පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලබාදුන් තොරතුර පිළිබඳව ප්‍රහාරය එල්ලවීමට පෙර සිටම මෙරට ආරක්ෂක අංශ ඇතුළු 15,000ක පමණ පිරිසක් දැනුවත්ව සිටියේ යැයි තමා විශ්වාසකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (19) ජනාධිපති කොමිසමට අනාවරණය කළේය.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙත කොමිසමේදී හරස් ප්‍රශ්න කිහිපයක් අද යොමුකළේය.
ජනාධිපති නීතිඥවරයා අසා සිටියේ, “ඔබ ප්‍රහාරයට පෙර අප්‍රේල් 18 සහ 19 යන දෙදින තුළ එවක පොලිස්පතිවරයාට යොමු කළ බුද්ධි ලේඛනවල අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද පුර්ව දැනුවත් කිරීම ගැන සඳහන් නොකළේ මන්ද?, යනුවෙනි.
“අපි 2017 ඉඳලම කිව්වේ සහරාන්ව නීශ්ක්‍රීය කරන්න කියලා.සහරාන්ව අල්ලගෙන සමාජයෙන් අයින් කරන්න කියලා. අනික ඔය අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් කරන ලද පෙර දැනුවත්කිරීම ගැන අප්‍රේල් 11 වෙද්දි 10,000 ක විතර පිරිසක් දැනගෙන ඉන්න ඇති,” යැයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයත් සමග කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ක්ෂණිකව විමසා සිටියේ, “ජයවර්ධන මහත්මයා ඔබ කිව්වා අප්‍රේල් 04 පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 11 වෙද්දි 10,000 ක විතර පිරිසක් දැනගෙන සිටියා කියලා. ඔබ ඒ කළේ හරිම බැරෑරුම් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඔබ වගකීමෙන්ද කළේ,” යනුවෙනි.
“ස්වාමිනි, මම වගකීමෙන් ඒ ප්‍රකාශය කළේ. හිටපු පොලිස්පති ජයසුන්දර මහතා පසුගියදා කොමිසම හමුවේ කිව්වා මේ අප්‍රේල් 04 මට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු පුර්ව දැනුවත් කිරීමේ තොරතුර අප්‍රේල් 09 මම එතුමාට යවපුවාම එතුමා ඒක පොලිස් විශේෂ කාර්යය බළකායට යැව්වා කියලා. මම දන්න විදිහට දිවයින පුරා පොලිස් විශේෂ කාර්යය බලකායේ සිටින භට ප්‍රමාණය 5000 ක් විතර. ඊළඟට ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට හිටපු පොලිස්පතිවරයා මේ තොරතුර දුන්නා කියනවා. පාර්ලිමේන්තුවේ ඉන්න එක මන්ත්‍රී කෙනෙක්ට පෞද්ගලික ආරක්ෂකයින් දෙදෙනෙක් ගානේ ගත්තොත් පෞද්ගලික ආරක්ෂකයින් 450 ක් විතර මේ තොරතුර ගැන දැනගන්න ඕනේ. සමහර ඇමතිවරුන්ට පෞද්ගලික ආරක්ෂකයින් 7 -10 ඉන්නවා. එහෙම බැලුවොත් පෞද්ගලික ආරක්ෂකයින් 800 ක් වත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. හැබැයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම දන්නේ නැහැ කියනවා. ස්වාමිනි මගේ පෞද්ගලික ආරක්ෂකයෙකුට මේ වගේ තොරතුරක් ආපුවම මමනම් දැනුවත් නොවී ඉන්නේ නැහැ. ඊළගට හිටපු පොලිස්පතිවරයා කියනවා මේ අප්‍රේල් 04 පෙර දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යැව්වා කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ ඉන්න 8000 ක් විතර පොලින් නිලධාරින් මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඊළගට 20 උදේ තානාපති කාර්යාල මගෙන් අහනවා. ඔය කළින් එවපු තොරතුරමද කියලා. ඒ කියන්නේ තනාපති කාර්යාලත් දැනුවත්ව ඉදලා. මෙහෙම බලද්දි විදෙස් බුද්ධි අංශයකින් රහසිගතව එවපු තොරතුරක් වුණාට මේ තොරතුර ගැන සහරානුත් දැනන් ඉන්න ඇති. ඔක්කෝම එකතු කරපුවාම 10,000 ක් නෙමේ 15,000 ක් විතර මේ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන දැනගෙන ඉදලා තියෙන්න ඕනේ,” යැයි නිලන්ත ජයවර්ධන මහතා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.










