• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනපු විදිහ ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! විමල්ලා ආණ්ඩුවට එරෙහිව ගහන්න යන ඊළඟ කැරැල්ල! අණ්ඩුව ගන්න සජිත්ගෙන් ‘නොනවතින රැල්ල’! අඟහරුවාදා වෙන්න යන මහා පෙරළිය! (රාජ්‍ය රහස්)

March 6, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 22 mins read
A A
ආණ්ඩුව ඇතුළේ පිපිරුමක්! ගෝඨාගෙන් සිංගප්පූරුවේ සිට තහනමක්! බැසිල් අමෙරිකා ගියේ නොඑන්නමද? ප්‍රබල ඇමැති විපක්ෂයට දෙමළෙන් දුන් පණිවුඩය! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

කලක් තිස්සේ ආණ්ඩුවේ ප්‍රධානීන් සැලසුම් කොට තිබූ ක්‍රියාවලියක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එළියට පැන්නේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල එම තනතුරුවලින් ඉවත් කිරීමත් සමගය. විමල් සහ උදය ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා වෙත ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ගෙන් බලපෑම් එල්ල වුවත් ඒ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනා ආණ්ඩුවෙන් පන්නා දැමීමට තරම් දැඩි තීන්දුවකට යොමු වූයේ නැත.

මුලු රටම හරි මගට- විමල්-උදය ආණ්ඩුවෙන් දොට්ට!

නමුත් මෙවර ජනාධිපතිවරයා විමල්වත්, උදයවත් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට ඍජු තීන්දුවක් ගත්තේය. මේ සඳහා මූලිකවම බලපෑවේ ඉකුත් බදාදා (02) තලවතුගොඩ ඉම්පීරියල් මොනාර්ක් ශාලාවේ පැවැති පක්ෂ 11 සමුළුවය. ‘මුලු රටම හරි මගට’ තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී ආණ්ඩුව වහාම සිදුකළ යුතු කාර්යයන් ඇතුළත් යෝජනා 21ක් රටට ඉදිරිපත් කිරීමට විමල්ලා පියවර ගෙන තිබිණි.

අන්තිම මීටිම මෛත්‍රීගේ ගෙදර!

මෙම සමුළුවට පෙර ඒ සඳහා පාර කපාගැනීමට අවශ්‍ය අවසන් රැස්වීම පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවෙසේදීය. එහිදී තවදුරටත් ආණ්ඩුව සමග සිටිනවාද එසේත් නැත්නම් දැඩි පියවරකට යනවාද යන්න සම්බන්ධයෙන් පිරිස අතර දීර්ඝව කතාබහට ලක්විය. පැය 3ක් පුරා ඇදී ගිය මෙම සාකච්ඡාව අවසානයේදී තීන්දු වූයේ මේ ආකාරයට මුල් වටයේදී ආණ්ඩුවට රට හදන යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව මියෙම්වා හෝ රැකෙම්වා යනුවෙන් තීන්දු කොට අවසන් සටනට යොමුවීමටත්ය.

අනෙක් අතට මෛත්‍රිපාලගේ නිවෙසේ පැවැති මෙම රැස්වීමට පෙර පැවැති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යෑමට තීන්දු කොට ඇති ආකාරයක් සියලු දෙනාට පැහැදිලිව දැකගන්නට ලැබිණි. ඒ හරහා ආණ්ඩුව තවදුරටත් පවතින මුල්‍ය අර්බුදය උග්‍ර කරගන්නා බව විමල්ට, වාසුට, උදයට පැහැදිලි වී තිබිණි. ඒ අනුව ආණ්ඩුවට එරෙහි සටන දැඩි කිරීමට මෙම මොනාර්ක් ශාලාවේ පවත්වන සමුළුව හරහා එම පක්ෂ 11 නියෝජිතයන් තීන්දු කොට තිබිණි.

බැසිල්ට විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්!

ඒ අනුව බදාදා පැවැති රැස්වීම බොහෝ සාර්ථක එකක් බව පෙනෙන්නට තිබුණේ බලාපොරොත්තු වූවාට වඩා වැඩි අවධානයක් ඊට ලැබී තිබුණු බැවිනි. මේ රැස්වීම සඳහා පොහොට්ටුව නියෝජනය කරන බොහෝ දෙනකුටද ආරාධනා කර තිබුණද, විවිධ හේතුන් මත ඔවුන් ඊට සහභාගි වී නොතිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් පොහොට්ටුවේ විදුර වික්‍රමනායකත්, ප්‍රේමනාත් දොලවත්තත් ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයාටත් මහින්දටත් ඉතා සමීපව කටයුතු කළ හිමිවරුන් විශාල පිරිසකුත් ඊට සහභාගි වී සිටීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී සැරම කතාව කළේ වෙන කවුරුවත් නොව අමාත්‍ය විමල් වීරවංශය. විමල් එහිදී බැසිල් ඉලක්ක කොට ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කළ අතර මහබැංකු අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ එකදු යෝජනාවක් හෝ බැසිල් විසින් ක්‍රියාත්මක කොට නැති බවද කියා සිටියේය.

අපි නම් කල් තියාම කිව්වා! විමල් ඒක ප්‍රසිද්ධ කළා!

මේ ආකාරයට බැසිල් හා අජිත් නිවාඩ් කබ්රාල් අතර සීතල යුද්ධයක් පවතින බව මුල්ම වතාවට රටට හෙළිදරව් කළේ අප විසින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය. අවස්ථා කිහිපයකදීම දෙදෙනා අතර තිබූ මෙම සීතල ගැටුම උදාහරණ සහිතවම අපි මෙම තීරය ඔස්සේ පෙන්වා දීමට කටයුතු කළෙමු. නමුත් කිසිදු අවස්ථාවක මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකෙරුණු අතර, එය පළමු වතාවට ප්‍රසිද්ධියේම එළියට දැමුණේ විමල් විසින් මෙම සමුළුවේදීය.

විමල්ලාට එරෙහිව පොහොට්ටුව ඇතුළේ කැරැල්ලක්!

කෙසේ වෙතත් පසුගිය වතාවන්වලදී මේ ආකාරයට ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට ප්‍රහාර එල්ල කොට කිසිවක් නොවුණු ආකාරයට අවස්ථා කිහිපයකදීම විමල්ලා උදයලා කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ වාඩි වුවත් ඒ කිසිදු අවස්ථාවක කිසිවකුත් විමල්ලාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට හෝ විමල්ලා විසින් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට කටයුතු කෙරුණේ නැත. නමුත් මෙවර තත්ත්වය වෙනත් අතකට පෙරළුණේ බැසිල් ඉලක්ක කර විමල් එල්ල කළ දරුණු ප්‍රහාරයත් සමග කැබිනට් ඇමැතිවරුන් මෙන්ම පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් කතා කොට මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවට ප්‍රබල බලපෑමක් එල්ලකිරීමත් සමගය. මේ ආකාරයට ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාට බැණවදිද්දී තවදුරටත් නෝංජල් ආකාරයෙන් සිටිය නොහැකි බවද ඔවුහු ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් කියා සිටියහ.

බැසිලුත් සටන පටන් ගනී!

එපමණක් නොව බැසිල්ද වහාම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් කතා කොට ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ග තයුතු බවත්, මේ ආකාරයට විමල් සහ උදය සමග ඉදිරියට යෑමට නොහැකි බවත්ය.

මහින්ද වටේටම කෝල් කරයි!

මේ අයුරින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් සහ බැසිල්ගෙන් ලැබුණු දුරකතන ඇමතුම්වලින් පසු මහින්දද කළේ විමල්ලාගේ රැස්වීම සම්බන්ධයෙන් කිහිප දෙනකුටම කතාකොට තොරතුරු විමසා බැලීමය. ඒ අනුව බදාදා රාත්‍රියේම තමන්ට හිතවත් මැති ඇමැතිවරුන්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන්ද, ස්වාමින්වහන්සේලාගෙන්ද, මධ්‍යස්ථ පුද්ගලයන්ගෙන්ද තොරතුරු විමසූ මහින්දට ඒ සියලු දෙනාම කියා සිටි කරුණ වූයේ මෙම රැස්වීම ඉතා සාර්ථක බවකි.

ගෝඨා වහාම පොහොට්ටුවේ රැස්වීමක් කැඳවයි!

නමුත් ඒ වන විට බැසිල්, විමල්ලාට එරෙහිව සටන පටන්ගෙන තිබූ අතර පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ද සාකච්ඡාවක් ඉල්ලා මහින්දට පණිවුඩ පිට පණිවුඩ එවමින් තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට පමණක් සීමා කරමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට පියවර ගත්තේ මේ පසුබිම යටතේය.

විමල්ව දැන්වත් පන්නන්න! පසුපෙළින් දැඩි ඉල්ලීමක්!

මෙම රැස්වීමේදී අදහස් ප්‍රකාශ කළ කැබිනට් ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් දැඩිව පෙන්වා දුන්නේ විමල්, උදය, වාසු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවකි. සාකච්ඡාව මුල් අදියරේදී මහින්ද ඊට සම්බන්ධ නොවූ අතර මහින්ද ඊට එක්වන විට සාකච්ඡාව විනාඩි 15ක් පමණ ගතවී තිබිණි. අගමැතිවරයා පැමිණීමෙන් පසු රැස්වීමේ සිටි රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන වැනි අමාත්‍යවරුන්ද පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරයට රුකුල් දෙමින් විමල්, උදය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගත යුතු බව පෙන්වා දුන්හ.

අගමැති සටන ෂේප් කරයි!

කෙසේ වෙතත් මෙහිදී අගමැතිවරයා සිටියේ තරමක වෙනස් ස්ථාවරයකය. සියලු දෙනාගේ අදහස්වලට සාවධානව කන් දුන් අගමැතිවරයා කියා සිටියේ විමල්ලා සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති නමුත් දැනට රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ තව ටිකක් ඉවසා සිටිය යුතු යැයි කියාය.

‘මෙතන විමල්ලා ගැන ප්‍රශ්නයක් තියෙනව තමයි. හැබැයි ඒ අය ගැන තීන්දුවක් ගන්න මේ වෙලාව නෙවෙයි. මොකද දැනට රටේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක විමල්ලා ගැන හදිසි තීන්දුවක් ගන්නෙ නැතුව අපි තව ටිකක් ඉවසලා ඉමු…’ යන්න අගමැතිවරයාගේ ස්ථාවරය විය. අගමැතිවරයා මෙසේ අදහස් පළකිරීමෙන් පසු බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණත් කියා සිටියේ, එවැනිම කතාවක්ය.

බන්දුලත් රමේෂුත් මහින්ද‌ගේ අඩි පාරේ!

‘කිසිම තර්කයක් නෑ විමල්ලව අයින් කරන්න ඕනෙ. මොකද ඒ අය කැබිනට් මණ්ඩලයටත් විරුද්ධව උසාවි ගියා. හැබැයි අගමැතිතුමා කියනව වගේ මේක ඒ අය අයින් කරන්න හොඳ වෙලාවක් නෙවෙයි…’ යනුවෙන් බන්දුල කියද්දී රමේෂ් පතිරණද එම ස්ථාවරයේ සිටිමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සාකච්ඡාව තුළ විමල්ලාට එරෙහිව නැගගෙන ආ දැඩි ප්‍රතිරෝධය යම් තරමකට සමනය වන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අවසානයේදී මත දෙකක් සාකච්ඡාවේදී මතුවූ බැවින් රැස්වීමට එක්ව සිටි පිරිස එහි අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයා වෙත භාරදීමට පියවර ගත්හ. ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළකරමින් මෙම සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය.

විමල් ඉන්නවනම් මම නෑ! බැසිල්ගෙන් දැඩි තීන්දුවක්!

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රැස්වීමෙන් ඉවත්වූ පසු තවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදීද අගමැතිවරයා මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වුවද අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ බැසිල් නම් මෙහිදී විමල්ලා සම්බන්ධයෙන් ඉතා දැඩි ස්ථාවරයක සිටි බවය. එහිදී බැසිල් විසින් පෙන්වා දී ඇත්තේ විමල් තමන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින් එම පිරිස ඉවත් කළ යුතු බවත්, එසේ නොමැති නම් තමන්ට විමල්ලා උදයලා සමග එක කැබිනට් මණ්ඩලයේ අසුන් ගෙන සාකච්ඡා කළ නොහැකි බවත්ය. බැසිල්ගේ එම ස්ථාවරයට අනුව යමින් තවත් ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් පළකර ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ලියුම් ගහන්න! ගෝඨා අවසන් නියෝගය දෙයි!

මේ ආකාරයට බැසිල් දැඩි ස්ථාවරයක සිටීමත් සමග මහින්දද නිහඬ වෙමින් ජනාධිපතිවරයා දෙස බලා ඇති අතර එහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ එසේ නම් විමල්ලා පිළිබඳ දැඩි තීන්දුවක් ගනිමු යැයි කියාය. ඒ අනුව නිල නොවන ආකාරයට විමල්, උදය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ගැනීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා විමල්වත්, උදයවත් ඇමැතිකම්වලින් ඉවත් කිරීමේ ලිපිය සකස් කරන ලෙස වහාම සිය කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේය.

කලින්ම ලියුම් ගහලා! තිබ්බේ දිනේ දාන්න විතරයි!

මෙම අස්කිරීමේ ලිපි දෙකේද කිසියම් විශේෂත්වයක් දැකගන්නට තිබේ. ඒ, අදාළ ලිපි දෙක මීට දින කිහිපයකට ඉහත සිටම සකස් කරගෙන තිබීම වීමය. එහි දිනය පමණක් දැමීමට හිස් තැනක් තබා තිබූ අතර එය පෑනෙන් තුන්වැනිදා යනුවෙන් සටහන් කර තිබිණ. ඊට හේතුව වී තිබුණේ වෙන කිසිවක් නොව විමල් සහ උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවට මීට මාස කිහිපයක් තබා ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් තීන්දු කර තිබීමත්, ඊට අදාළ ලිපි පවා සකස් කරගෙන තිබීමත්ය. බැසිල් විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පෙන්වා දී තිබූ අතර, එහිදී ඉවත් කළ යුතු ඇමැතිවරුන්ගේ නම් පවා ජනාධිපතිවරයාට ලබා දී තිබිණි. ඒ අනුව බදාදා රාත්‍රිය වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවලින් කියැවුණේ නිසැක වශයෙන්ම බ්‍රහස්පතින්දා පෙරවරුවේ විමල් සහ උදය ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇති බවය.

බැසිල් පසුපෙළ රෑම හමුවෙයි! ප්‍රහාරයට බඩු සූදානම් කරයි!

මීට අමතරව බදාදා රාත්‍රියේම බැසිල් හා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර තවත් සාකච්ඡා වටයක් ආරම්භ විය. එහිදී විමල්ලා ආණ්ඩුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුපෙළ සමග අදහස් හුවමාරු කරගත් බැසිල්, ඉන් අනතුරුව විමල්ලා ඉලක්ක කරගෙන ප්‍රහාරය සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳවද පිරිස සමග අදහස් හුවමාරු කරගත්තේය. එහිදී තීන්දු වූයේ බ්‍රහස්පතින්දා දිනයේ සිටම පොහොට්ටු මූලස්ථානයේ සිට විමල්ලා ඉලක්ක කරගනිමින් දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමටය.

විමල්ගේ මුල්ම කෝල් එක මෛත්‍රීපාලට!

බදාදා රාත්‍රියේ තොරතුරු පැතිර ගිය ආකාරයටම බ්‍රහස්පතින්දා පෙරවරුවේ විමල්ටත්, උදයටත් ජනාධිපති කාර්යාලයෙන් ඇමැතිකමෙන් ඉවත් කිරීමේ ලිපි යොමුකොට තිබිණි. මෙම ලිපිය තමන්ට ලැබුණු වහා විමල් මුලින්ම කතා කළේ වෙන කාටවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතය. ඉන් අනතුරුව උදයගෙන්ද මෛත්‍රිපාලට දුරකතන ඇමතුමක් ලැබිණි. මේ දෙදෙනාටම මෛත්‍රිපාල කියා සිටියේ ඉතා පැහැදිලි පිළිතුරකි.

මෛත්‍රීගෙන් විමල්ලාට සහතිකයක්!

‘ඔය දෙන්නා කිසි දේකට බයවෙන්න එපා. මමවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් ඔය දෙන්නව කිසිම විදියකින් තනි කරන්නේ නෑ. ඔය දෙන්නා වෙනුවෙන් අපි පෙනී සිටිනවා…’ යනුවෙන් කියමින් විමල්ටත්, උදයටත් සහතිකයක් ලබාදීමට එහිදී මෛත්‍රිපාල පියවර ගත්තේය.

ඉස්සරහට මොකද කරන්නේ!

ඉන් අනතුරුව විමල්, මෛත්‍රිගෙන් විමසා සිටියේ ඉදිරියේදී කුමක් කිරීමට බලාපොරොත්තු වනවාද යන්න කියාය. එයටද මෛත්‍රි ස්ථිර පිළිතුරක් ලබාදීමට කටයුතු කළේය.
‘දැන් අපටත් තීන්දුවක් ගන්න වෙනවා. මට ටික දවසක් දෙන්න. අපේ පක්ෂය ඇතුළෙත් මත කිහිපයක් තියෙනවා. මම ඒක සෙට්ල් කරගන්නම්.’ යන්න එහිදී මෛත්‍රි විමල්ට දුන් පිළිතුර විය.

විමල් ගෝඨාට දුන් තනි වචනයේ උත්තරේ!

මෛත්‍රිගේ මේ පිළිතුරෙන් පසු විමල් කළේ ජනාධිපතිවරයා විසින් තමන් වෙත එවා තිබූ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපියට පිළිතුරු ලබාදීමට කටයුතු කිරීමටය. ඒ අනුව සිය ෆේස්බුක් පිටුවේ අදාළ ලිපිය පළ කළ විමල්, තනි වචනයකින් එයට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. ඒ, ‘ස්තුතියි…’ යන වචනය පමණක් සටහන් කරමිනි.

මෛත්‍රීට විමල්ගෙන් යළි ‌කෝල් එකක්!

ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ නැවත වතාවක් විමල් ඇතුළු පක්ෂ 11ක නායකයන් රැස්වූයේ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාවේදී තීන්දු වූයේ සිකුරාදා දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඊට ප්‍රතිචාර දැක්වීමටය. එහිදී ශ්‍රීලනිපයද පක්ෂයක් වශයෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වන්නේ නම් කණ්ඩායම තවත් ශක්තිමත් වන බව පිරිස කියා සිටි හෙයින් විමල් කළේ නැවතත් මෛත්‍රිපාලට කතාකොට එම සාකච්ඡාවට සහභාගි වන ලෙස ආරාධනා කිරීමය. එහිදී මෛත්‍රි විමල්ට පැහැදිලි කර සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තවමත් පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය තීන්දුවක් ගෙන නොමැති හෙයින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊට සහභාගි විය නොහැකි යැයි කියාය.

මම කණ්ඩායමක් එවනවා! මෛත්‍රීගෙන් විමල්ට සහතිකයක්!

‘මට දයාසිරිත් කතා කරලා ඔය ගැන කිව්වා. අපි තාම මේකට කරන්නේ මොකක්ද කියලා පක්ෂයක් විදියට රැස්වෙලා තීන්දුවක් අරගෙන නෑ. මම සිකුරාදා දිනයේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමයි, දේශපාලන මණ්ඩලයයි රැස්කරලා තියෙනවා. එතැනදි අපි තීන්දු කරනවා මොකක්ද කරන්නේ කියලා. ඒ තීන්දුව ගන්නකන් අපි ඔබතුමාලගෙ රැස්වීමට පක්ෂයේ දෙවැනි පෙළ කණ්ඩායමක් සහභාගි කරවනවා….’ යැයි කී මෛත්‍රි, ඒ සමගම ශ්‍රීලනිපයේ හිටපු පළාත් සභා මහ ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් නිල වශයෙන් අදාළ සාකච්ඡාවට සහභාගි වන ලෙස දැනුම් දී සිටීමට පියවර ගත්තේය. එමෙන්ම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ දේශපාලන මණ්ඩලය සිකුරාදා දිනයේ රැස්කරන ලෙස දයාසිරිට දැනුම්දී සිටීමටද මෛත්‍රි පියවර ගත්තේය. ඒ අනුව සිකුරාදා රාත්‍රියේදී මෛත්‍රිපාලලා විසින් ගනු ලබන තීන්දුවත් සමග ඉදිරියේදී තවත් දේශපාලන විපර්යාසයන් රැසක් සිදුවීමට නියමිත ආකාරයක් දැකගන්නට පුළුවන.

පාර්ලිමේන්තුව අඟහරුවාදා උඩු යටිකුරු වෙන හැටි! තුනෙන් දෙක නැති වෙයි!

ඒ අනුව යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී විමල්ලාත් සමග එක්ව විපක්ෂයේ අසුන්ගැනීමට තීරණය කළහොත් ලබන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වීමට නියමිත ආකාරයක් දැකගන්නට තිබේ. ශ්‍රීලනිපයට මේ වන විට මන්ත්‍රී ධූර 14ක් හිමිව ඇති අතර, විමල්ලාගේ කැරැලිකාර පිලේ පක්ෂ 11 මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් සමග එය 30ක ප්‍රමාණයක් ලෙස දැකගන්නට පුළුවන. ඒ අනුව එම 30ක මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 54 දෙනා සමග එක්වූ විට මන්ත්‍රී කණ්ඩායම 84 දක්වා ඉහළ නැංවෙනු ඇත. මීට අමතරව උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ජවිපෙ මන්ත්‍රීවරුන් 3 දෙනාත් ගත් විට එම සංඛ්‍යාව 103 දක්වා ඉහළ නැංවීමට නියමිතය. ඒ අනුව ගත්විට පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැරුණු විට ආණ්ඩුවට සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 121 දක්වා පහත වැටෙනු ඇත. එහි පළමු සංඥාව වන්නේ ආණ්ඩුවට මෙතෙක් තිබූ තුනෙන් දෙකේ අති බහුතර බලය ලබන අඟහරුවාදා දිනයේදීම අහෝසි වී යෑමය.

දැනටමත් පොහොට්ටුවෙන් කලකිරුණු අය!

මීට අමතරව මේ වන විට පොහොට්ටුව ඇතුළේද කිසියම් මන්ත්‍රී කණ්ඩායමක් කලකිරීමකින් යුතුව නිහඬව සිටින ආකාරයක් දැකගන්නට තිබේ. උදාහරණයක් ලෙස විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා යන මැතිඇමැතිවරුන් මේ වන විට සිටින්නේ ආණ්ඩුවත් සමග කිසියම් මත ගැටුමක පැටලීය. එමෙන්ම පොහොට්ටු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තද විමල්ලාගේ රැස්වීමට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන්ද යම් කිසි තීන්දුවක් ගතහොත් අඟහරුවාදා දිනයේදී හෝ ඊට පසු දිනයකදී ආණ්ඩුවේත්, විපක්ෂයේ සංයුතිය එක ළඟින් යනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

වාසු දෙපැත්තටම නැති තීන්දුවක!

මේ ආකාරයට ආණ්ඩුවේ මන්ත්‍රී සංයුතිය සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක, ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා දිනයේදී සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හරහාද කිසියම් අර්බුදයක් නිර්මාණය වී ඇති ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව විමල් සහ උදය ඇමැති ධුරවලින් පන්නා දැමීමත් සමග ඔවුන් සමග එකට සිටි අනෙක් කැබිනට් සගයා වූ වාසුදේවද කියා සිටියේ තමන් ඇමැතිකමෙන් ඉවත් නොවුණද කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත් වීමට පියවර ගන්නවා යැයි කියාය. එමෙන්ම කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බවද වාසු බ්‍රහස්පතින්දා රාත්‍රියේම තීන්දු කළේය.

දිනේෂ්ට කැපිල්ලක්ද?

ලොකුම අර්බුදය පැනනැගුණේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මුල් කරගෙනය. ආණ්ඩුව පිහිටුවීමෙන් පසු දිනේෂ් මුලින්ම රාජකාරි කළේ විදේශ අමාත්‍ය ධුරයේය. ඉන් අනතුරුව විදෙස් ඇමැතිකම දිනේෂ්ගෙන් ගැළවුණු අතර, අධ්‍යාපන අමාත්‍ය ධුරය දිනේෂ්ට ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන්ද දිනේෂ් සිටියේ කිසියම් කලකිරීමකින්ය. ඒ අනුව දිනේෂ්ට දැනගන්නට ලැබුණේ විමල්ගෙන් ගැළවුණු කර්මාන්ත අමාත්‍ය ධුරය තමන්ට ලබාදීමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව එම තීන්දුවට මුල්ම බාල්දිය පෙරළුවේ දිනේෂ්ය. එම අමාත්‍ය ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කළ දිනේෂ් පණිවුඩයක් යවමින් කියා සිටියේ තමන් කිසිදු අමාත්‍ය ධුරයක් භාර නොගෙන මන්ත්‍රීවරයකු වශයෙන් සිටීමට තීන්දු කර ඇතැයි කියාය.

අන්තිම මොහොතේ තීන්දුව වෙනස් කරයි!

දිනේෂ්ගේ එම තීන්දුවත් සමග ජනාධිපතිවරයාත්, බැසිලුත් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව වහාම කෙටි සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාත්, බැසිලුත් තීරණය කළේ දිනේෂ්ගේ අමාත්‍ය ධුරය වෙනස් නොකොට කර්මාන්ත අමාත්‍ය ධුරය එස්.බී.ට ලබාදීමටය.

දිනේෂ් දීපු උත්තරේ!

කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් දැනගන්නට ඇත්තේ ආණ්ඩුවේ එම තීන්දුවත් සමග දිනේෂ් විශාල කඩාවැටීමකට පත්ව ඇති බවය. තුන්වැනි වතාවටත් තමන්ගේ අමාත්‍ය ධුරය වෙනස් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් ගෙන තිබූ තීන්දුවත් සමග තමන් ඉතා පහළ මට්ටමකට ඇද දමා ඇති බවක් දිනේෂ්ට හැඟී ගොස් ඇති ආකාරයක් අපට දැනගන්නට ඇත. ඒ අනුව තමන්ට කතා කළ බොහෝ දෙනකුට දිනේෂ් කියා සිටියේ, ‘ඔව් මේවා පුදුම විදියට තමයි වෙන්නේ. අපිත් බලන් ඉම්මු මොනවද වෙන්නෙ කියලා. තව කල් තියෙනවනෙ…’ යැයි කියාය.

සී.බී.ත් කලකිරෙයි! බඩු පැක් කරයි!

දිනේෂ්ට අමතරව ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ සී.බී. රත්නායකද සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ දැඩි කලකිරීමෙන්ය. ඊට හේතුවී තිබුණේ තමන්ව පසෙකට දමා නුවරඑළියේ එස්.බී. දිසානායකට කර්මාන්ත අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගැනීමය. පසුගිය කාල වකවානුව පුරාම සී.බී. පොහොට්ටුව වෙනුවෙන් නුවරඑළියේ තනි සටනක නිරතව සිටි අතර, එස්.බී. මුලින්ම යහපාලන ආණ්ඩුවට එක්වී පසුව පොහොට්ටුවට පැමිණි අයකු වීමත්, එහිදී මුල සිටම සිටි තමන්ට වඩා ඉහළ අමාත්‍ය ධුරයක් එස්.බී.ට දීමත් සී.බී.ගේ කලකිරීමට හේතුවී තිබිණි. එමෙන්ම වනජීවී අමාත්‍යාංශය දෙකට කඩා ඉන් එක් කොටසක් විමලවීර දිසානායකට ලබාදීම හරහාද සී.බී. සිටියේ වැඩක් කරගත නොහැකි තත්ත්වයකට පත්වය. ඒ නිසා පසුගිය කාල වකවානුව පුරාම කලකිරීමෙන් සිටි සී.බී., මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වැඩක් කළ හැකි අමාත්‍යාංශයක් ලැබේ යැයි සිතා සිටියේය. නමුත් එවැන්නක් සිදු නොවූ නිසා බ්‍රහස්පතින්දා දිනයේම අමාත්‍යාංශයට ගිය සී.බී. සිය බඩු බාහිරාදිය රැගෙන පිටව යෑමට කටයුතු කළේය.

ඒ අනුව නිමල් ලන්සා කළාක් මෙන් සී.බී.ද බඩු අස්කරගෙන ගෙදර ගිය බවක් මොහොතක් යන්න මත්තෙන් බොහෝ දෙනාගේ කනට වැටිණි. අපද එම පුවත අප ‘මව්රට නිවුස්’ වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට පියවර ගතිමු. ඒ අනුව බොහෝ දෙනා සී.බී.ට කතා කරද්දී ඔහුද එය පිළිගනිමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.

සී.බී. මුලින් කියපු කතාව!

‘ඔව් මම බඩු ටික අස්කරගත්තා. මමත් තීන්දුවක් ගන්නවා මේකෙ ඉන්නවද නැද්ද කියලා. නුවරඑළියෙ ඉන්න ඔක්කොමල්ලා මෛත්‍රිපාලලත් එක්ක ගියාම මම විතරයි තනියම නුවරඑළියෙ රාජපක්ෂලා වෙනුවෙන් පෙනී හිටියෙ. එස්.බී.ලා කළේ රාජපක්ෂලගෙ පළු ඇරපු එක. දැන් එස්.බී.ලට අපට වඩා හොඳ ඇමැතිකම් දීලා. අපට තියෙන්නෙ වැඩ කරන්න බැරි ඒවා. ඉතින් අපි මොකටද මේවයෙ ඉන්නේ…’ යනුවෙන් සී.බී. ඒ සියලු දෙනාටම කියනු දැකගත හැකි විය.

සී.බී.ට විමලවීරගේ කෑල්ලත් අමුණයි!

කෙසේ වෙතත් සී.බී.ගේ මේ කලකිරීම මොහොතක් යෑමට මත්තෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ කනටද වැටිණි. ඒ අනුව සිකුරාදා සිදුකෙරුණු දෙවැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී චමල් රාජපක්ෂ මහතා යටතේ තිබූ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විමලවීරට ලබාදී, විමලවීර යටතේ තිබූ වනජීවී රාජ්‍ය අමාත්‍යාංශ්‍ය සී.බී.ට ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. සී.බී.ගේ කලකිරීම අවසන් වූයේ ඉන් අනතුරුවය.

දොලවත්තත් දොට්ට!

මීට අමතරව දොලවත්ත සම්බන්ධයෙන්ද සිකුරාදා වන විට ගැටලු දෙකක් මතුව තිබිණි. එහිදී ආණ්ඩුවේ පසුපෙළ දොලවත්තට රැස්වීම් සඳහා ආරාධනා නොකිරීමට තීන්දුවක් ගෙන තිබුණු අතර, පොහොට්ටු මහලේකම්වරයා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද තීන්දු කර තිබිණි. ඒ අනුව වහාම දොලවත්ත පියවර ගෙන තිබුණේ ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කිරීමටය. අගමැතිවරයා එහිදී දොලවත්තට කියා සිටියේ, ‘ඔයා මට කියලනේ ඒ රැස්වීමට ගියේ. ඒ හින්දා ඕනෙ පරීක්ෂණයක් තියන්න කියන්න. ඔයා ගිහින් කියන්න මට කියලයි ගියේ කියලා. ඒ ගියෙත් මීටිම බලන්න ඕනෙ නිසා කියල කියන්න…’ යැයි කියාය.

සජිත් සටනට වහා වහා ලෑස්ති වෙයි!

මේ සියලු සිදුවීම් මැද දැන් සියල්ලන්ම බලා සිටින්නේ ආණ්ඩුව තුළ මතුව ඇති මෙම අර්බුදය හමුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කුමක් කරන්නේද යන්න කියාය. ආණ්ඩුව ඇතුළේ මෙම අර්බුදය හටගනිද්දී සජිත් හිටියේ කොළඹින් පිටය. ඒ අනුව වහාම බ්‍රහස්පතින්දා දිනයේම සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග කතා කළ සජිත්, වහාම සිකුරාදා දහවල් විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමක් සංවිධාන කරන ලෙස දැනුම්දී සිටියේය. මීට පෙර මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ සඳුදා දිනයේ වූ අතර, සජිත් සිටියේ ඉරිදා දින කොළඹ පැමිණ මෙම රැස්වීමට සහභාගි වීමටය. නමුත් මතුවූ හදිසි තත්ත්වය යටතේ සති අන්තයේ කොළඹින් පිට සියලු ජනහමු අත්හිටවූ සජිත් වහාම බ්‍රහස්පතින්දා රාත්‍රියේදීම කොළඹ බලා පැමිණීමට පියවර ගත්තේය.

නොනවතින රැල්ල අරඹයි!

සිකුරාදා පැවැති මෙම රැස්වීමේදී සජිත් ඇතුළු සජබෙ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළහ. ඉන් පළමුවැන්න වූයේ විමල්ලා ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමග අඟහරුවාදා දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී විපක්ෂය කටයුතු කළ යුතු ආකාරයය. මීට අමතරව ආණ්ඩුවට එරෙහිව දීපව්‍යාප්ත දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කිරීමටත්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ පැවැත්වීමට නියමිත උද්ඝොෂණ සඳහා ගෙන ඒමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි. එය ‘නොනවතින රැල්ල’ යනුවෙන් නම් කිරීමටද සජිත් පියවර ගත්තේය.

සජිත් ජ්‍යෙෂ්ඨයන්ට හෙළි කළ රහස!

මීට අමතරව මේ සාකච්ඡාවේදී සජිත් තවත් රහසක් සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හට හෙළිකිරීමට පියවර ගත්තේය. ඒ, ආණ්ඩුවෙන් කැඩී ඉවත් වන විවිධ පුද්ගලයන් සමග මේ වන විට සිදුකෙරෙමින් පවතින රහස් සාකච්ජා සම්බන්ධයෙන්ය. දැනට එවැනි සංවාද ගණනාවක් ආරම්භ වී ඇති බව කියා සිටි සජිත්, ඉදිරියේදී ඒ පිළිඳ දීර්ඝ විස්තරයක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ තබන බවද සඳහන් කර සිටියේය. එමෙන්ම මතුව ඇති මෙම තත්ත්වය යටතේ අඟහරුවාදා සිට පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම දිනෙකම අනිවාර්යයෙන්ම සියලු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවද සජිත් මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.

විමල්ලාගේ ප්‍රශ්නයෙන් යට ගිය ‌ජනපති කී අමුතු කතාව!

විමල් උදය ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ සිදුවීම් මාලාව සිදුවීමට ප්‍රථම ඉකුත් සති අන්තය වන විට ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලයේ පවත්වනු ලැබූ එක්තරා සාකච්ඡාවක් මුල් කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ආන්දෝලනයක් මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. එම සාකච්ඡාවට තවත් රාජපක්ෂවරුන් තිදෙනකු වූ බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශශීන්ද්‍ර රාජපක්ෂ මෙන්ම රාජපක්ෂවරුන්ට හිතවත් නිලධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් සිටි අතරවාරයේදී කිසිවකුත් බලාපොරොත්තු නොවුණු ආකාරයට, කළ එක් ප්‍රකාශයක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය මේ වනවිට යොමුව තිබේ. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාව ඡන්දය ලබාදුන්නේ තමන් කළ රටට කළ වැඩ නිසා බවත්, වෙන හේතුවක් ඊට බල නොපෑ බවත්ය.

මිනිස්සු ජන්දෙ දුන්නෙ මට!

‘මට මිනිස්සු ඡන්දෙ දුන්නේ මම ගැන හොඳට හොයල බලලා. මම කරපු වැඩ නිසා. මම ආරක්ෂක ලේකම් විදියට යුද්ධෙ කරපු විදිය ගැන මිනිස්සු බලන් හිටියා. ඊළඟට ආරක්ෂක ලේකම් විදියට යූ.ඩී.ඒ. එක භාර අරගෙන මම කරපු වැඩ මිනිස්සු බලාගෙන හිටියා. එහෙම නැතුව මේ අලුතෙන් පක්ෂයක් හදපු නිසාවත්, ඒ පක්ෂෙන් අපේක්ෂකයෙක් දාපු නිසාවත් මිනිස්සු මට ඡන්දෙ දුන්නෙ නෑ….’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා පළමු වරට තමන් සම්බන්ධයෙන් අදහස් පළ කරද්දී බැසිල්, චමල් ඇතුළු සියල්ලන්ම දැඩි අවධානයෙන් යුතුව එය අසා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම දෙවැනි වතාවටද තවත් කරුණක් මතුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ‘දැන් මේ මතයක් තියෙනවා මහින්ද ඕනෙ කෙනෙක් දැම්මාම දිනනවා කියලා. මම නම් එහෙම හිතන්නෙ නෑ. මම දින්නේ මම කරපු වැඩ නිසා. ඒ විශ්වාසෙ උඩ ජනතාව මට ඡන්දෙ දුන්න හින්දා. ඒක මේ හැමෝම දැනගන්න ඕනෙ….’ යැයි කියාය.

කට්ටියම පුදුම වෙයි!

ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම කතා දෙකත් සමග සියලු දෙනාගේම ඇස් නළලට ගිය ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව මෙය ජනාධිපතිවරයා හිතාමතාම කී දෙයක්ද, එසේත් නැත්නම් කවුරුන් හෝ දුන් උපදෙසකට අනුව කළ එකක්ද යන්න පැහැදිලි නැතත් ජනාධිපතිවරයා මෙම කතාව ඍජුවම මහින්ද සහ බැසිල් ඉලක්ක කොට කියූ බවක් සියල්ලන්ටම වැටහිණි. මන්ද යත් පොහොට්ටුව අලුතින් නිර්මාණය කළේ බැසිල්ය. ගෝඨාභය එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ මහින්දය. ඒ අනුව බොහෝ දෙනාගේ මතය වී තිබුණේ පක්ෂය බැසිල්ගේ බවත්, ජයග්‍රාහී රැල්ල හැදුවේ මහින්ද විසින් බවත්ය.

ඉවරයි කියලා හිතුවට ඉවර නෑ!

කෙසේවෙතත් එම සාකච්ඡාවේදී කිසිවකුත් මීට පිළිතුරු නොදුන්නත් සාකච්ඡාව අවසන් වී එළියට පැමිණි වහාම බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ පුද්ගලයන් සමග සාකච්ඡා කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ඉහළ තැන්වලද මේ පිළිබඳ ප්‍රබල සංවාදයක් සිදුව ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී බොහෝ දෙනාට මතුව ඇති ගැටලුවක් වී තිබුණේ ජනාධිපතිවරයා හිටි හැටියේම මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ කුමන අරමුණක් නිසාද යන්නය. කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භ වන විට දේශපාලන කරළියේ මාතෘකාවක් වෙමින් පැවැති මෙම සිදුවීම බ්‍රහස්පතින්දා දිනයේදී සිදුවූ විමල්ලා තනතුරුවලින් ඉවත් කිරීමත් සමග යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් ඉදිරියේදී මේ පිළිබඳ අලුත් සංවාදයක් ආරම්භ වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

කාදිනල් හිමියන්‌ගෙන් තවත් වැඩක්!

මේ වන විට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ලෝකෙ වටේ සංචාරය කරමින්ය. මෙහිදී කාදිනල්තුමන්ගේ පළමු නවාතැන වූයේ ඉතාලියේ වතිකානයය. පසුගිය සතියේදී මෙම සංචාරය පිළිබඳ අතිවිශේෂ තොරතුරු රැසක්ම හෙළිකළ අප, මෙවර හෙළිකිරීමට සූදානම් වන්නේ කාදිනල් හිමියන් සහ පාප්වහන්සේ අතර සිදුවු හමුවේ කිසිවකුත් නොදත් තොරතුරුය.

පාප් වහන්සේව දෙපාරක් හමුවෙයි!

ලංකාව ඇතුළේ මතුව ඇති දේශපාලන අර්බුදයන් හේතුවෙන් කාදිනල් හිමියන් සහ පාප්වහන්සේ අතර සිදුවූ හමුවේ තොරතුරු මෙරට වැඩි අවධානයකට ලක් නොවූ නමුත් අපට ලැබුණු තොරතුරුවලින් කියැවෙන්නේ එම හමුව ඉතා සාර්ථක එකක් වී ඇති බවය. එහිදී කාදිනල් හිමියන් සහ පාප්වහන්සේ අතර අවස්ථා දෙකකදී හමුවීම් සිදුව ඇති අතර, පළමු හමුව විනාඩි 15කට සීමා වී තිබේ. එය නිල නොවන ආකාරයේ හමුවක් වීම ඊට හේතුවය. නිල වශයෙන් පැවැති හමුව ඉතා විශේෂ එකක් වූ අතර, ඊට අවම වශයෙන් කාදිනල් හිමියන් සමග සංචාරයට එක්වූ නෙවිල් ජෝ පියතුමන්ට පවා සහභාගී වීමට අවස්ථාවක් නොමැති වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව කාදනිල් හිමියන් සහ පාප්වහන්සේ අතර සිදුවූ සාකච්ඡාව ඔවුන් දෙදෙනාට පමණක් සීමා විය.

අතිවිශේෂ පිළිගැනීමක්!

මෙහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ පාප්වහන්සේ විසින් කාදිනල් හිමියන්ට ලබාදී තිබුණු පිළිගැනීමය. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු වේවා, කාදිනල් හිමිනමක් හෝ වේවා, වෙනත් විශේෂ පුද්ගලයකු හෝ වේවා පාප්වහන්සේ හමුවන්නේ උන්වහන්සේගේ නිල මේසයේ මුහුණට මුහුණ තබා ඇති ආසනයන්හි අසුන්ගෙනය. නමුත් මෙම හමුව කෙතරම් විශේෂ එකක් වූවාද කියනවා නම් පාප්වහන්සේ සිය නිල මේසයේ අසුන් නොගෙන කාදිනල් හිමියන් සමග ඉතා සමීපව එක ළඟ පිහිටි අසුනක වාඩිවී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම එම අවස්ථාව ඡායාරූපගත කිරීමට පවා ඉඩ ලබාදීමට පාප්වහන්සේ පියවර ගත්තේය.

සාකච්ජාව පැයක්!

පැයක් පුරා ඇදීගිය මෙම සාකච්ඡාවේදී කාදිනල් හිමියන් විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳවත්, එහි විමර්ශන පිළිබඳවත්, එම විමර්ශනවල සැක සහිත තැන් පිළිබඳවත් දීර්ඝ විස්තරයක් පාප්වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එවිට පාප්වහන්සේ එම පවුල්වල වින්දිතයන් පිළිබඳ විමසා සිටි අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකීමටද කාදිනල් හිමියන් පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙහිදී පාප්වහන්සේ විසින් සාකච්ඡාව අවසානයේදී විශේෂ අනුමැතියක් කාදිනල් හිමියන්ට ලබාදීමට පියවර ගත්තේය. ඒ, පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා කරන මෙම සටනේදී අවශ්‍ය ඕනෑම ජාත්‍යන්තර ආයතනයක් වෙත යන ලෙසත්, එහිදී වතිකානය හා පාප්වහන්සේ විසින් ලබාදිය හැකි සම්පූර්ණ අනුග්‍රහය ලබාදීමට පියවර ගන්නා බවත්ය. එය එක්තරා ආකාරයකට කාදිනල් හිමියන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය.

විශේෂ දේශනයකුත් කරයි!

පාප්වහන්සේ හමුවූ දිනට පසු දින කාදිනල් හිමියන් ඉතාලියේ ඇති තවත් ප්‍රබලතම බිෂොප්වරුන්ගේ හමුවකටද සහභාගි විය. ඊට ඉතාලියේ සහ වෙනත් රටවල කාදිනල් හිමිවරුන් සහ බිෂොප්වරුන් 100කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් එහිදී විශේෂ දේශනයක්ද සිදුකරනු ලැබීය. කාදිනල් හිමියන් ජිනීවා බලා පිටත්ව ගියේ ඉන් අනතුරුවය. එහිදීද ජිනීවා මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ හමුවූ කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව කාදිනල් හිමියන් හේග් නුවර බලා පිටත්ව ගියේ ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

එස්.බී. ඇතුළට ගත්තාට ලොහාන්ටත් යකා නැගලා! තීන්දුවක් ගන්න සූදානම්!

Next Post

විමල්-උදය වෙනුවෙන් මහින්ද පෙනී සිටී! විශේෂ නියෝගයක් නිකුත් කරයි!

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.