මම පිරිසිදු බෞද්ධයෙක්. මම නිර්මල බුදු දහම පිළිපදින පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම අනුව කටයුතු කරන කිසි කෙනෙක්. ආගම්වලට සෙසු ජාතීන් හට දෙවැනි කොට සලකන්නේ නැහැ. ඔවුන් සියළු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරන්නත් පෙනී හිටින්නත් ඇත්ත බෞද්ධයෙකුට පුළුවන් යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
ඒ වවුනියාවේ පැවැති මහජන හමුවකදී ය. ඒ මහතා මෙසේද කීය. “මම ඔබට කියනවා, සමගි ජන බලවේගය කියන්නේ සියලු ජාතීන්ට, සියලු ආගම්වලට ගරු කරන මහා බලවේගයක්. මේ රට හැම ජාතියකම නිවහනයි. සිංහල වේවා දෙමළ වේවා වේවා මුස්ලිම් වේවා අපි හැමෝම එක මවකගේ, එක පියකුගේ දරුවන් මෙන් ජීවත් විය යුතුයි. මේක අපි හැමෝගෙම රට.
තමුන්නාන්සේලා දන්නවා මගේ පියාණන් ඝාතනය කළේ මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්. ඔහු දෙමළ ජාතිකයෙක්. නමුත් ඔහු දෙමළ වුණා කියලා සමස්ත දෙමළ ජාතියට වෛර කරන්න තරම් අංශුමාත්‍රයක හැඟීමක් මට නැහැ .
ඔහු මගේ පියා ඝාතනය කරපු බව ඇත්ත. ඒකට ජාතිය එක්ක මට මොනවද ගන්න තියෙන්නෙ. තාත්තා නිතරම කියපු දෙයක් තමයි එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ කීප දෙනෙක්ගේ වරදක් හේතුවෙන් හැමෝම ඒ ගොඩට දාන්න එපා කියන එක. මම ඒක පිළිපදිනවා .
ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා පහුගිය පාස්කු ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් තරුණයින් කිහිප දෙනෙක් .හැබැයි ඒ ප්‍රහාර එල්ල කළ අයගේ ජාතිය හොයලා ඒ ජාතියට කවුරුහරි වෛර කරනවානම් ඒකත් වැරදියි. ශිෂ්ටසම්පන්න මනුස්සකම ඒක නෙවෙයි.
දැන් බලන්න සමගි ජන බලවේගයේ නායකයින්ට විවිධ අභූත චෝදනා එල්ල කරලා. දේශපාලන පලිගැනීම් වලට ලක් කරලා. අපේ ක්‍රියාකාරීන්ගෙන් පළිගන්න අයට අපි කියනවා, මේ අභියෝග වලට බයේ අපේ ගමන නතර කරන්නේ නැහැ කියලා.
අපි මේ රටට සද් ජාතිකත්වය හදුන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ජන සමාජය බහු වාර්ගික බහු ආගමික බහු භාෂාමය බහු සංස්කෘතික ලක්ෂණවලින් සමන්විතයි.
මේ රටේ ජනතාව අතර අසමගිය වපුරා තිබෙනවා.ආගම් අතර භේදභින්න කම් ඇති කොට තිබෙනවා.එක් එක් ජාතීන් අතර නොව එකම ජාතිය පවා විවිධ උපාය උපක්‍රම තුලින් බෙදා වෙන්කොට තිබෙනවා.
සමගි ජනබලවේගයේ අරමුණ සද් ජාතිකත්ව වැඩපිළිවෙළ කට යළි ගොඩ නැගීමයි .
සද් ජාතිකත්වය තුළ නව සමාජයක් බිහි කිරීමයි.ජන සමාජයේ එකිනෙකා එකිනෙකා කෙරෙහි සැකයෙන් බියෙන් ජීවත් වෙනවා.එය වෙනස් කළ හැක්කේ ජාතිකත්වය සත් ජාතිකත්වයක් බවට පත් කිරීම තුළින් .ඒ වෙනුවෙන් අපි කැපවෙනවා.”










