පෝර්ට් සිටිය සම්බන්ධයෙන් රට ඇතුළේ පැනනැගී තිබූ අර්බුදය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු කමිටුවේ තීන්දුවේ ඉකුත් බදාදා රාත්‍රියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතට පත්වීමත් සමගය. ඒ අනුව දැන් ඇත්තේ මෙම තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත්කිරීමටත්, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වීමටත්ය.
සවස් වන තුරුත් පෝට් සිටි තීන්දුව නෑ
කෙසේ වෙතත් මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට ලැබීමට නියමිතව තිබුණේ ඉකුත් අඟහරුවාදා (04) දිනය. එදින සවස් වන තෙක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීනුත්, ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් මෙම තීන්දුව ලැබෙන තෙක් බලා සිටියද, සවස් වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන පාටක් තිබුණේ නැත. පසුව වාර්තා වූයේ එදින අධිකරණ තීන්දුව නොලැබෙන බවකි. ඒ අනුව පැනනැගුණු ප්‍රශ්නය වූයේ එසේ නම් බදාදා සහ බ්‍රහස්පතින්දා දෙදින කුමක් සම්බන්ධයෙන් විවාද කරන්නේද යන්න කියාය. මන්ද යත් ඊට පෙර පැවැති පක්ෂ නායක රැස්වීමේදී බදාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින පෝර්ට් සිටි කෙටුම්පත සම්බන්ධයෙන් විවාද කිරීමට තීන්දු කර තිබීම නිසාය.
ජොනීට විශේෂ ස්තූතියක්
ඒ අනුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ එම දෙදින තුළ පාර්ලිමේන්තු න්‍යායපත්‍රය සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී විපක්ෂය යෝජනා කර සිටියේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එම දින දෙකද විවාද කිරීමට අවස්ථාව ලබාදිය යුතු යැයි කියාය. වෙනදා නම් විපක්ෂයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරපත් වෙද්දී ඊට එරෙහිව දැඩිව අදහස් දක්වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එදින කිසිදු බාධාකිරීමකින් තොරව ඊට එකඟතාව පළකරන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම පෝර්ට් සිටි සම්බන්ධ විවාදය 18, 19, 20, 21 යන දින හතර තුළ පැවැත්වීමටද පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ එකඟතාවකට එළැඹිණ. විපක්ෂ නියෝජිතයන් එහිදී ජොන්ස්ටන්ට ස්තුති කළේ මින් පෙර කිසිදු අවස්ථාවකදී එවැනි සුහදශීලී ප්‍රතිචාරයක් ආණ්ඩුව පැත්තෙන් ලැබී නොතිබීම නිසාය.
ගෝඨා සුදේවයි-කිංස්ලියි පාර්ලිමේන්තු රැගෙන යයි
කෙසේ වෙතත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණීමය. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා මාස 03කට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු වීම ජනාධිපතිවරයාගේ මෙම පාර්ලිමේන්තු ගමනේ අරමුණ විය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණියේද සිය මාධ්‍ය ඒකකයට අලුතෙන්ම බඳවාගනු ලැබූ සුදේව හෙට්ටිආරච්චි සහ කිංස්ලි රත්නයකත් සමගය.
කාමරේ හිටියෙ විනාඩි 3යි
මෙසේ පැමිණි ජනාධිපතිවරයා කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයටය. එසේ ගිය සැණින් ජනාධිපතිවරයා විමසා සිටියේ අගමැතිවරයා කොහිදැයි කියාය. ඒ වන විට අගමැතිවරයා සභා ගැබේ රැඳී සිටි බවට නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමත් සමග වහාම සිය නිල කාමරයෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා සභා ගැබට නික්ම ගියේය. ඒ අනුව ජනාධිපතිවරයා සිය නිල කාමරයේ විනාඩි 03ක කාලයක්වත් රැඳී සිටි ආකාරයක් දැකගන්නට පුළුවන් වූයේ නැත.
බලන් හිටියත් හම්බවෙන්න ලැබුණෙ නෑ
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි බව වාර්තා වීමත් සමග මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු සූදානමින් සිටියේ ඔහුගේ නිල කාමරයට ගොස් දැනට මතුව ඇති ප්‍රශ්න පිළිබඳ සහ තම තමන්ට ඇති ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමටය. නමුත් ජනාධිපතිවරයා කෙටි කාලයක් ඇතුළත සිය නිල කාමරයෙන් පිටව යෑම හේතුවෙන් ඒ කිසිදු ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයා සමග වචනයක්වත් කතා කිරීමට හැකි වූයේ නැත.
කතානායක පෝට්සිටි තීන්දුව හංගයි
මේ අතර බදාදා රාත්‍රියේ පෝර්ට් සිටි සම්බන්ධ අධිකරණ තීන්දුව කතානායකවරයා වෙත ලැබී ඇති බවට වාර්තා වීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ දෙනෙක් කතානායකවරයාට කතා කොට එම තීන්දුව සම්බන්ධයෙන් විමසීමට කටයුතු කළහ. මෙහිදී දැකගත හැකිවූ විශේෂම සිදුවීම වූයේ කතානායකවරයා එම තීන්දුව කිසිවකුටත් නොපෙනෙන පරිදි රහසිගත ස්ථානයක සඟවා තැබීමට පියවර තැබීමය. ඊට හේතුවී තිබුණේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී අධිකරණ තීන්දුව කතානායකවරයා වෙත ලැබුණු අවස්ථාවේදී එය පාර්ලිමේන්තුවට දැනුම් දීමට ප්‍රථම සමාජ මාධ්‍ය ජාලාවල තීන්දුවේ පිටපත් පළවී තිබීමය. එම අත්වැරැද්ද නැවත වතාවක් සිදුවීම වැළැක්වීම සඳහා කතානායකවරයා මෙවර කර තිබුණේ අධිකරණ තීන්දුව කිසිවකුටත් සොයාගත නොහැකි වන පරිදි ප්‍රවේසම්සහගත ලෙස සඟවා තැබීමය. ඒ අනුව තමන්ට කතා කළ සෑම දෙනාටම කතානායකවරයා කියා සිටියේ, “අපෝ අපෝ මේක නම් මම කියන්නේ නෑ. අඩුම තරමේ මම ඒ තීන්දුව තිබ්බ තැනවත් කාටවත් කියන්නේ නෑ. මොකද ගිය පාර 20 වැනි සංශෝධනයේ තීන්දුව ලීක් වෙලා මට හොඳ මඩක් වැදුණා. ඒ හින්දා මේ සැරේ මම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකම් කිසම කෙනෙකුට පෙන්වන්නේ නෑ…” යැයි කියාය. ඒ අනුව කතානායකවරයා සිටින්නේ ලබන 18 වැනි දිනම එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.
විජයදාස සද්දෙ වහලද?
පෝර්ට් සිටිය සම්බන්ධයෙන් කතා කරද්දී තවත් අමතක කළ නොහැකි චරිතයක් ඇත. ඒ වෙන කවුරුවත් නොව ආණ්ඩුවේම මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂය. ඊට හේතුව වන්නේ පෝර්ට් සිටි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා ඊට එරෙහිව විජයදාස ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබීමය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා තමන්ට දුරකතනයෙන් අමතා පරුෂ වචනයෙන් බැණවැදුණු බව විජයදාස ඊට පසු දිනම තම නිවෙසේදී නැවත වතාවක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රටට කියා සිටියේය. නමුත් හිටිහැටියේම විජයදාස නිහඬ වූ අතර පසුගිය සති දෙක පුරාම ඔහු සම්බන්ධයෙන් කිසිදු වචනයක්වත් මාධ්‍යයක පළවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ විජයදාස බියට පත්ව සටන අකුලාගන්නට ඇතැයි කියාය.
නමුත් “රාජ්‍ය රහස්” තීරයට වාර්තා වන්නේ විජයදාස තව දින කිහිපයකින් තම නිහඬ බව බිඳදැමීමට සැලසුම් කර ඇති බවකි. විජයදාස කිසිදු ලෙසකින්වත් බියට පත්ව නැති බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත නැවත වතාවක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පෝර්ට් සිටිය ඇතුළු තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට විජයදාස සූදානමින් සිටින බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මහින්ද අභයාරාමෙට යයි
මේ අතර විජයදාස සමග පෝර්ට් සිටි සටන ආරම්භ කළ මුරුත්තෙට්ටුවේ හිමියන් දින 10ක පාකිස්තාන සංචාරයකින් පසුව ලංකාවට පැමිණ යළිත් ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර කිහිපයක්ම දියත් කළ ආකාරයක් පසුගිය සතියේ දැකගත හැකි විය. එහිදී වරෙක මුරුත්තෙට්ටුවේ හිමියන් ජනාධිපතිවරයාට අවධාරණය කර සිටියේ මේ වන සිට රට ප්‍රශ්න රැසකට මුහුණදී අති බැවින් අවම වශයෙන් අගමැති අයියාගෙන් හෝ උපදෙස් ගෙන මෙම ප්‍රශ්න නිරාකණය කිරීමට පියවර ගන්නා ලෙසය. ඒ නිසාමදයැයි දැන්ම කිව නොහැකි වුවත්, පසුගිය බදාදා දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පැය එකහමාරක පමණ සාකච්ඡාවක් සිදුකළ බවක් දැකගත හැකි විය.
සුදේවලාට සමාජ මාධ්‍යයේ කියපු කතා
ජනාධිපතිවරයා පසුගිය සතියේ සිය මාධ්‍ය අංශය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක් කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට චරිත දෙකක් හට සිය සම්පූර්ණ මාධ්‍ය යන්ත්‍රණය භාරදීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබුවේ ස්වර්ණවාහිනියේ විධායක ප්‍රධාන විධායක නිලධාරිවරයා වූ සුදේව හෙට්ටිආරච්චිය. ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරු ලැබුවේ සිරස නාලිකාවේ ප්‍රධානියකු වූ කිංස්ලි රත්නායකය. මේ තනතුරු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු පළවී තිබුණත් එහි තහවුරු කිරීමක් කිසිදු පාර්ශ්වයකින් සිදුවූයේ නැත. ඒ නිසාම සුදේවටත්, කිංස්ලිටත් මාධ්‍ය අංශය භාරදීමත් සමග සමාජ මාධ්‍ය ජාලවල විවිධ පෝස්ට් මේ සම්බන්ධයෙන් පළවන ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් එය හොඳ තේරීමක් ලෙස දැක තිබූ අතර තවත් සමහරුන් එය උපහාසයට ලක්කරමින් සමාජ මාධ්‍යවල විවිධ පුවත් පළකරන ආකාරයක් දැකගත හැකි විය.
සේනාධිපති ආවේ කොහොමද?
දින දෙක තුනක් ගිය පසු සමාජ මාධ්‍යවල මෙම උණුසුම නිවී ගියත් යළිත් එය උත්සන්න වූයේ සුදේවත්, කිංස්ලිත් වැඩ භාරගන්නා දිනයේ සිදුවූ එක්තරා සිදුවීමක් මුල් කරගෙනය. ඒ, එම අවස්ථාවට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහභාගි වී සිටි නිසාය. ඒ සමගම සමාජ මාධ්‍ය නිශ්ශංකගේ මුහුණ රවුම් කොට විවිධ අදහස් පළකොට තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව හැමෝම සොයා බලන්නට වූයේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය භාරගනිමින් සුදේවත්, කිංස්ලිත් වැඩ භාරගන්නා අවස්ථාවට සේනාධිපති පැමිණියේ කෙසේද යන්න කියාය. ඒ අනුව බොහෝ දෙනා සුදේවට කතාකොට ඒ පිළිබඳ විමසද්දී සුදේව ඒ හැමෝටම කියා තිබුණේ, “අපි එහෙම එකක් ගැන දැනගෙන හිටියේ නැහැ. එයා ඇවිල්ලා තිබුණේ ලලිත් වීරතුංගත් එක්ක. අපිට ඒ ගැන කිසිම සම්බන්ධයක් නැහැ…” යැයි කියාය.
නාමල් වැඩ අල්ලයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අප්‍රේල් 09 වැනිදා සිය ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ නාමල් හට ඉතා භාරධූර වගකීමක් පැවරීමට පියවර ගත්තේය. ඒ, තමන් ජනාධිපති ධුරයට පත් වූ දින සිට රට වටේ දස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා යමින් ආරම්භ කළ “ගම සමග පිළිසඳරක්” වැඩසටහනේ ප්‍රගතිය සොයා බලන කටයුත්තය. ඒ සඳහා වෙනම කාර්යසාධක බළකායක් පත් කළ අතර “ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධක බළකාය” යනුවෙන් එය නම් කොට නාමල් යටතට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඊට මැති ඇමැතිවරුන් 15 දෙනකු පත්කිරීමටත් ජනාධිපතිවරයා කටයුතු කළේය.
විමලවීරගෙන් දෝස්මුරයක්
ඒ අනුව නාමල් පසුගිය සතියේ මෙහි පළමු රැස්වීම අරලියගහ මැඳුරේ සංවිධාන කළේය. එම රැස්වීමට ඒ ඒ පළාත්වල ආණ්ඩුකාරවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මැති ඇමැතිවරුන් සහභාගි වී සිටි අතර, ගම සමග පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ඒ වන විට රට ඇතුළේ ගැටලු ගණනාවක් මතුව පැවැති හෙයින් රැස්වීමට සහභාගි වී සිටි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගම සමග පිළිසඳරක් වැඩසටහන සම්බන්ධයෙන් කතා කරනවාට වඩා අවධානය යොමුකොට තිබුණේ ඒ වන විට ගොවීන්ට බරපතළ ප්‍රශ්නයක් බවට මුහුණ දීමට සිදුව තිබූ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ ගැටලුව ගැනය. එහිදී එම තීන්දුව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකරමින් විමලවීර කියා සිටියේ නිසි ක්‍රමවේදයකින් තොරව ආණ්ඩුව මෙම තීන්දුව ගෙන තිබීම හරහා ගොවීන් බරපතළ අසීරුතාවකට මුහුණ දෙනවා යැයි කියාය. විශේෂයෙන්ම තේ වගාකරන ගොවීන් මේ තීන්දුවෙන් බරපතළ අසීරුතාවකට මුහුණ දෙන බවද විමලවීර කියා සිටියේය.
විමලවීර මෙසේ පොහොර ගැන කතා කරද්දී එය රැස්වීමේ විෂයට අදාළ නොවුණත්, නාමල් කිසි විටෙකත් ඊට බාධා කළේ නැත. විමලවීරට දිගටම කතා කිරීමට ඉඩ ලබා දුන්නේය. එම ප්‍රශ්නය තමන්ට විසඳිය නොහැකි වුවත්, විමලවීරගේ කතාව අවසානයේදී නාමල් කියා සිටියේ තමන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නම් යැයි කියාය.
නාමල්ගේ ඉලක්කය ජනාධිපතිවරණයද
එම රැස්වීමෙන් පසු නාමල් මේ වන විට තීන්දු කර ඇත්තේ, ජනාධිපතිවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ලෙන් ආරම්භ කළ “ගම සමග පිළිසඳරක්” වැඩසටහන පැවැති ස්ථානයෙන්ම තමන්ගේ පසු විපරම් වැඩපිළිවෙළද ආරම්භ කිරීමටය. ඒ අනුව ලබන සතියේ සිට ජනාධිපතිවරයා දුන් නියෝග සහ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදුන් ව්‍යාපෘති ඒ අයුරින්ම සිදුවනවාදැයි බැලීමට නාමල් දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා රට වටා යෑමට නියමිතය.
ගෝඨාගේ සපෝට් එකත් නාමල්ට
කෙසේ වෙතත් මේ ආකාරයට නාමල්ව ආණ්ඩුව ඇතුළේ බරපතළ වගකීමක් ලබාදී රට ඇතුළේ ඔසවා තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ඇයිද යන්න බොහෝ දෙනාට මතුව ඇති ප්‍රශ්නයකි. නමුත් ජනාධිපතිවරයා මෙය කළේ ආවාට ගියාට නොව, යම්කිසි කාරණයක් ඔළුවේ තබාගෙනය. ඒ වෙන කිසිවක් නොව ඊළඟ ජනාධිපතිවරණයය.
මීට සති කිහිපයකට ඉහත දී මෙම “රාජ්‍ය රහස්” තීරය ඔස්සේම විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරයා නාමල්ව කැඳවා ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට ඔහුට දැනුම් දුන් බවකි. අපට ලැබුණු නිල නොවන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයා එහිදී නාමල්ට කියා ඇත්තේ ඊට තමාගේ සම්පූර්ණ සහායද නාමල්ට ලබාදෙනවා යැයි කියාය. ජනාධිපතිවරයා ලබාදුන් මෙම පණිවුඩය නාමල් මෙම සාකච්ඡාවෙන් පසු අගමැතිවරයාට දැනුම් දුන් බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. ඒ අනුව ජනාධිපතිවරයා පැවරූ එම කාර්යය එකී මෙහෙයුමේ පළමු අදියරදැයි කියන්නට තවම කල් වැඩිය.
බැසිල් කොහේද
මේ ආකාරයට නාමල් ජනාධිපති කාර්යසාධක බළකාය කැඳවමින් රටේ ප්‍රශ්න ගැන, කොරෝනා ප්‍රශ්න ගැන, ගම සමග පිළිසඳරක් ගැන තොරතුරු සොයද්දී ආණ්ඩුව ඇතුළේ ගිය එක්තරා කසුකුසුවකින් කියැවුණේ පළවෙනි කොරෝනා රැල්ලේදී පිහිටුවනු ලැබූ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂ මහතා කොහේදැයි කියාය. ඉකුත් වසරේ ජනවාරි මාසය වන විට පළමු කොරෝනා රැල්ල ලංකාවට එද්දී එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂය. මුළු රටම වසා තිබියදී හිඟයින් තොරව රට වටේම ආහාර බෙදාහැරීම, ඖෂධ බෙදාහැරීම, අත්‍යාවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම සිදු කළේ බැසිල්ය. බැසිල් ඒ සඳහා රාජ්‍ය යන්ත්‍රණය පමණක් නොව පක්ෂයේ යන්ත්‍රණය පවා උපයෝගී කරගනු ලැබීය.
නමුත් මේ වන විට ආරම්භ වී ඇති කොරෝනා තුන්වැනි රැල්ලේදී මුල් දවස් කිහිපයේ බැසිල්ගේ මුහුණ දැකගන්නට ලැබුණත්, ඉන් අනතුරුව කොරෝනා සම්බන්ධ රැස්වීම්වලදී බැසිල්ගේ මුහුණ කිසිවකුටත් දැකගන්නට ලැබුණේ නැත. බැසිල්ගේ ප්‍රධානත්වයෙන් දැන් රැස්වීම් පැවැත්වෙන්නේ ද නැත. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ යන කසුකුසුවලින් කියැවෙන්නේ බැසිල් වැඩේ අතහැරලාද කියාය. නාමල් මේ දිනවල කරළියට පිවිස ඇත්තේ බැසිල්ගේ මුහුණ දැකගන්නට නැති නිසාය.
චීන ආරාධනාව ජනපති පිළිගනී…
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග චීන රජයේ ප්‍රබලයන් දෙදෙනකු මේ වන විටත් ශ්‍රී ලංකාවේ සංචාරය කර අවසන්ය. ඉන් පළමුවැන්නා වූයේ චීන ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන යැං ජිචෙයිය. දෙවැන්නා වූයේ ඉකුත් සතියේ ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙංග්ය. එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළතදී චීන රජයේ තවත් ප්‍රබලයකු වූ විදේශ අමාත්‍යවරයාද ලංකාවේ සංචාරය කිරීම සඳහා මේ වනවිට දින තීන්දු කරගෙන තිබේ.
නමුත් මේ කියන්නට යන්නේ චීන නියෝජිතයන්ගේ ලංකා සංචාරයන් පිළිබඳ නොව ජනාධිපතිවරයා සිදු කිරීමට සැලසුම් කර ඇතැයි කියන චීන සංචාරයක් පිළිබඳවය. ඉකුත් චීන නියෝජිතයන්ගේ සංචාර දෙකේදීම ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේදී ඔවුන් දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් වූයේ චීන සංචාරයක නිරත වන ලෙසටය. නමුත් රට ඇතුළේ පැනනැගී ඇති කොරෝනා තත්ත්වය සහ අනෙකුත් ප්‍රශ්න මුල් කරගෙන ජනාධිපතිවරයා මෙම චීන සංචාරය දිනෙන් දින කල් දමමින් සිටියේය. නමුත් මේ වන විට අප වෙත ලැබී ඇති නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා එම චීන සංචාරය සඳහා දින යොදාගෙන ඇති බවකි. මුලින් ලැබුණු තොරතුරුවලින් කියැවුණේ මැයි 08 වැනි දිනට මෙම චීන සංචාරය ජනාධිපතිවරයා විසින් යොදාගෙන තිබුණු බවකි. මුලින් සිංගප්පූරුවට ගොස් පසුව එතැනින් චීනය බලා යෑමට සැලසුම් කර තිබූ බවක්ද එම නොනිල ආරංචි මාර්ගවලින් කියැවිණි. කෙසේ වෙතත් සිංගප්පූරුව, ශ්‍රී ලංකාවෙන් එන වැසියන්ට දොරටු වැසීමත් සමග එම ගමන කල් ගිය බවක්ද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් කියැවිණි.
චීනෙන් අමෙරිකාවට?
කෙසේ වෙතත් මේ වන ආණ්ඩුව ඇතුළේ යන කසුකුසුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමට නැවත වතාවක් දින තීන්දු කර ඇති බවකි. ඒ අනුව පළමුව චීනයටත්, ඉන් අනතුරුව ඇමෙරිකාවට යෑමටත් ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවක් එම කසුකුසුවලින් වැඩිදුරටත් දැනගන්නට ඇත. ඇමෙරිකාවේ වාසය කරන සිය පුතා දැකබලා ගැනීම එම ගමනේ තවත් අරමුණක් බවද මේ යන කසුකුසුවලින් දැනගන්නට තිබේ.
මහින්දට යළි ජනපති පුටුව?
ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව ගතකරන කාලසීමාව තුළ ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා පත්කිරීමට සැලසුම් කර ඇති බවක්ද එම නොනිල ආරංචි මාර්ගවලින් තවදුරටත් දැනගන්නට ඇත. එය එසේ වුවහොත් තුන්වැනි වතාවටත් මහින්දට ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවීමට නියමිතය.
කැබිනට්ටුවත් ඔන්ලයින්
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවර කැබිනට් මණ්ඩලය පැවැත්වූණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. සවස 05.00ට ආරම්භ වීමට නියමිතව තිබු කැබිනට් මණ්ඩලයට ඇතැම් ඇමැතිවරු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කලින්ම පැමිණ සිටියහ. ඒ අතර අලි සබි්‍ර හා එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරුන්ට සුබ පැතීමට ද ඇමතිවරු කටයුතු කළහ. ඒ ඔවුන් දෙදෙනාගේම උපන්දින එදිනට යෙදී තිබුණු බැවිනි.
“මම උදේම ගත්තා. ඔබතුමාව අල්ලගන්න බැරිවුණා සුබ පතන්න…” අගමැති මහින්ද අලි සබි්‍රට කීවේය.
“ඔව් සර්… මම පස්සේ ඔබතුමාට ගත්තා. නමුත් සම්බන්ධ කරගන්න බැරි වුණා….” සබි්‍ර කීවේ අගමැති මහින්දට කනගාටුව පළ කරමිනි.
පොහොර ප්‍රශ්නය ඇදෙයි
මේ අතර පොහොර ප්‍රශ්නය ගැන ද කථාබහක් ඇතිවිය. කතාබහට මුලපිරුවේ ඇමති එස්.එම්ය.
“දැන් පොහොර ප්‍රශ්නෙ නම් තදබල විදිහට බලපානවා. මේක ගැන යමක් කරන්න වෙයි..” එස්.එම් කීවේය.
“ඔබතුමා තමයි ප්‍රධාන වගඋත්තරකරු. හෙට අනිද්දා වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන චන්ද්‍රසේන ඇමති සඳගේ ගේ වටකිරීමට නියමිතයි දිස්ත්‍රික්කයේ මිනිස්සු..” යැයි බන්දුල කීවේ සිනාසෙමිනි.
“ගොවි සංවිධාන කියන්නේ පොහොර යොදපු බඩ ඉරිඟු අක්කරයකින් කිලෝ 3,500ක් 4,000ක් ගන්න පුළුවන් කියලයි. නැත්තම් ගන්න පුළුවන් කිලෝ 700ක් 800ක් විතරක් කියලයි ගොවි සංවිධාන කියන්නේ. වී ගොවියෝ කියන්නෙත් ඒකමයි…” එස්.එම් කීවේය.
“මේ නිෂ්පාදන අඩුවීම තාවකාලිකයිනේ. මේවාට අපි උත්තර හොයාගන්න වෙනවා. නැත්නම් කවදාවත් අපිට ගොඩ එන්න බෑ..” ඇමති වාසු කීවේය.
“සීයට සීයක් එකඟයි. රසායනික පොහොර තහනම හොඳයි. එකපාර කරන්න ගිහින් අමාරුවේ වැටෙයි ද කියලා සැකයක් තමයි තියෙන්නේ..” යනුවෙන් එස්.එම් කීවේය.
පවිත්‍රාගෙන් හදිසි පත්‍රිකාවක්
මෙවර කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වූ කරුණක් වුයේ රට තුළ තිබෙන කොවිඩ් වසංගත තත්ත්වයයි. ඒ වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. එකක් ඉදිරිපත් කර තිබුණේ අගමැති මහින්දය. ඒ මුදල් අමාත්‍යවරයා ලෙසය. කොවිඩ් හදිසි අවස්ථා ප්‍රතිකාර හා සෞඛ්‍ය පද්ධතිය සුදානම් කිරීමේ ව්‍යාපෘතිය හා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සදහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි. දෙවැන්න ඉතාමත් හදිසියේ ඉදිරිපත් කර තිබුණේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාය. ඒ මෙරට සිදුකෙරෙන පි.සි.ආර් ප්‍රමාණය වැඩි කිරීම සදහාය. පවිත්‍රා එය ඉදිරිපත් කර තිබුණේ හදිසි කැබිනට් පත්‍රිකාවක් ලෙසය. එහි පිටපත් පවා සෙසු ඇමැතිවරුන්ට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබුණේ අවසන් මොහොතේ එය ඉදිරිපත් කිරීම නිසායි. එහෙත් ඇමතිවරු සියලු දෙනාම එය අනුමත කළහ.
ජනපති එන්නත ගැන විශ්වාසය තියයි
“කොවිඩ් වලට තියෙන එකම විසදුම එන්නත්කරණය. අපි මේ වන විට එන්නත්කරණය සදහා සියලුම දේ කරමින් ඉන්නවා. ස්පුට්නික් එන්නතත් ගෙන එන්න කටයුතු කරලා තියෙනවා. චීන එන්නතටත් හෙට අනිද්දාට අනුමැතිය හිමිවෙයි කියලා හිතනවා. සෞඛ්‍ය අංශ කියන විදිහට එන්නත දීපු ප්‍රදේශවල රෝගය පාලනය වෙලා තියෙනවා..” ජනාධිපතිවරයා කීවේය.
මේ පාරත් විමල්ලාට ගිය පාර වගේමයි
පසුගිය මාස කිහිපය පුරාම විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ කැරැලිකාර කණ්ඩායම අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. විසිවැනි සංශෝධනයෙන් ආරම්භ වූ මෙම ගැටුමේ ආසන්නතම සිදුවීම වූයේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනාවන්ට විමල් ඇතුළු පාර්ශ්වය විරෝධය පළකිරීමය. ඒ අනුව එම ගැටලු විසඳාගැනීම සඳහා මීට දෙසතියකට ඉහතදී පක්ෂ නායක රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී කැඳවූ අතර ඊට පක්ෂ නායකයන් නොවන පිරිසකට ආරාධනා කොට ඇති බව කියමින් විමල් ඇතුළු එම කැරැලිකාර කණ්ඩායම අදාළ පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම එහිදී ඔවුන් මහින්දගෙන් වෙනම පක්ෂ නායක රැස්වීමක් ඉල්ලූ අතර එය ඉකුත් අඟහරුවාදා (04) දිනට ලබාදීමට මහින්ද පියවර ගත්තේ ඒ අනුවය. පැවැති උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් බොහෝ දෙනා බලා සිටියේ මෙවර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම කුමන මුහුණුවරක් ගනු ඇතැයිද කියාය.
කෙසේ වෙතත් විමල් ඇතුළු කණ්ඩායම මෙවර පක්ෂ නායක රැස්වීම පක්ෂ නායකයන්ට පමණක් සීමා කරනු ඇතැයි සිතා සිටියද මෙවරත් එය එසේ නොවන ආකාරයක් කල් තියාම ඔවුන්ට පණිවුඩ ලැබිණි. ඉකුත් වතාවේ මෙන්ම මෙවරද ඊට 55කට ආසන්න ප්‍රමාණයකට ආරාධනා කොට ඇති බව එම පණිවුඩවලින් කියැවිණි.
වාසුගේ ගෙදර රහස් රැස්වීමක්-හැබැයි විමල් නෑ
ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉරිදා (02) දිනයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවෙසේදී රාත්‍රී 07ට විමල් පිල විශේෂ සාකච්ඡාවක් සංවිධාන කර තිබිණි. ඊට වාසු, ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, රතන හිමි, ජයන්ත සමරවීර ආදීහු සහභාගි වී සිටියහ. උණ තත්ත්වයකින් පෙළීම හේතුවෙන් විමල් එම රැස්වීමට සහභාගි නොවීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මුලින්ම පිරිස කතා කොට තීන්දු කළේ යම් හෙයකින් මෙවරත් වැඩි පිරිසක් සාකච්ඡාවට කැඳවා ඇත්නම් එය යළිත් වර්ජනය කිරීමටය. එමෙන්ම පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවත්, පෝර්ට් සිටි කෙටුම්පත පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඔවුන්ද මෙම සාකච්ඡාවේදී තීන්දු කළේ පෝර්ට් සිටි පනතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමටය. විශේෂයෙන්ම පෝර්ට් සිටි කොමිෂන් සභාවේ සාමාජිකයන් ගැන නිශ්චිත සඳහනක් නොවීම හේතුවෙන් විමල් පිල තීන්දු කළේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් එම සභාවේ සිටිය යුතු බවටත්, සභාපතිවරයා ලාංකිකයකු විය යුතු බවටත් වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.
50කට වැඩියෙන් එන්න කියලා
මීට අමතරව හදිසියේම පොහොර භාවිතය අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවෙන් යම් යම් ක්ෂේත්‍ර බරපතළ අර්බුදයකට මුහුණපා සිටීම නිසා ආණ්ඩුව සමග ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමටද එහිදී තීන්දු විය.
මෙම තීන්දු ගැනීමෙන් පසු පිරිස අඟහරුවාදා පක්ෂ නායක රැස්වීමට සහභාගි වීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙද්දී ඉකුත් වතාවේ මෙන්ම එම රැස්වීමට සාමාජිකයන් 50කට අධික පිරිසක් කැඳවා ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වාසු, ගම්මන්පිල ඇතුළු පිරිස මුලින්ම කළේ අගමැතිවරයා වෙනම මුණගැසී ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡා කිරීමය. එහිදී ඔවුන් අගමැතිවරයාට පෙන්වා දුන්නේ වෙනදා මෙන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 16ක නියෝජිතයන් පමණක් පක්ෂ නායක රැස්වීමට සහභාගි විය යුතු බවත්, විධායක සභාව වෙනමම පසු අවස්ථාවකවදී කැඳවිය යුතු බවත්ය. ඒ අනුව මෙවර පක්ෂ නායක රැස්වීමටද තමන්ට සහභාගි විය නොහැකි බව ඔවුහු අගමැතිවරයාට පෙන්වා දුන්හ.
30ක ලිස්ට් එකක් හදයි
ඒ අනුව ඒ මොහොතේම පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නියමිත පිරිසේ ලැයිස්තුවක් සකස් කෙරුණු අතර එය 30 දෙනකුගෙන් සමන්විත විය. එම පක්ෂ නායක රැස්වීම සති දෙකකට වරක් කැඳවන ලෙසද එම පිරිස මහින්දගෙන් ඉල්ලීමක් කළහ. ඊට එකඟතාව පළ කළ මහින්ද ලබන 11 වැනිදාට නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව පිරිසට දැනුම්දී සිටියේය.
මෙම රැස්වීමෙන් අනතුරුව එදින සවස තවත් විශේෂ රැස්වීමක්ද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමය. මීට පෙර මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳුදා දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අවසන් මොහොතේ එම රැස්වීම අවලංගු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන තිබිණි. ඒ අනුව එම රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.
ලලිත්ගෙන් එන්නත් ගැන කතාවක්
මෙම හමුවට විශේෂ පුද්ගලයකුද ආරාධනා ලැබ තිබිණි. ඒ වෙන කවුරුවත් නොව මෙරටට කොරෝනා එන්නත් රැගෙන ඒම භාරව සිටින ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංගය. ඒ අනුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලංකාවට රැගෙන ඒමට නියමිත එන්නත් මොනවාද, එම එන්නත් ලැබෙන කාලසීමාවන් මොනවාද, එසේ ලැබෙන එන්නත් ප්‍රමාණයන් කොපමණද යන්න සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ ලලිත් සිදුකළේය.
ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොහොර අර්බුදය සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හොඳ වුවත්, ඊට විකල්පයක් හඳුන්වා නොදී එක් වරම පොහොර භාවිතය අත්හිටුවීම හරහා බරපතළ ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවිය හැකි බවකි. විශේෂයෙන් තේ වගා කරන ගොවීන් මේ හරහා බරපතළ අර්බුදයකට මුහුණපානු ඇති බවත්, තේ වගාවද 50%කින් පමණ මේ හරහා පහත වැටෙනු ඇති බවත් එම මන්ත්‍රීවරු අවධාරණය කර සිටියහ. ඒ අනුව රසායනික පොහොර තේ වගාවට පමණක් හෝ ලබාදිය හැකි ලෙසට තහනම සංශෝධනය විය යුතු බවට එහිදී අදාළ මන්ත්‍රීවරුන් යෝජනා කර සිටියහ.
සජිත් හමුවෙන්න තානාපතිවරු පෝලිමේ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පසුගිය සතියම බෙහෙවින්ම කාර්‍යබහුල විය.ඒ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් රැසක් මෙන්ම පාර්ලිමේන්තුවේ විශේෂ කටයුතු රැසක්ද යෙදී තිබුණ බැවිනි. යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi, ප්‍රංශ තානාපති Mr, Eric Lavertu, ඉතාලි තානාපතිනි Ms, Rita giuliana Mannella, ජර්මන් තානාපති Mr, Holger Seubert,රොමේනියානු තානාපති Mr, Victor chiujdea යන රාජතාන්ත්‍රික නිලධාරීන් ගිය සතියේ හමුවූ සජිත් එදිනම හවස තවත් තානාපතිවරු පිරිසක් හමු වූහ.
රුසියානු තානාපති ජපන් තානාපති සහ ,කැනේඩියානු තානාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත හනා සිංගර් ද මේ සතියේ හමුවීමට විපක්ෂ විපක්ෂනායකවරයා අමතක කළේ නැත .මෙහි විශේෂත්වය වූයේ මේ හමුවීම සඳහා ඉල්ලීම් කොට තිබුණේ ද එම රටවල් වල තනාපතිවරුන් විසින්ම වීමය.
“දිගටම නායකතුමා විදෙස් තානාපතිවරු හමුවෙනවා.මොකක්ද රහස?” එහෙම ඇසුවේ ගයන්ත කරුණාතිලක ය.
“ඒකනේ, සති දෙකක් ඇතුලේ සෑහෙන තානාපතිවරු පිරිසක් හමුවුණා.ඒක වාර්තාවක් වෙන්නත් පුලුවන්” මනූෂ කීවේ අසල සිටි නලින් බණ්ඩාර සමගය.
“ඇත්තටම මම නෙවේ හමුවුණේ.එතුමන්ලා තමයි ඉල්ලීම කළේ.හැබැයි එහෙම අවස්ථා අපි උපරිමව රට වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවා.”සජිත් කීවේය.
‘හරින් ගැන ඔබතුමා තානාපතිවරු එක්ක සාකච්ඡා කළ එක හොදයි.මේක විපක්ෂය දඩයම් කරන ආණ්ඩුවක්.” හෙක්ටර් අප්පුහාමි කීවේය.
“හරින්ගේ රිපෝර්ට්ස් දැක්කම මම පුදුම වුණා.හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා.එතුමා බලන්න නිතර යන්න එපා.ඒකෙන් එතුමට ඩිස්ටර්බ් වෙන්න පුලුවන්.මේ ටික දවස විවේක අරගෙන එතුමා ආපහු පුරුදු සටන් බිමට එනවා.එතෙක් එතුමට විවේක ගන්න දෙමු” සජිත් කීවේය.
“මේ දවස්වල හරින් පොත් කියවනවාලු” හර්ෂන කීවේය.
“ඒක ඉතාම හොදයි”එහෙම කීවේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ය.
ආණ්ඩුවේ මර්දනය
මේ අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන්ද සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.
‘‘ආණ්ඩුව මර්දනය නතර කරලා නැහැ. එක පැත්තකින් රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙන්නේ නෑ. අනෙක් පැත්තෙන් පාස්කු ප‍්‍රහාරයට සම්න්ධ පුද්ගලයින් ගැන කරුණු කිව්වම මන්ත‍්‍රීවරු දඩයම් කරන්න හදනවා’’මුජිබර් රහුමාන් කීය.
‘‘හේමසිරි ප‍්‍රනාන්දුටයි, පොලිස්පතිටයි නඩු දාන්න හදනවා. එතකොට මහ මොළකරු අල්ලන්නේ නැද්ද? පරික්ෂණ මෙතැනින් ඉවර කරලා දාන්නද හදන්නේ’’හෙක්ටර් අප්පුහාමි ප‍්‍රශ්ණ කළේය.
‘‘කාදිනල්තුමත් මේ ගැන අවධානයෙන් ඉන්නේ. ප‍්‍රහාරය වලක්වන්න බැරිවීම එක දෙයක්. ප‍්‍රහාරය සැලසුම් කිරීම තව දෙයක්. ප‍්‍රහාරය එල්ල කරපු අය, මේ පිටුපස සිටි මහ මොළකරුවන් අල්ලනතුරු අපි සටන් කළ යුතුයි. ඇත්තටම මේක කරපු අයට දඩුවම් ලබාදීම තමයි කතෝලික ජනතාවගේ අපේක්ෂාව වෙන්නේ’’කාවින්ද ජයවර්ධන පැවසුවේය.
තානාපතිවරු හමුවූ සජිත් නිරන්තරයෙන් ඔවුන් සමග කළ සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කළේ රට මුහුණ දී ඇති corona ව්‍යසනය සම්බන්ධව ය.
විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් නියෝජනය කළ තානාපතිවරුන්ගෙන් සජිත් ඉල්ලා සිටියේ රටේ සෞඛ්‍යමය ක්ෂේත්‍රයට අවශ්‍ය කරන උපකරණ සහ ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමේ වැදගත්කම ය.
“ඔබතුමා කොරෝනා එන්නත එනබව දැනගෙන ඊට තානාපතිවරු හමුවෙලා කොරෝනා එන්නත දෙන්න කියලා යෝජනා කරලා ලකුණු දාගන්න හදනවා කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් චෝදනා කළා” බුද්ධික කීවේය.
“ඕවට කියන්නේ පිස්සු කතා කියලා.ඕක විතරක් නෙවේ කොරෝනා ලංකාවට එන්න පුලුවන් කියලා ගිය අවුරුද්දේ ජනවාරි මාසේ සජිත් ප්‍රේමදාස මහතා තමයි කීවේ.ඒක ආවට පස්සේ පැණියක් පස්සේ ගියපු ,ඒ පැණිය නිර්දේශ කරපු තුට්ටු දෙකේ චරිත කියන විහිලු කවුද ගනන් ගන්නේ?” නලින් බණ්ඩාර කීවේය.