අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළක් අද (01) සිට අරඹන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඒ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක්, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක්, ලුණු පැකට් 1ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 250ක්, කෑලි මිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක් සහ මුහුණු ආවාරණයක් එම සහන මල්ලට අයත්ය.
එමගින් පාරිභෝගිකයාට හිමිවන වාසිය රුපියල් 410කි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
“සතොස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතොස ආයතනය විසින් සහන මල්ලක් හෙට සිට ලබාදෙනවා. ඒ තුළින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇතිවෙන බව තමයි සතොසින් මට දන්වලා තියෙන්නේ. එක් පුද්ගලයෙකුට එක මල්ලක් පමණයි. දේශීය පොල්තෙල් සතොසෙන් ගන්න පුළුවන් පොල් තෙල්වලට ආදේශක වන සෝයා තෙල් රු.160ක් අඩුවෙන් අපි ලබා දෙනවා. “











