ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය හේතුවෙන් ජාතික පොලිස් කොමිසම පත්ව ඇත්තේ නාමික කොමිසමක් බවටය. පසුගිය 28 වෙනිදා රැස්වූ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් අතර කථාබහට ලක්ව ඇත්තේ මෙතෙක් කොමිසමට පැවරී තිබුණු පොලිස්පතිවරයා හැරුණු කොට පොලීසියේ සියලුම නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම්, උසස් වීම් ලබාදීම්, විනය කටයුතු ආදී සියලු බලතල කප්පාදු වී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවැති සමයේ පැවැති කොමිසම බවට දැන් පොලිස් කොමිසම පත්ව ඇති බවය.
ඒඅනුව දැන් ජාතික පොලිස් කොමිසමට පැවරී ඇති එකම කටයුත්ත වී ඇත්තේ මහජන පැමිණිලි භාරගෙන ඒවා විභාග කිරීම පමණි. එහිදී යම් නිලධාරියෙක් වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමටද කොමිසමට බලයක්ද නැත. කොමිසමට කළ හැකි එකම දේ වන්නේ ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව පොලිස්පතිවරයාට යොමුකිරීම පමණි.
මෙසේ ජාතික පොලිස් කොමිසමේ කප්පාදු වූ බලතල සියල්ලක්ම ලැබී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමටය. ඒ අනුව පොලිස් කොමිසමේ ඇති පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, උසස් වීම් , විනය කටයුතු ආදී විවිධ අංශවලට සම්බන්ධ ලිපි ගොනු දහස් ගණනක් රාජ්‍ය සේවා කොමිසමට යොමු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර හමාරය. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු යැයි පොලිස් කොමිසම විසින් කළ විමර්ශන ගොනුවද පරීක්ෂණ අවසන් නොවී රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු වනු ඇත.