75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය.
රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙයයි.
“75” අංකය විශාල ඉලක්කමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වේ. කාසිය ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස දැක් වේ. “1948 – 2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක් වේ. මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වේ. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වේ.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, වැඩබලන තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්.එම්. ආර්. පී. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත්) චමීෂා ද සිල්වා, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක නිලධාරී චන්න මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.