නීතීඥ සංගමයේ දැනට ජීවතුන් අතර සිටින එක් අයෙක් හැරෙන්නට සියලු හිටපු සභාපතිවරුන් නීතීඥ සංගමයේ ලේකම්වරයා වෙත එකාබද්ධව අත්සන් තබා ලිපියක් යවමින් දේශපාලන පළිගැනීමේ කොමිසමේ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයාගෙන් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.
පසුගිය 02වැනිදා දාතමින් යවා ඇති මෙම ලිපියට දැනට සිටින ජ්‍යේෂ්ඨතම නීතීඥවරුන් දෙදෙනා වන කේ. කනග් ඊස්වරන් සහ ඉක්රම් මොහොමඩ් යන දෙදෙනාද ඇතුළුව ෆයිසර් මුස්තාපා, උපාලි ගුණරත්න, ජෙෆ්රි අලගරත්නම්, රොමේෂ් ද සිල්වා, විජේදාස රාජපක්ෂ, යූ.ආර්. ද සිල්වා, නිහාල් ජයමාන්න, උපුල් ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් විසින් අත්සන් තබා ඇත.
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා මෙම ලිපියට අත්සන් තබා නැති අතර ඔහු රජයේ තනතුරක් දරන බැවින් එසේ කර ඇති බව නීතිඥ ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ලිපියේ මෙෙස් සඳහන් වේ.
දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමේ වාර්තාවෙන් උපුටා ගත් කොටස් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්හි පළවෙමින් තිබේ.
මෙම ප්‍රවෘත්තීන් අනුව වාර්තාවේ අඩංගුව රටේ නීතියේ පාලනය අවතක්සේරු කරන්නාවූත් අධිකරණයේ ස්වාධීනත්වයට හානිකරන්නා වූත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී හා කාර්යක්ෂම ක්‍රියාවලිය ඛාදනය කරන්නාවූත් එකක් බවට අප හට බරපතළ කනස්සල්ලක් ඇත.
මේ තත්වය තුළ අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කොමිසමේ සමස්ත ක්‍රියාවලියටම අදාළ සහතික කළ පිටපතක් ජනාධිපතිවරයාගේ ලේකම්ගෙන් ලබාගෙන අප හටත්, මේ පිළිබඳ උනන්දු වන නීතිඥ සංගමයේ සෙසු සාමාජිකයින්ටත් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.