වසන්ත මුදලිගේ සිරගත කිරීමෙන් ජාත්‍යන්තරයෙන් රටට විශාල පහරක් එල්ල විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
‘වසන්ත මුදලිගේ ශිෂ්‍යයයා අත්තඩංගුවට ගැනීම ගැන අපි ඒකට තරයේ විරුද්ධයි. දින 90ක් මාස 3ක් සිරගත කරලා තියෙනවා රැඳවීම් නියෝග අනුව. ඒ රැඳවීම් නියෝගය නිකුත් කරලා තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. මෙතැන කිසිම ත්‍රස්තවාදයක් නැහැ. ත්‍රස්තවාදය කියන්නේ, බෝම්බ ගැසීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝම්බ ගැහුවා, දළඳා මාළිගාවට බෝම්බ ගැහුවා, කටුනායක ගුවන් තොටුපොළට බෝම්බ ගැනුවා, මහ බැංකුවට බෝම්බ ගැහුවා, ඒවා ත්‍රස්තවාදී ක්‍රියා. හැබැයි පෙළපාලියක් පැවැත්වීම, බඩුමිළ, ජීවන වියදම අඩු කරන්න ඕනේ කියන එක, විශ්ව විද්‍යාල විවෘත කරන්න ඕනේ කියන එක කිසිසේත් ත්‍රස්තවාදී ක්‍රියා නෙවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ විදියේ අවස්ථාවල භාවිතා කරනවා නම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කිසිවක් ඉතිරි වන්නේ නැහැ.
මාස දෙක තුනකට ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට හදිසි සංශෝධන කිහිපයක්. පාර්ලිමේන්තුවේ ඒ සංශෝධන අනුමත කරා. ඒ අවස්ථාවේ පැහැදිලි එකඟත්වයක් තිබුනා ත්‍රස්තවාද වැළක්වීමේ පනත සමාලෝචනයකට භාජනය කරනවා, ඒක අවසාන වනතුරු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට අපි ඉක්මන් වන්නේ නැහැ කියලා. එයට පැහැදිලි එකඟත්වයක් තිබුනා. ඒ එකඟත්වය උල්ලංඝනය කරමින් මේ විදියේ අවස්ථාවකදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් ඉතාමත් භයානක අනුශංග අපේ සමාජය තුළ පැනනඟිනවා. ඒකට අපි තරයේ විරුද්ධයි. එය සහමුලින්ම අපි හෙළා දකිනවා.
තව සති තුනකින් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය. අපේ රටට ජාත්‍යන්තර වශයෙන් මේ ගත්ත ක්‍රියාමාර්ගය නිසා අතිවිශාල හානියක් සිදුවෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා, GSP+ සහනය අපේ අපනයන ආදායම රැඳී පවතින්නේ හුඟක් දුරට GSP+ සහනය මත. මේ ගත්ත ඉතාම අඥානවන්ත ක්‍රියාමාර්ගය නිසා අපිට ලොකු පහරක් එල්ල වෙනවා ජාත්‍යන්තර තලයේ- එම නිසා මේ ගත්ත පියවර අපි තරයේ හෙළා දකිනවා.
හදිසි නීතිය පැනවීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවම අපි ඒකට සහයෝගය දුන්නේ නැහැ. අපේ කණ්ඩායම තීරණය කරා එයට සහයෝගය නොදීමට. දැන් රජය කියනවා හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැලු. හදිසි නීතිය දීර්ඝ නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ රටේ පුරවැසියන් දින 90 ක් සිරගත කිරීමට පියවර ගන්නවා. ඒක හරි පරස්පරයි. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බෙහෙවින් අහිතකර ක්‍රියාදාමයක් වෙනවා.’










