මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය තවමත් පහව ගොස් නැත.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එදා රාජපක්ෂ ආණ්ඩුව 2010 වසරේදී කටයුතු කළ අවස්ථාවේදී ජී. එල්. පීරිස් මහතා එය සාධාරණීකරණය කරමින් දැක්වූ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
ඒ මෙසේය.
ගරු කථානායකතුමනි මහාධිකරණයේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙක් අද ඔබතුමා ඉදිරියේ දිවුරුම් දෙන්න උත්සාහ කෙරුවා. කථානායකතුමනි, 2010 වර්ෂයේදී මෙවැනිම සිද්ධියකට පූර්වාදර්ශයක් තියනවා. එදා අපි සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්නන්න උත්සාහ කරපු අවස්ථාවේ එදා ආණ්ඩුව වෙනුවෙන් ජී.එල් පීරිස් මැතිතුමා කථා කරලා කිවුවා ඔබතුමාට ඒ පිළිබදව අභිමතයක් නෑ කියලා.
එදා ජී.එල් පීරිස් මැතිතුමා වැඩිදුරටත් කිවුවා 89 වගන්තිය අනුව මහාධිකරණය විසින් නඩු තීන්දුවක් දුන් විගස මන්ත්‍රීවරයකුගේ ආසනය අහිමි වෙනවා කියලා. ඒ විතරක් නෙවේ මරණ දණ්ඩනයකට යටත් වුනාම කථානායකතුමාට අභිමතයක් නෑ ඒ තැනැත්තා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පිලිගන්න.
ඒ විතරක් නෙවෙයි. එදා තවදුරටත් ජී.එල් පීරිස් මැතිතුමා කිව්වා මෙවැනි තත්වයක් පිළිබදව නීතිමය තත්වය පැහැදිලියි කියලා. ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ සම්බන්ධයෙන් සැකයක් ඇති කිරීමේ වුවමනාවක් නැතැයි කීවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන වගන්තියේ ඒ පිළිබද පැහැදිලිවම සටහන් වන බව එදා එතුමා කීවා.
තවද, 89 වන වගන්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නුසුදුසුකම් යටතේ මහාධිකරණය විසින් තීරණයක් දුන් වහාම ඉබේම මන්ත්‍රීධූරය අහිමි වන බවත්, මේ පිළිබදව කථානායකවරයාටවත් තීරණයක් ගන්න බෑ.
ගරු කථානායකතුමනි එදා ජී.එල් පීරිස් මැතිතුමා කිවුව දේ හරිනම් අද ඔබතුමාට කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් වරයාට කියන්න මැතිවරණ කොමිෂමට ලියමනක් ලියලා ඔහුගේ මන්ත්‍රී ආසනය අහිමි කර ඇති බව දන්වා සිටීමයි. නමුත් පාර්ලිමේන්තුවේ මහලේකම් කරේ මොකක්ද ? නීතිඥ මහත්මයකුගේ මාර්ගයෙන් මෙතුමාව පාර්ලිමේන්තුවට කැදවන්න කියලා , කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා අපක්‍ෂපාතී විය යුතුයි.