණ“Made in Sri Lanka”ලාංඡනය සහිතව අන්තර්ජාතික වෙළඳපොළට නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කර්මාන්තශාලාව මඟින් නිපදවන වෛද්‍ය පරිභෝජන උපකරණ වලින් 95%ක් අපනයනය කරන අතර දේශිය අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ඉතිරි 5% යොදවන බවද සාකච්ඡාවේදි ඔවුන් පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න,ලලිත් එල්ලාවල,ජයන්ත කැටගොඩ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ,ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල, ශ්‍රී ලංකාවේ ටෙක්නොමෙඩික්ස් ෆ්ලෙක්සිකෙයා ආයෝජන පුද්ගලික සමාගමේ සභාපති සුජිත් සමරදිවාකර, සාමාන්‍යාධිකාරී සංජීව ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.












