පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සඳහා, වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සම්මත යුක්තිය පසඳලීමේ පටිපාටිය අනුව සිදුවනු ඇති අතර කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම කමිටුවේ කාර්යය භාරයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීම කමිටුවට පැවරී ඇති වගකීම බව පෙන්වා දෙයි.
කෙසේවෙතත් කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම සය පුද්ගල කමිටුවේ සාමාජිකයින් දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක පදනම් කරගනිමින් තෝරා පත්කරගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.










