මාර්තු මැද හා අප්‍රේල් මාසවලදී ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ කොරෝනා මර්ධන එන්නත් ලක්‍ෂ 15 ඉතිරි කොටස පොරොන්දු වූ වකවානුව ඇතුළත ශ්‍රී ලංකාවට නොලැබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් පළමු එන්නත ලබා ගත් ජනතාවට දෙවන එන්නත ලබා දීමේ අවස්ථාව ඇහිරී යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය ප්‍රධානින් අනතුරු අගවා තිබේ.
තම සමාගමට අලුතෙන් ලැබී තිබෙන ඉල්ලීම් සහ සිය කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න මෙම එන්නත් ප්‍රමාදයට හේතුව බව ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගම කියයි.
එන්නත් නිෂ්පාදන සැලසුම්වලට “බාධාවක්” ඇති බවත්, තම කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න, ශ්‍රී ලංකාවට දීමට පොරොන්දු වූ එන්නත් තොගය “නුදුරු අනාගතයේ දීම” සැපයීමේ හැකියාව කෙරෙහි බලපාන බවත් සීරම් ආයතනය කියා සිටී. සීරම් ආයතනය විසින් මාර්තු 3 වන දින රාජ්‍ය ඖෂධ සංස්ථාවට හදිසියේම එවන ලද ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.
කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා එන්නත් කරනු ලබන ‘ඇස්ට්‍රා-සෙනාකා’ එන්නතේ මාත්‍රා මිලියන 1.5 ක් සඳහා ඇමරිකානු ඩොලර් 5.25 ක් ශ්‍රී ලංකාව විසින් මේ වන විටත් ගෙවා තිබේ. ඉන් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රජා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා පෙබරවාරි අවසාන සතියේ දී ලබා ගන්නා ලදී.
ඉතිරි මාත්‍රා මිලියනය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාවේ සීරම් ආයතනය අපේක්‍ෂාවෙන් පසුවිය.
විකල්පයක් වශයෙන් මෙම ගිවිසුම අවලංගු කිරීම හෝ ගෙවා ඇති අත්තිකාරම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් සඳහා සහාය පළකිරීමටද සීරම් ආයතනය එකඟ වී තිබේ.










