අයි.එම්.එෆ්. ගිවිසුම කිසිසේත්ම පොළොවේ යථාර්ථයට විසඳුමක් නොවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.
ඒ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
මා ඉතා නිශ්චිතව ප්‍රකාශ කරනවා මෙම යෝජනාවට විරුද්ධව අපි ඡන්දය ප්‍රකාශ කරන බව. ඊට බලපාන හේතු සාධක මම කියන්නම්. පළමුවෙන්ම මෙම ක්‍රියාවලිය ආරම්භ කරමින් මේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මහ බැංකු අධිපති, නන්දලාල් වීරසිංහ මහතා අයවැයෙන් මුදල් වෙන්කර තිබියදී ණය නොගෙවා සිටීමට තීරණය කළා. ඒ තීරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර, ඉතා පැහැදිලි සබඳතාවයක් තිබෙනවා. ඒ නිසා මෙය යම් කුමන්ත්‍රණකාරීව ගනු ලැබූ තීරණයක්.
දෙවනුව මේ පාර්ලිමේන්තුව අයි.එම්.එෆ්. සමග එළඹෙමින් තිබෙන ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් අවසන් ගිවිසුමක් අත්සන් කරන තෙක් එය පාර්ලිමේන්තුවට වාර්තා කළේ නැහැ. විශේෂයෙන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වගකීමක් තිබෙනවා රට වෙනුවෙන් එළඹෙන එකඟතාවන්වලට පෙර පාර්ලිමේන්තුවට දන්වන්න. නමුත් එය සිදුකළේ නැහැ. අවසානයේ අත්සන් කරපු ගිවිසුම ගෙනත් ඡන්දය ඉල්ලන එක යුක්තිසහගත නැහැ.
තුන්වෙනුව මෙම යෝජනාවලියෙන් ඇතිවන පීඩාව හරහා එතුමාගේ උමතු හැසිරීම පෙන්වනවා. දේපළ පවරා ගන්නා බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරනවා. ‘පේයී ටැක්ස්’ වැඩිකිරීමෙන් පසුව කරන ලද සමීක්ෂණයකට අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 2%කගේ වැටුප ඍන වී තිබෙනවා. ඒ වගේම 7.2%කගේ වැටුප රුපියල් 20,000ට වඩා අඩුබවත් 19%කගේ රුපියල් 50,000ට වඩා අඩු බවත් හෙළිවී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා උමතු ලෙස ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ දේපළ පවරා ගන්නා බව.
ඊළඟට කොටස් වෙළඳපොළේ අර්බුදයක් මතුවිය හැකි බවට සාකච්ඡාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියන්නේ කොටස් වෙළඳපොළ වසා දමන බවයි. රටේ ජනාධිපතිවරයා කොටස් වෙළඳපොළ වසා දමන බවට තර්ජනය කිරීම උමතු ප්‍රකාශයක් නෙවෙයිද? බැංකු පද්ධතියේ ණය කපා හැරීමෙන් අවදානමකට ලක්වෙන බව සාකච්ඡාවක් තිබෙනවා. ඒ බැංකු පද්ධතියටත් තර්ජනය කරමින් ආර්ථිකය බාරගන්නා ලෙස පවසනවා. බැංකු තියෙන්නේ ආර්ථිකය බාර ගන්න නොවෙයි. අයි.එම්.එෆ්. ක්‍රියාවලිය වෙනුවෙන් ඔහුගේ උමතු ක්‍රියාමාර්ග හේතුවෙන් මෙයට විරුද්ධව ඡන්දය දෙනවා.
අයි.එම්.එෆ්. සමග එකඟ වූ ක්‍රියාමාර්ග නිසා ආර්ථිකය ශක්තිමත් වෙන බව ඇතැම් අය කියනවා. නමුත් එය අසත්‍යයක්. 2021 මුල් මාස දෙකේ අපනයන ආදායම ඩොලර් මිලියන 2196යි. 2022 එම කාලය තුළ ඩොලර් මිලියන 1960යි. අපනයන ආදායම 11%කින් අඩුවෙලා. අපනයන ආදායම අඩුවෙලා ඩොලරයේ අගය ස්ථාවර වෙන්නේ කොහොමද? ගිය වසරේ මුල් මාස තුනේ සංචාරක ව්‍යාපාරයේ ආදායමට සාපේක්ෂව මේ අවුරුද්දේ 3%ක වර්ධනයක් තිබෙන්නේ. ගිය වසරේ ලැබුණු ඩොලර් මිලියන 514 ඩොලර් මිලයන 530 දක්වා වැඩිවෙලා. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් ප්‍රශ්නය සමනය වෙලා නැහැ.
නමුත් ආනයන වියදම් විශාල ලෙස පහත ගොස් තිබෙනවා. පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ආනයන වියදමට වඩා මේ වසරේමුල් මාස දෙක තුළ 37%කින් අඩු වෙලා. සීනි 55%කින්, කිරිපිටි 45%කින් පලතුරු 52%කින් ඖෂධ 24%කින් දුරකථන හා උපාංග 64%කින් ගොඩනැගිලි ද්‍රව්‍ය 57%කින් යන්ත්‍ර සූත්‍ර 47%කින් ආදී වශයෙන් ආනයනය අඩුවී තිබෙනවා. රුපියල යම් ස්ථාවරභාවයකට එන්න එක් හේතුවක් වී තිබෙන්නේ ආනයන වියදම් 37%කින් පහත වැටීමයි. විදෙස්ගත ශ්‍රමිකයන් මේ කාලය තුළ එවූ ඩොලර් මිලියන 637කට වැඩිවෙලා තිබෙනවා.
මුළුමනින්ම ආර්ථිකය හකුළා තිබෙනවා. 2021 අපේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 88යි. 2022දී ඩොලර් බිලියන 77ක් බව මහ බැංකුව කියනවා. ඩොලර් බිලියන 11කින් ආර්ථිකය හැකිළීම හපන්කමක් වෙන්නේ කොහොමද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6යි කියලා. ඒක දළ ජාතික නිෂ්පාදිතයෙන් 128%ක් බව කියනවා. 83.6ක් කියන්නේ 128ක් නම්, 100ක් කියන්නේ ඩොලර් බිලියන 65යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2022 අපේ රටේ ජාතික ආදායම ඩොලර් බිලිය 65යි. මේ දෙකෙන් ඇත්ත මොකක්ද කියලා මම දන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ඩොලර් බිලියන 88 සිට 65 දක්වා බිලියන 23කින් අපේ ආර්ථිකය හැකිළී තිබෙනවා. ආර්ථිකය හැකිළීම හාස්කමක් වෙන්නේ කොහොමද?
ආර්ථිකය වට්ටලා ඉදිකිරීම් බිඳවට්ටලා, මිනිසුන්ගේ පරිභෝනය නතර කරලා කොච්චර දුරක් යන්නද? ඊළඟට ඩොලරය ස්ථාවර වීමේ ප්‍රධාන සාධකය ගිය වසරේ අප්‍රේල් මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා ඩොලර් බිලියන 2.8ක් ණය නොගෙවිමයි. ඒ ණය ගෙව්වා නම්, ඩොලරය රුපියල් 400/=ට 500/=ට යනවා. මේ අවුරුද්දෙත් ණය ගෙව්වේ නැහැ. පසුගිය අප්‍රේල් 18 වැනිදා ඩොලර් මිලියන 1250ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් කල් පිරුණා. මේ අවුරුද්දේ මුල් මාස හතර තුළ විතරක් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.5ක ණය ගෙවා නැහැ. ඒ අනුව මේ දක්වා ඩොලර් බිලියන 5.3ක විතර ගෙවිය යුතු ණයක් ගෙවලා නැහැ. මේක විස්මකර්ම වැඩක් නොවෙයි. මතුපිටින් අටවන ලද ආරෝපණයක ප්‍රතිඵලයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම මූලික අවධානය යොමු කරන්නේ කරුණු 3කට. ගෙවුම් ශේෂය තුලනය කිරීම එකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 633ක් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 650ක් ලැබෙන බව කියනවා. එහෙත් ඩොලර් බිලියන 3300ක ණය කපා හරීවි කියා අනුමාන කරනවා. අපේ රටේ ගෙවුම් ශේෂ හිඟය ඇති වුණේ ආර්ථික දේහයේ ප්‍රශ්නයක් මත. නමුත් උත්තර සොයන්නේ වෙළඳ ගිණුම පියවීමට. ගෙවුම් ශේෂය තුලනය කිරීමට සැලසුම්කර තිබෙන්නේ ආර්ථික දේහය නඟා සිටුවීමෙන් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේක ගිණුම්කරණයේ ප්‍රශ්නයක් විතරයි. ආර්ථික දේහයේ ප්‍රශ්නය ගන්නේ නැහැ. වෙළඳ ගිණුම තුලනය කිරීමෙන් සමාජීය දේහයේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ක්‍රියාමාර්ගය අයවැය ලේඛනය තුලනය කර ගැනීම. ඔවුන් යෝජනා කරන්නේ ආදායම් වැඩි කරගන්න. 2022 වැට් ආදායම රුපියල් බිලියන 463යි. 2023 රුපියල් බිලියන 796ක් අපේක්ෂා කරනවා. වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩි කිරීම නිසා, මේ තත්වය ළඟාකර ගත හැකි වේවි. නමුත් ලබන අවුරුද්දේ බිලියන 1636ක් අපේක්ෂා කරනවා. මේ වසරේ ඉලක්කය මෙන් 82%ක වර්ධනයක්. මේ අවුරුද්දේ ආර්ථිකය ඍණ තුනකින් හැකිළෙන බවට පුරෝකථනය කර තිබෙනවා. ලබන වසරේ වර්ධනය 1.5%යි. ඒ කියන්නේ 2022 තිබූ ආර්ථිකයවත් 2024දී ලැබෙන්නේ නැහැ. ඒ තත්වය තුළ 2022 මෙන් 350%කින් වැට් ආදායම වැඩිකර ගන්නේ කොමද? තවත් වැට් ප්‍රතිශතය වැඩිකර ලබා ගන්න හදනවා. ඒ වගේම මේ වැට් එක නිසා සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. එයින් මිනිසුන්ට දරාගත නොහැකි ආතතියක් නිර්මාණය වෙනවා. ඊළඟට උපයන විට ගෙවීම් බද්ද තවත් පුළුල් කරන්න උත්සාහ කරනවා. මේ බද්ද නිසා වෘත්තීයමය ශ්‍රමය රට හැර යනවා. බැංකු පද්ධතියේ 3800ක් 2022දී රට හැර ගොස් තිබෙනවා. වෛද්‍යවරුන් රට හැර යනවා. උපයන විට ගෙවීම් බද්ද සමාජීය ජීවිතයට විශාල වශයෙන් බලපෑම් කරමින් පවතිනවා. වෛද්‍ය උපාධිය ලබාගත් දරුවෝ 23දෙනෙක් සීමාවාසික පුහුණුවට ඇවිත් නැහැ. අයවැය පියවීමට කරන උත්සාහයෙන් සමාජීය ජීවිතය කුඩුපට්ටම් කර තිබෙනවා.
මූල්‍ය අරමුදලේ ඊළඟ උපාය මාර්ගය දේශීය ණය කපා හැරීමයි. මහ බැංකුව බිලියන 2492ක්, ලංකා බැංකුව බිලියන 1566ක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව බිලියන 961ක් මහජන බැංකුව බිලියන 906ක් සේවක අර්ථසාධක අරමුදල බිලියන 3000කට වඩා වැඩි මුදලක්, සේවා නියුක්තිකයන්ගේ අරමුදල බිලියන 497ක්, රක්ෂණ සංස්ථාව බිලියන 206ක්, අනෙකුත් මූල්‍ය ආයතන බිලියන 2006ක් වශයෙන් ණය ප්‍රමාණයක් එනම් බිලියන 12818ක් රජයට ණය ලබාදී තිබෙනවා. මේ ණය කපා හරින්න දැන් යෝජනා කරනවා. මහ බැංකුව ලබාදී තිබෙන ණය පැත්තකින් තියමු. සේවක අර්ථසාධක අරමුදන සහ සේවක භාරකාර අරමුදල භාණ්ඩාගාර බැඳුම්කරවල බිලියන 3500ක් විතර ආයෝජනය කර තිබෙනවා. එම අරමුදල්වල සාමාජිකයන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ මේ ආයෝජනවල ආදායමෙන්. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් 96%ක් ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවල සහ බිල්පත්වල. ලක්ෂ විසිපහකට වැඩි මේ අරමුදලේ සාමාන්‍යයෙන් සියලු දෙනාටම තැතිගැන්මක් ඇති කරනවා. මේ සල්ලිවල කළමනාකාරිත්වය විතරයි මහ බැංකුවට තිබෙන්නේ. ඒකට අයිති නැහැ. මේ රටේ වැඩකරන ජනතාවගේ සල්ලි මේ තියෙන්නේ. භාණ්ඩාගාර බැඳුම්කරවල, භාණ්ඩාගාර බිල්පත්වල වැඩකරන ජනතාවගේ සල්ලි ආයෝජනය කරන විට ආණ්ඩුව හොරකම් කරනවා. දැන් තවත් මානයක් සේවකයන්ගෙන් කපන්න කියනවා. සේවක අර්ථසාධක අරමුදල 20%කින් කපා හැරියහොත් බිලියන 900ක් කෝටි 90,000ක් විතර අහිමි වෙනවා. මේක පුද්ගලික අංශයේ සේවකයින් ලක්ෂ 25කට අධික ප්‍රමාණයකට බලපාන ප්‍රශ්නයක්. මේකට විරුද්ධව වෘත්තීය සමිති අනිවාර්යයෙන්ම පාරට එනවා. ඒ බව දන්නා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත් ගෙනත් වෘත්තී සමිති තහනම් කරන්න අත්අඩංගුවට ගන්න සැලසුම් කරනවා. ප්‍රශ්නයට ගිණුම්කරණයෙන් උත්තර ලබාදීමට සේවකයින්ගේ අරමුදල් බිලිදෙනවා.
ලංකා බැංකුවේ මුළු තැන්පත් තිබෙන්නේ රුපියල් බිලියන 3357යි. එයින් 1566ක් ආණ්ඩුවට ණය ලබාදී තිබෙනවා. ලංකා බැංකුවේ මුළු තැන්පත්වලින් 53%ක් ආණ්ඩුවට ණය ලබාදී තිබෙනවා. බැංකුවල තිබෙන්නේ මහජනයාගේ තැන්පතු ධනය. රනිල් වික්‍රමසිංහ බැංකුවලට තර්ජනය කරන්නේ මේ තැන්පතු ධනය සම්බන්ධයෙන්. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත්වලින් 63%ක් ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවල හෝ බිල්පත්වල. මහජන බැංකුවේ තිබෙන තැන්පත්වලින් 38%ක් ආයෝජනය කර තිබෙන්නේ මේ බිල්පත්වල. ඒ මුදල් කැපුවොත් තැන්පත්කරුවන්ගේ සුරක්ෂිතභාවය, බැංකු කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. බැංකු පද්ධතිය පවතින්නේ විශ්වාසය මත. බැංකු කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටුණොත් තැන්පත්කරුවෝ තමන්ගේ මුදල් වේගයෙන් ආපසු ගන්න උත්සාහ කිරීමෙන් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. රනිල් තමන්ගේ කතාවෙන් තර්ජනය කරන්නේ මේ බැංකුවලට. මේක උමතුවක් නොවෙයිද? නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උත්සාහ කරන්නේ ගිණුම් තුලනය කරන්න විතරයි.
අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ වියදම් කපා හරින්න කියනවා. මේ තත්වය තුළ නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ආයතන දැන් විශාල වශයෙන් මුදල් අයරකනවා. නොමිලයේ අධ්‍යාපන කටයුතු කරපු කටුනායක ටී.ටී.අයි. ආයතනය දැන් දෙලක්ෂ විසිපන්දහසක් අයකරනවා. රත්මලානේ ඉංජිනේරු තාක්ෂණ ආයතනය, දෙමටගොඩ ඉංජිනේරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මුදල් අයකරන්න යනවා. සෞඛ්‍ය වියදම් කපා හරිනවා. මේ නිසා සමාජීය ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මතුවෙනවා. මේ යෝජනාවලිය ආර්ථික දේහයේ මතුවී තිබෙන කිසිම ගැටලුවකට විසඳුමක් නොවෙයි.
විදෙස් සංචිත ශක්තිමත් කරන්න සූදානම් වෙන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණලා. පෞද්ගලීකරණය කරන්නේ ආර්ථික උපාය මාර්ගයක් හැටියට නොවෙයි. හිඟන තත්වයට වැටුණාට පස්සේ විකුණාගෙන ජීවත් වීමට. ඔය කියන ලිබරල් ආර්ථිකයවත් නොවෙයි මේ තිබෙන්නේ. මේකේ තිබෙන්නේ විකුණාගෙන ජීවත්වීම. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම්, ලංකා හොස්පිට්ල්, වෝටර්ස් ඒජ් හොටලය, ලිට්ට්‍රෝ ගෑස් සමාගම විකුණන බව රනිල් වික්‍රමසිංහ අයවැය ලේඛනයෙන් කියනවා. ලංකා හොස්පිට්ල් ගිය වසරේ මිලියන 2333ක් ලාභයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මිලියන 10400ක් ටෙලිකොම් 13800ක් වෝටර්ස් ඒජ් මිලියන 360ක් ගිය වසරේ ලාභ ලබා තිබෙනවා. ලිට්ට්‍රෝ සමාගම මේ වසරේ මුල් මාස තුනට මිලියන 233ක ලාභ ලබා තිබෙනවා. විකුණන්නේ ආර්ථික උපාය මාර්ගයක් හැටියට නොවෙයි. මේ තිබෙන්නේ මුළුමනින්ම ගිණුම්කරණ සැලැස්මක් මිස ආර්ථික දේහය සම්බන්ධ සැලැස්මක් නොවෙයි.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට භාජනය වෙන්නේ නැහැ. මුළු ණය ඩොලර් බිලියන 41.5ක් විදේශ ණය තිබෙනවා. එයින් ඩොලර් බිලියන 11ක් ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කරන බිලියන 30න් අවුරුදු හතරකදී බිලියන 14ක් කපා හරින්න අපේක්ෂා කරනවා. ඒ වසර හතර ඇතුළත බිලියන 13ක් ණය ගෙවීමටත් අපේක්ෂා කරනවා. නමුත් 2028දී අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35ක් වෙන බව කියනවා. ඩොලර් බිලියන 14ට අඩුවුණු ණය බිලියන 35ක් වෙන්නේ අලුතින් බිලියන 20ක් ණය ගැනීමෙන්. මේ ණය ගැනීම සහ විකිණීම අලුත් පාරක්ද? 2000දී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.2යි. 2005දී ටි්‍රලියන 2.2යි. 2010දී ටි්‍රලියන 4.5යි. 2005-2010 දක්වා දෙගුණයකින් ණය ගත්තා. නමුත් ගොඩ ගියාද? 2010දී තිබුණු ටි්‍රලියන 4.5 2015 වෙන විට ටි්‍රලියන 8.5යි. 2022 දෙසැම්බර් වෙන කොට ටි්‍රලියන 30යි. ටි්‍රලියනයක් කියන්නේ කෝටි ලක්ෂයක්. ණය ගැනීම සංවර්ධනයේ මාවත නම් සංවර්ධනය දෝර ගලාගෙන යන්න ඕනෑ. 2015-2019 කාලයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් රනිල් වික්‍රමසිංහගේ පාලනය ඩොලර් බිලියන 12ක ණය ගත්තා. මුළු ස්වෛරිත්ව බැඳුම්කර ණය තිබෙන්නේ ඩොලර් බිලියන 15යි. 2007 ස්වෛරිත්ව බැඳුම්කර ණය ගැනීමට පටන් ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂගේ පාලනය මේ ණය අරගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 3.5යි. හම්බන්තොට වරාය විකුණලා රනිල් වික්‍රමසිංහගේ කාලයේ ඩොලර් බිලියනයක් ගත්තා. රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරහමාරක් ඇතුළත ඩොලර් බිලියන 13ක් කාබාසිනියා කළා. දැන් බිලියන 2.9ක් අරගෙන රට හදනවාලු.
මේ ණය ගැනීම සහ විකිණීමේ මාවත උත්තරය නොවෙයි. මෙයින් ගොඩ එන්න ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඕනෑ. මේ අර්බුදයේ ප්‍රධාන හේතුව පවතින දේශපාලන සංස්කෘතියයි. අපේ රටේ සුනාමි උවදුරින් ගොඩ එන්න ආධාර විශාල ප්‍රමාණයක් ගලාගෙන ආවා. නමුත් සුනාමිය ඉවර වෙනකොට සුනාමි හොරෙක් බිහි වුණා. 2009 මැයි 19 වැනිදා යුද්ධය අවසන් කළා. යුද්ධය තුළ ඩොලර් මිලියන 17ක් ගෙවලා මිලියන 07ක මිග් ප්‍රහාරක යානා ගෙනාවා. යුද්ධය ඉවරවලත් හොරකම ඉතිරි වුණා. යුද්ධයෙන් පස්සේ ඇති කළ සියලුම ඉදිකිරීම්වල තිබෙන්නේ වංචාව දූෂණය. හොරකම, දූෂණය අවසන් කරන්න 2015 ජනවාරි 08වැනිදා බලයට ආව රනිල් වික්‍රමසිංහ පෙබරවාරි 27වැනිදා බැඳුම්කර වංචාව සිදුකළා. බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කීවේ බැඳුම්කර වංචාව අවුරුදු 30ක් යන තෙක් අපේ ආර්ථිකයට බලපාන බවයි. ඒ බැඳුම්කර වංචාව දැන් බලපාන්නේ නැද්ද කියලා මම බන්දුලගෙන් අහනවා. මෑතකදි කෝවිඞ් වසංගතය ආවා. කෝවිඩි ඉවරවෙන කොට ඇන්ටිජන් ගනුදෙනු, නිරෝධායන හෝටල් ගනුදෙනු වැක්සීන් ගනුදෙනු හොරකම් එළියට ආවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ වන්දිය ඩොලර් බිලියන 06කට 07කට ආසන්න මුදලක් තක්සේරුකර තිබෙනවා. එතනත් පගා අරන් බරපතළ වංචාවක්.
ඒ නිසා මේ දූෂිත දේශපානය අවසන් නොකර ආර්ථිකය ගොඩගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මනෝ ලෝකයක ජීවත් වෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජීවිත කතාව අතිශය අමිහිරියි. ගැටුම තිබෙන්නේ එතන. ඉදිරියේදී ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහගේ මනෝ ලෝකයද පොළොවේ යථාර්ථයද කියලා අපි බලමු. අපි නියෝජනය කරන්නේ පොළොවේ යථාර්ථය. මේ අයි.එම්.එෆ්. ගිවිසුම කිසිසේත්ම පොළොවේ යථාර්ථයට විසඳුමක් නොවෙයි. ඒ නිසා අපි මේ ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා.










