“අනාගත පොළොන්නරුව – පස් අවුරුදු සංවර්ධන සැලස්ම ( 2020-2025)” වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණු අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කොට නොතිබීම විශේෂ සිදුවීමක් විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා ඉදිරි පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය ගොඩ නගන ආකාරය පිළිබඳව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩපිළිවෙළ මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබිණ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“අද සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩනැඟෙන අනාගත පොළොන්නරුව – පස් අවුරුදු සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඔබට සුබපතන්නට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් රොෂාන් පසුගිය අවුරුදු පහ තුළ දිස්ත්‍රික්කයට නායකත්වය දීම විතරක් නෙවෙයි, දේශපාලන විවාදවලට ගිහින් රට තුළ ජනතාව ගොඩනැඟීම සඳහාත් විශාල මෙහෙයක් කළ බව මම අමුතුවෙන් කිව යුතු නැහැ. මම හිතනවා හැම දිස්ත්‍රික්කයක්, පළාතක් තුළම තමන්ගේ දිස්ත්‍රික්කය හෝ පළාත සංවර්ධනය කරන ආකාරය පිළිබඳව සැලැස්මක් හැදුවොත් ඒ ඉලක්කය කරා ගමන් කරන්න වගේම එම සංවර්ධන කටයුතු පිළිවෙලකට ඉදිරියට කරගෙන යන්නත් පුළුවන්කම ලැබෙනවා. එහෙම සැලැස්මක් නැති වුණොත් අතනින් මෙතනින් කිසිම පිළිවෙළක් නැතිව සංවර්ධන කටයුතු සිදු වෙනවා. ඒ නිසා අනාගත සැලැස්මක් ඉදිරිපත් කරලා, මේ දිස්ත්‍රික්කය තුළ සිටින මන්ත්‍රීවරු සහ ජනතාව සමඟ එකතුවෙලා එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා.
පොළොන්නරුවට මම ආවා 1995 කම්කරු ඇමැතිවරයා වශයෙන්ග මම හිතන්නේ ඒ පොළොන්නරුවේ වෘත්තිය පුහුණු අධිකාරියේ ගොඩනැඟිල්ල හදලා විවෘත කරන්න. එදා කාර්මික විද්‍යාල නැති දිස්ත්‍රික්ක දෙකක් තිබුණා. එකක් පොළොන්නරුව. අනිත් එක රත්නපුරය. අපි ඒ දෙකටම කාර්මික විද්‍යාල හදලා දුන්නා. නමුත් මම හොයලා බැලුවම ඒ කාර්මික විද්‍යාලය වැඩිදෙනෙක් පාවිච්චි කරලා නෑ කියලා තමයි මට දැනගන්න ලැබුණේ. තමන්ගේ හැකියාවට රැකියාවක් ලබාගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් කාර්මික විද්‍යාලයේත් වෘත්තිය පුහුණු අධිකාරියෙත් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටුවුණා ද කියන එක පිළිබඳව මම කියන්න දන්නේ නෑ. මම ධීවර ඇමැතිවරයා විධියට හිටපු කාලේ ධීවර ගම්මාන කිහිපයක් මේ දිස්ත්‍රික්කයට ලබා දෙන්න හැකියාව ලැබුණා. වෙනදා ධීවර ගම්මාන හැදුණේ මුහුද අවට විතරයි. නමුත් අපි පොළොන්නරුව විතරක් නෙමෙයි දඹුල්ල බලංගොඩ වගේ ප්‍රදේශවලටත් දියවර ගම්මාන ලෙසින් ගම්මාන ලබා දෙන්න කටයුතු කළා.

මේ දිස්ත්‍රික්කය කෙරෙහි විශේෂ අවධානයක් හැමදාම අපේ ආණ්ඩුවලට තිබුණා. විශේෂයෙන්ම රොෂාන් තමන්ගේ දිස්ත්‍රික්කය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව අනාගතයේ අලුත් ආණ්ඩුවක් එක්ක කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. අපි දන්නවා ජනාධිපතිවරණය අපි දිනුම්. අපිට ජනාධිපතිවරයෙක් ඉන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ. අද නම් තවම පාර්ලිමේන්තුව තියෙනවා. හෙට කොහොම වෙයිද කියන්න මම දන්නේ නෑ. අද තියෙන තත්ත්වය යටතේත් අපි ආණ්ඩුව කරන්නේ සුළුතරයක් හැටියට. අපි ඔබේ අවශ්‍යතාවලට මුදල් ලබා දෙන්න මුදල් පනතක් ගෙනාවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ණය වෙච්ච මුදල් ලබා දෙන්න අපි පියවර ගන්න හැදුවා. ඒක පාර්ලිමේන්තුවට ගෙනාවොත් අපිව පරද්දනවා කියලා දන්න නිසා අපි පනත ගේන්නේ නැතිව නිකන් හිටියාග විපක්ෂය බලාගෙන හිටියේ ඒ පනත පරද්දලා ජනතාවට ආණ්ඩුව පැරැද්දුවා කියලා සතුටු වෙන්න. අපි ඒකට අවස්ථාව දුන්නේ නෑ. ඒ නිසා සල්ලි හිර වුණා. ආණ්ඩුව විසිරෙව්වාට පස්සේ ජනාධිපතිවරයාගේ බලතල අනුව එතුමට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ.
මැතිවරණ කොමසාරිස් කියනවා මැතිවරණය සඳහා ගිය පාරත් සල්ලි ලැබුණේ අඩුවෙන් කියලා. මැතිවරණයක් කරන්න අවශ්‍ය මුදල් අපි ලබා දිය යුතුව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ජනතාව ගැන හිතලා වැඩ කරන්න අපි සූදානමින් ඉන්නවා. රටක් සංවර්ධනය කරන්න ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුව පස්සට අදිනවා නම්, අගමැති පස්සට අදිනවා නම් ජනාධිපතිවරයාට ඉදිරියට යන්න බෑ. ජනාධිපතිවරයා පස්සට අදිනවා නම් පාර්ලිමේන්තුවට ඉස්සරහට යන්න බෑ. පසුගිය අවුරුදු 5 තුළ අපි ඒක අත්දැකීමෙන් දැක්කා. පහුගිය අවුරුදු පහ තුළ වැඩක් සිදු නොවුණේ ජනාධිපති සහ අගමැති අතර තිබුණ කඹ ඇදිල්ල නිසා. ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගියා. ජනතාව මේ ගැන අවබෝධයෙන් ඉන්නවා. ඒ නිසා ජනාධිපතිවරයා එදා දීපු පොරොන්දු ටික ඉටු කිරීම සඳහා අනිවාර්යයෙන්ම අපි පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන්න ඕන. 2/3ක බලයක් අපි ලබා ගත යුතුව තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ගියපාර ජනාධිපතිවරණ ප්‍රතිඵල දිහා බැලුවාම අපිට ඒ සඳහා ශක්තිය තියෙනවා. මේ පස් අවුරුදු සැලැස්ම දිහා බැලුවම කියන්න පුළුවන් ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ශක්තිමක් ආණ්ඩුවක් හැදුවොත් විතරයි කියලා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම සඳහා අවස්ථාවක් ඔබට ළඟදීම ලැබෙනවා. රටේ ජනතාවත් අපේ පක්ෂයත් අපිත් මැතිවරණයකට සූදානම්. ගෙවුණ දින කීපය තුළ අපි රැකියා ලක්ෂය ලබා දීම සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. උපාධිධාරින්ගේ පත්වීම් ලිපි ඔවුන්ගේ ගෙවල්වලට තැපැල් කරලා තියෙනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණාට පස්සේ තව හදන්න තියෙන්නේ මම හිතන්නේ කිලෝ මීටර් 14, 000යි. ගමකට එක නිවසක් බැගින් ලබා දෙන්න අපි පියවර ගත්තා. කලින් හිටපු ආණ්ඩුව නිවාස හදන වැඩසටහන් පිළිබඳව රුපියල් බිලියනයකට අධික වියදමකින් පෝස්ටර් ගහලා තියෙනවා. හැබැයි ගෙවල් හැදිලා තිබුණේ 7000කට අඩු ප්‍රමාණයක්. ඒ කාලේ හම්බන්තොට ගෙයක් හදනකොට යාපනේටත් පෝස්ටර් වැදුණා. නමුත් කිසිම පෝස්ටරයක් නැතිව හැම ගමකටම එක ගෙයක් දෙන්න අපේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. එහෙම හදපු පළවෙනි නිවස අද හිමිකරුවන් වෙත භාර දෙනවා. වැසිකිලි කැසිකිලි නැති පන්සල් පවා තවම තියෙනවා. සංස්කෘතික අරමුදලෙන් පවා සමහර තැන්වලට මිලියන හතලිස් පහ වගේ විශාල ගණන් දීලා තියෙනවා. ඒත් සමහර පන්සලකට සතයක් වත් ලැබිලා නෑ. රට තුළ තිබුණේ එවැනි තත්ත්වයක්. ඒක අපි වෙනස් කරලා සියලුම සිද්ධස්ථාන ආරක්ෂා කරන්න අපි පියවර ගන්න ඕනේ. මෙතෙක් නොතිබුණ විධියට එක එක ආගමට එක් එක් අමාත්‍යාංශ පවත්වාගෙන යන්නේ නැතිව හැම ආගමක් ගැනම සොයලා බලන්න අපි ආගමික අමාත්‍යාංශය හැදුවා. මහනායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් අනුව තමයි ජනාධිපතිතුමා ඒ විධියට ආගමික අමාත්‍යාංශය නිර්මාණය කරන්නේ. තරුණ පරපුරට රැකියා අවස්ථා ලැබෙන වැඩපිළිවෙලකට යෑම තමයි අපේ බලාපොරොත්තුව. අධිවේගී මාර්ග සකස්වෙමින් තියෙනවා. කිසි ගැටලුවක් නැතිව පොළොන්නරුවටත් අධිවේගී මාර්ගය එනවා. ජොන්ස්ටන් ඇමැතිතුමා කිව්වා ඒ මාර්ගය මඩකලපුව දක්වා දීර්ඝ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා. මේ විධියට මාර්ග පද්ධතියක් සකස් වෙනවා. පොළොන්නරුවත් කොළඹ නගරයත් පැය කීපයකට යා වෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එත්ව සිටියේය.










