මෙරටින් අවසන් දින හතරට ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියේය.
මෙම මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හතර තුළ ‘කොවිඩ් 19’ ආසාදිතයන් 10,148 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
මෙම මස 9 වැනිදා පළමු වරට ආසාදිතයන් 2000 සීමාව පසු කරමින් 2659 ක් වාර්තා විය. 10 වැනිදා ආසාදිතයන් 2573 ක් සහ 11 වැනිදා ආසාදිතයන් 2530 ක් ද, වාර්තා විය.
මීට අමතරව ඉකුත් දින 4ට කොරෝනා මරණ 86ක් වාර්තා වී තිබේ.
තත්ත්වය මෙසේ පැවතියදී කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’ භාවිතයට හුරු වන්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉල්ලීමක් කරයි.
මෙසේ හඳුන්වා දී ඇති දේශීය ඖෂධ පළමු කොරෝනා රැල්ලේ දී රටේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නොමිලේ ලබාදුන් බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
කොරෝනා රැල්ල පළමු අවස්ථාවේදී අමාත්‍යවරයා ‘ධම්මික පැණිය’ කතානායකවරයා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කළ අතර එය ප්‍රවර්ධනය කිරීමටද විශාල දායකත්වයක් දැරීය.
නමුත් පසුගිය දිනෙකදී මෙම ධම්මික පැණිය කොරෝනා රෝගයට නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු කොට තිබිණ.










